2019 මැයි 18 වන සෙනසුරාදා

ඇඳිරි නීතියේ අඳුරු අතීතය

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 122

දැන් නිවාඩු කාලෙත් ඉවරය. සෙල්ලම් කාලෙත් ඉවර වෙලාය. එහෙත් හරියට හිත හදාගෙන ඉස්කෝලේ යන්නට නොහැකි විය. පල්ලි සහ හෝටල්වලට බෝම්බ ප්‍රහාර එල්ලවී සති තුනකුත් ගෙවී ඇත. ඊයේ පෙරේදා ඇවිලුණ ගැටුම් නිසා ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ඉස්කෝලේ යන්නට තවත් කල්යාදැයි පොඩිත්තන් තුළ සැකයකි.

අප පාසල් ගිය කාලයේ 71 අප්‍රේල් නිවාඩුව පටන් ගත්තේ 71 අප්‍රේල් 5 වැනිදා පොලිසිවලට බෝම්බ ප්‍රහාර එල්ලවීමත් සමඟයි. ඒ වනවිට පාසල් ක්‍රිකට් සමයත් අවසානවී තිබිණි. පාසල් අතර බිග් මැච් බොහෝවක් හමාර වී පාසල් අතර ඕවර 50 වැස්ලින් කුසලාන තරගාවලියද හමාර වී තිබිණි. තර්ස්ටන්, ඉසිපතන මහා ක්‍රිකට් තරගය පමණක් ඒ අවුරුද්දේ පවත්වා ගන්නට බැරිවුණාසේ මතකය. ඒ කාලයේ අපේ අවධානය යොමුව තිබුණේ පාසල් ක්‍රිකට් තරගවලටයි. හොඳින් ක්‍රිකට් ක්‍රීඩා කළ කොළඹ, මහනුවර, ගාල්ල, කළුතර හැම පාසලකම ක්‍රීඩකයන් අපි නම්වලින් හඳුනාගෙන උන්නෙමු.

කතාව දුරදිග ගියත් පාසල් ක්‍රිකට් කුසලානය නම් කළ වැස්ලින් ගැනද යමක් කිවයුතුය වැස්ලින් යනු ඒ කාලයේ භාවිත වූ හෙයාර් ක්‍රීම් වර්ගයකි. පාසලේ සාමාන්‍ය විද්‍යා පාඩම්වල වායු රෝධක කටයුතු සඳහා භාවිත කළේ වැස්ලින්ය. ජෝන් ලීවර් නම් එංගලන්ත පන්දු යවන්නා ඉන්දියාව සමඟ පැවති ක්‍රිකට් තරගයකදී පන්දුවේ වැස්ලින් ආලේප කොට අසුවුණේය. පන්දුවේ පැත්තක වැස්ලින් ගා දමා ඔහු පන්දුව වැඩියෙන් දෝලනය කළේය. එස්.එස්.සී. හෝ ඕවල් පිටියේ එකල වැස්ලින් වෙළඳ දැන්වීම් පුවරු පෙනෙන්නට තිබිණි. එක් දක්ෂ ඡායාරූප ශිල්පියෙක් ජෝන් ලීවර් මෙරටට ඇවිත් පන්දු යවද්දී පසුබිමේ තිබෙන වැස්ලින් වෙළඳ දැන්වීම හොඳින් ඡායාරූපයට හසුකර ගත්තේය. එය පුවත්පතක පළවූ විට වටිනා ඡායාරූපයක් ලෙස දෙස්විදෙස් ක්‍රිකට් ලෝලීහු එය අගය කළහ.

71 අප්‍රේල් අවුරුදු නිවාඩුව ද තරමක් දිගට ඇදී ගියත් වෙසක් උත්සවය නොපවත්වා ඉන්නට තරම් බලපෑමක් ඉන් ඇතිවූයේ නැත.

1971 අප්‍රේල් පාසල් නිවාඩු කාලය තුළ සිදුවූ සිද්ධීන්ගෙන් එකල ජාතික ආර්ථිකයට දැඩි හානි සිදුවූ බව පසුව වාර්තා විය. එකල අපේ නිර්යාතවල ප්‍රධාන තැනක් ගත්තේ තේ, පොල්, රබර් යන වැවිලි බෝග නිෂ්පාදනයන්ය.

