2019 මැයි 18 වන සෙනසුරාදා

කඩා වැටෙනා තරුවක්

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 1328

ඉලක්ෂ ජයවර්ධනගේ කඩා වැටෙනා තරුවක් ප්‍රථම කවියෙන්ම පාඨක සිත් බැඳගන්නා කාව්‍ය සංග්‍රහයකි. මෙය ඉලක්ෂගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය වුවද කතුවරයා සතු දීප්තිමත් කවි අදහස් පෙන්නුම් කරන්නේ ඔහුට කවියේ දිගු දුරක් යා හැකි බවයි. එහෙත් ඒ සඳහා කවියා සතතාභ්‍යාසය තුළින් කවිය ඔපවත් කරගත යුතු අතර සියුම් නිරීක්ෂණාක්ෂිය ද තවදුරටත් ඔප්නංවාගත යුතු වේ.

දුවගෙ චිත්‍රය^ නමින් එන කවිපෙළ පාඨකයා තුළ අපූර්ව දෘෂ්‍ය රටා මවමින් හැඟුම් දැනවීමට සමත් රචනයකි. දුවක් ඇඳි වෙර‍ළේ හැන්දෑව චිත්‍රය දකින පියකුගේ සිතුවිලි ඉන් ඉදිරිපත් වෙයි. දුවත්, පියාත් තනිවී සිටින්නේ අම්මා නැති නිසාය. එහෙත් මේ අම්මා මියගිහින් ද නැතහොත් ඔවුන් දෙදෙනා දමා ගොසින් ද කියා අපට නොතේරේ. එසේ වුවත් කවියා තමන් පෙළන තනිකම අපූරුවට ඉදිරිපත් කරයි.

ටීචරුත් ලකුණු දෙයි නොවෙන් බිය සංකාව
දැන් හරිම ලස්සනයි වෙරළ ළඟ හැන්දෑව
චිත්‍රෙ අපි නොඇඳ ඉමු දුවේ අපි දෙන්නාව
එහෙම වුණොතින් ළමයි සොයයි නුඹේ අම්මාව (9 පිට)

හදවතේ ඔප්පුව තමන් එක සිතින් කළ ප්‍රේමයට ලැබුණු නිගරැවක් ගැන ලියැවුණකි. කවියා හදවතේ මුල් ඔප්පුව ලියා ඇයට ගොසින් දෙයි. එහෙත් ඇය එය මායිම් නොකළ බව අපූරැ කාව්‍යොක්තියකින් පවසයි.

ඊයෙ නිකමට
ඇගෙන් ඇහුවම
දකින්නත් නෑ කොහෙද එව්වා
දුන්න දවසෙම
උකස් කළ බ
දන්නෙ නැද්දැයි මගෙන් ඇහුවා (10 පිට)

බිරිඳගේ සොහොන මත කොළ හලන අඹ ගසේ අත්තකම එල්ලිලා කනත්තේ මුර ජිනේ කවියෙන් මුර ජිනේගේ තනිකම අපට පවසයි. බිරියගේ සොහොන තනි නොකර ජිනේ මුර කරයි.

හැමදාම හෑරෙනා අලුත් වළවල් ගාව
මල් වඩම් පිපෙනවා මැරුණ නමකින් දාව
ඉන් එකක් තෝරාගෙන සොඳුර සොයමින් නාව
දවස් හරි අඩුයි මම උඹව තනියෙන් තීව (19 පිට)

පණ සේ ආදරය කළ දියණිය ද ඔහු හැරයයි. ඇය දීග ගොස් පාර අමතක කළ විට ජිනේට මරණය හැර වෙනත් විකල්පයක් නොතිබූ බව කවියා අවධාරණය කරයි.

පොඩි කෙල්ල දීග ගොස් පාර අමතක වෙලේ
අඹ ගහේ අත්තකුයි කඹේ ගැට තද කළේ

අප බොහෝ දෙනාට සමීප අත්දැකීමක් අපූරැ කවියක් බවට පත් කිරීමකි. %චම්පා^, පාසලේ දී අනාගතයේ දී වෙන්න කැමති කවුරැද කියලා ගුරුතුමී අසයි. චම්පා එවිට උත්තර දෙන්නේ අම්මා කෙනෙක් වීමට කැමති බවයි.

එදා උඹ මගෙ කනට කර
ඕකිට අමාරැව
තුඃ නොදෝකිං අම්මපා
ජරා එකියක් චම්පා
ඒකිට රවාගෙන කිව්වා (20 පිට)

එහෙත් දිනක් පොඩි දරුවාත් රැගෙන පාසලට යන කවියාට දකින්නට ලැබෙන්නේ චම්පා එක වසරේ ගුරුතුමියක් බවයි. චම්පා බාල වියේදීම අම්මා කෙනෙක් වන්නට සිතා ඇත්තේ තම මව ඔවුන් හැරගොස් සිටි හෙයිනි. නැගණියට මවක් වීමටය.

ඉතින් බලපන් කවමදාවත් 
ජීවිතය ගැන නොවී කම්පා
ළමයි සිය දහසකට දිවි මඟ
කියා දෙනවා අපේ අම්මා (21 පිට)

මේ කවිය සඳහා කෙටි වැකි සහිත බස් වහරක් කවියා උපයෝගී කොටගෙන ඇත. එය එහි අර්ථ සංයෝජනය ඔපවත් කරයි.

යතුර පාපිස්ස යට^ සැමියා වෙනත් අඟනකගේ දැලට වැටී ඇති බව දැනගන්නා බිරිඳකගේ හැඟීම් විස්තර කිරීමකි. බිරියට සැමියාගේ ප්‍රේමාලිංගන සිහිපත් වේ. ඇයට ඔහු අමතක කිරීම අසීරුය.

දෙයක් තව මෙමට නෑ හිමිට ගෙනවිත් දෙන්න
ප්‍රේමයක් තිබෙන තැන ගිහින් නැවතී ඉන්න
දුක්වෙන්න එපා මට හැකියි දුව රුකගන්න
යතුර පාපිස්ස යට මඟ වැරදුණොත් එන්න (41 පිට)

කොළඹටත් හොඳටෝම වහිනවා, නංගියේ මං උඹේ අක්කා, ගුණේ නුඹ මැරැණාද, ගණන් අසමත් කමලා ආදී අපූර්ව කාව්‍ය නිමිති රැසකින් නිමාවුණු කවි මෙම කෘතියෙහි අඩංගුය. ඉලක්ෂ තමාටම අනන්‍ය සරල වදන් සහිත රිද්මයානුකූල කවි බසක් සොයාගෙන යන බව පෙනේ. එම බස හෘදයාංගමය.

කඩා වැටෙනා තරුවක් සන්ථව ප්‍රකාශනයකි.

 පාඨක