2019 මැයි 18 වන සෙනසුරාදා

වියවුල් සමාජයක කලාව අමාරු වැඩක්...

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 690

- ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල

පරාක්‍රම නිරිඇල්ල අපට සිටින ප්‍රවීණ නාට්‍යකරුවෙකි. ඔහුගේ නිර්මාණ ජාත්‍යන්තරයේද ඇගැයීමට ලක්ව තිබේ. ජන කරළිය නාට්‍ය කණ්ඩායම බිහිකිරීමට මුල්වෙමින් ඒ හරහා සමාජ සහජීවනය පිළිබඳ නාට්‍ය නිර්මාණ කිහිපයක්ම ඉදිරිපත් කිරීමට නිරිඇල්ල මුල් විය. වර්තමාන අර්බුදය හමුවේ නාට්‍ය කලාව ගැන ඔහු සමඟ කළ සාකච්ඡාවකි මේ.

පසුගිය වර්ෂයේ ඔබගේ උපදේශකත්වයෙන් ජන කරළිය තුළින් වතු කම්කරුවන් මුහුණදෙන ඛේදවාචකය මුල් කරගත් තිත්ත කහට නාට්‍යය රංගගත කරනවා. එයට ලැබුණු ප්‍රතිචාර කෙසේද?

හොඳ ප්‍රේක්ෂක වගේම විචාරක ප්‍රතිචාරයකුත් ලැබුණා. ගෙදර ඉඳන් බොන තේ කෝප්පෙ අපට ලබාදෙන වතු කම්කරැවාගේ ජීවන ඛේදවාචකය, ඔහුගේ ඉතිහාසය හුඟ දෙනෙක් දැනගෙන හිටියේ නෑ. ජන කරළිය නාට්‍ය කණ්ඩායමේ රාසයියා ලෝගානන්දන් තමයි තිත්ත කහට නාට්‍යයට මූලිකත්වය අර ගත්තේ.

රාසයියාට මේ සඳහා අත්දැකීම් ලැබුණේ කෙසේද?

ඔහුත් වතු ජනතාව ආශ්‍රිතව ජීවත්වන කෙනෙක්. ඒ නිසා ඔහුට වතුකම්කරැවන් පිළිබඳ අත්දැකීම් ලැබී තිබෙනවා. ඉංග්‍රීසි යුගයේ මුලින්ම මෙහි කැඳවාගෙන පැමිණි කම්කරැ ජනතාවගෙන් දිගටම වහල්ලු වගේ තමයි වැඩගත්තේ. ඔවුන්ට ආපසු උපන්බිමට යාමට ලැබුණේ නෑ. මේ ජීවිතවල යථාර්ථය හෙළි කිරීමට නාට්‍යයෙන් උත්සාහ කර තිබෙනවා. තවමත් ඔවුන්ගේ ජීවිතවල වෙනසක් නැහැ. අදටත් දිනෙක වැටුප් රැ.1000ක් කර ගැනීමට සටන් කරනවා.

ජනවාර්ගික සංහිඳියාව සඳහා නාට්‍ය කලාව යොදාගැනීමෙන් යම් බලපෑමක් කළ හැකි බව ඔබ සිතනවාද?

මම 1974 ඉඳන් වීදි නාට්‍ය කණ්ඩායම්වල හිටියා. ඊට පසු නාට්‍ය අධ්‍යක්ෂණය කළා. මේ සෑම නිර්මාණයකදීම අපි උත්සාහ කළේ යම් සමාජ වෙනසක් කිරීමටයි. අපි තවමත් ඒ ස්ථාවරයේ ඉන්නවා. අපි 2004 ආරම්භ කළ ජනකරළියේ සිංහල වගේම දෙමළ ශිල්පීනුත් එකට වැඩ කරනවා. වාර්ගික සහජීවනය පිළිබඳ නිදර්ශනයක් විදිහට ජනකරළිය ගත හැකියි.

අපේ රට අධ්‍යාපනයේ ඉඳලම බෙදිලා. බෞද්ධ, මුස්ලිම්, හින්දු, ක්‍රිස්තියානි පාසල් වෙන වෙනම තිබෙනවා. ජනප්‍රිය පාසල්, ජනප්‍රිය නොවන පාසල්, ගැහැනු හා පිරිමි පාසල් වගේ හැමතැනම බෙදීම තිබෙනවා. මේ වගේ වටපිටාවක සමාජයේ පුරවැසියන්ගේ සංහිඳියාව සඳහා වන මානසිකත්වයක් ගොඩනැගෙන්නෙ නැහැ. ගිනිපුපුරැ හැමවෙලාවෙම සිත්වල තිබෙනවා.

ජන කරළිය හරහා ඔබ ඇතුළු කණ්ඩායම සහජීවනයට ප්‍රායෝගිකව මැදිහත් වන්නේ කෙසේද?

අපි හැමවෙලේම එක් ජනවර්ගයකට සීමා වූ නාට්‍ය නිර්මාණ කරන්නේ නැහැ. අපේ ජංගම රඟහලත් සියලු ජන පිරිස් ජීවත්වන ප්‍රදේශවල ස්ථාපිත කර නාට්‍ය පෙන්වා තිබෙනවා. සිංහලෙන් කරන නාට්‍ය අප දෙමළ භාෂාවෙන් කරනවා. දෙමළ හා මුස්ලිම් ජනතාවට ඒ නාට්‍ය රසවිඳිය හැකියි. මේකෙ වැදගත් වන්නේ ක්‍රියාදාමයයි. අපි සාමය පතුරුවන්න නාට්‍ය කළේ නැහැ. අපි භාවිත කළ ක්‍රමෝපාය සහ ක්‍රියාදාමය තුළම සහජීවනය පිළිබඳ නිදර්ශන තමයි තිබෙන්නේ.

පැරණි නාට්‍ය කණ්ඩායම්වල ජනවාර්ගික මිශ්‍රණයක් තිබුණා නේද?

ඔව්. ඉස්සර මිනර්වා නාට්‍ය කණ්ඩායම, ජොන් ද සිල්වා නාට්‍ය කණ්ඩායම වගේ ඒවායේ සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ජාතියකම ශිල්පීන් හිටියා. මුස්ලිම් ජාතිකයන් සිංහල ගීත ගායනා කළා. චිත්‍රපට කලාවෙත් මේ බව අපට දකින්න ලැබුණා. ජනවාර්ගික කෝලාහල, යුද්ධය වගේ දේවල් නිසා මේ සබඳතාව ක්‍රමයෙන් බිඳ වැටෙමින් සමාජය දෙකඩ වෙනවා. දැන් දෙකට නෙවෙයි, තුනට කැඩිලා තියෙන්නේ.

මේ බෙදීයාම නිර්මාණවලට බලපෑවේ කෙසේද?

ඒක නිසා වුණේ සිංහල කලාකරැවන් සිංහල සමාජයට පමණක් නිර්මාණ ඉදිරිපත් කිරීමයි. දෙමළ කලාකරුවන් දෙමළ සමාජය ඉලක්ක කරගෙන නිර්මාණ බිහිකිරීමට උනන්දුවීමයි. මේ බෙදීම තවත් පිරිසකට ලොකු වාසියක්. පාලකයන්ට බලය පවත්වාගෙන යාමටත් ලේසියි. අද සමාජය දූෂණයට විවෘත වෙලා. සූරාකන දේශපාලන පන්තියක් බිහිවෙලා.

මේ අර්බුදකාරී වාතාවරණය නාට්‍ය කලාවට බලපෑම් කර ඇත්තේ කුමන අයුරින්ද?

රටේ අර්බුදයක් ඇතිවන සෑමවිටම එය පළමුව එල්ලවන්නේ කලා සංස්කෘතික ක්ෂේත්‍රයට. ප්‍රාසාංගික කලාවන්ට. කලා රසවින්දනය අපේ ජීවිතයේ ප්‍රධාන අංගයක් නොවේ. ඒකටත් හේතුව අධ්‍යාපනයයි. මේ වගේ වාතාවරණයක නාට්‍ය රසවිඳින්න මිනිසුන් පැමිණෙන්නේ ඉතා කලාතුරකින්. නාට්‍ය රංගගත කිරීම අඩුයි. නාට්‍ය කලා රසවිඳීම ප්‍රමුඛ අරමුණක් නොවූ නිසා තමයි ඒ වගේ තත්ත්වයක් උද්ගත වන්නේ.

නමුත් අද විශ්වවිද්‍යාල මට්ටමින් නාට්‍ය හා රංගකලාව, නාට්‍ය රසවින්දනය උගන්වනවා නේද?

ඔව් උගන්වනවා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හොඳ ගුරුවරු කණ්ඩායමකුත් ඉන්නවා. නමුත් රජයෙන් කලා අධ්‍යාපනය සඳහා ඉතා සොච්චම් මුදලක් තමයි ප්‍රතිපාදන ලෙස ලබාදෙන්නේ. ගොඩනැගිලි හදන්න ප්‍රතිපාදන දුන්නත් නිර්මාණ බිහිකිරීමට දෙන්නේ අඩු ඉඩ ප්‍රස්ථාවක්. ඒ වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනය සකස් වී ඇති ක්‍රමයට අනුව බාහිර දේවල් රසවිඳින්න ඔවුන් හුරැ කිරීමකුත් නැහැ. ජනකරළිය ජංගම රඟහල කොළඹ විශ්වවිද්‍යාලයේත් නාට්‍ය පෙන්නුවා. නමුත් නාට්‍ය නැරඹීමට ආවේ ඉතා අල්ප විශ්වවිද්‍යාලයීය සිසුන් පිරිසක්.

නාට්‍ය හා රංග කලාව හදාරණ විද්‍යාර්ථීන් බහුතරයක් නාට්‍ය නිර්මාණයට යොමුවන බවක් පේන්න නැහැනේ?

ඇත්ත. මේ විෂයයන් හදාරණ පිරිසෙන් බහුතරයක් ගුරු පත්වීමක් අරන් ගමට ගිහින් උගන්වනවා. කසාදයක් බැඳලා ළමයි හදාගෙන ජීවත් වෙනවා. මේ අධ්‍යාපනය නිර්මාණාත්මක ප්‍රවේශයට පසුබිම සකසන්නෙ නෑ. ඉතාම වියවුල් සමාජ වාතාවරණයක් අද තිබෙන්නේ. ඒ තැන්වල කලාව පිහිටුවීම ඉතා අමාරු වැඩක්. නමුත් දුරබැහැර ගම්වල අපට තවමත් හමුවෙනවා පැල් බැඳගෙන නාට්‍ය බලන්න රොක්වෙන පිරිස්.

  කුසුම්සිරි විජයවර්ධන

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00