1971 අගෝස්තු පාසල් නිවාඩු කාලය පුරා පොල් කුරුමිණි උවදුර රටේ පැතිර ගියේය. පොල් කුරුමිණියාගෙන් බේරාගන්නට පොල්ගස්වල අතුකපා දමන්නට සිදුවිය. පොල්ගස්වල අතු සියල්ල කපා දැමූ විට ඒවා දිස්වූයේ වවාගෙන සිටි කොණ්ඩයත් රැවුලත් කපා දැමූ මිනිසකු සේය. අතු විහිදුණු පොල්ගස් වෙනුවට මොට්ට පොල්ගස් තැන තැන දිස්විය.

1971 අප්‍රේල්, අගෝස්තු නිවාඩු කාලවල රටේ ආර්ථිකයට බලපාන සිද්ධි සිදුවුවද දෙසැම්බර් වෙද්දී රට සංසුන්ව තිබිණි. ක්ලැරන්ස් විජයවර්ධනගේ අගනා ගී නිර්මාණ කිහිපයක්ම එළිදුටුවේ 1971 අගභාගය වනවිටයි. 1971 අගදී ඩී.බී. නිහාල්සිංහගේ වැලිකතර චිත්‍රපටයත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිධානය චිත්‍රපටයත් එකපිට ළඟ ළඟ ප්‍රදර්ශනය වූයේය. භීම සමය දුරුවී රට තුළ සාමය සමාදානය පැතිරුණේය.

මේ වසරේ අප්‍රේල් භීතිකාව තවමත් නිමා නොවුණාසේය. තවම පාසල් සිසුන්ගේ පැමිණීම යහපත් නැත.

අප්‍රේල් මාසය, විශේෂයෙන් පාස්කු ඉරිදා දිනය ශ්‍රී ලාංකීය ජනයා අභාග්‍යසම්පන්න ප්‍රහාරයන්ට ගොදුරු වූ දිනයකි. දෙවැනි ලෝක යුද්ධයේදී ජපනුන් කොළඹට බෝම්බ හෙලුවේ 1942 අප්‍රේල් 5 වැනිදාය. ඒ පාස්කු ඉරිදා දිනයයි. ජපනුන් ත්‍රිකුණාමල වරායට ද බෝම්බ හෙලුවේ ඊට දින කිහිපයකට පසුවයි. තොරතුරුවලින් පෙනෙන ආකාරයට ඇඳිරි නීතිය යන සිංහල යෙදුම ව්‍යවහාරයට පැමිණ ඇත්තේ යුද්ධ කාලයේදී යුද නීතිය යටතේ රාත්‍රියේ එළි දැල්වීම සීමා කළ පසුවයි.
ඇඳිරි නීතිය යන සිංහල යෙදුමත් ඉංග්‍රීසි “Curfeu” යන යෙදුමත් අතර සමාන අර්ථයක් ඇත. ඉංග්‍රීසි “Curfeu” යන වචනය සෑදී ඇත්තේ ප්‍රංශ Curve – feu යන වචනයෙනි. එහි අර්ථය Fire Cover හෙවත් ගිනි ආවරණය යන්නයි. මුලින්ම මෙම ප්‍රංශ වචනය “Curfeu” යනුවෙන් ඉංග්‍රීසියට නැගුණ අතර පසුව එය “Curfeu”  යනුවෙන් ව්‍යවහාර විය. මෙය විලියම් අධිරාජ්‍යා විසින් මුලින්ම පැනවූ නීතියක් බව පැවසේ. මෙය ගින්නෙන් එන එළිය ආවරණය කිරීම උදෙසා පැනවූවකි. සිංහල “ඇඳිරි නීතිය” යන වචනයෙන්ද ඉස්මතු වන්නේ එළිදැල්වීම තහනම් වග අඟවෙන්නකි.

කෙසේ වුවද වර්තමානයේ “ඇඳිරි නීතිය” නැතහොත් “Curfeu”  යන්නෙන් ඇඟවෙන්නේ එම නීතිය පනවන නිශ්චිත කාලය තුළ නිවෙස් තුළට සීමාවී ඉන්නට දෙන නියෝගයකි.

වර්තමාන ආකාරයට මෙවැනි නියෝගයක් ශ්‍රී ලංකාව තුළ මුලින්ම නිකුත්කොට ඇත්තේ 1915 දීය. ඒ එම වසරේ හටගත් සිංහල මුස්ලිම් කෝලහාලය වළක්වනු සඳහාය. එහිදී “Curfeu”  හෝ ඇඳිරි නීතිය යන පදය භාවිතකොට නැත. එහිදී භාවිත කර ඇත්තේ යුද නීතිය හෙවත් Martial Law යන්නයි. 1915 දී එම නීතිය පනවා ඇත්තේ ආණ්ඩුකාර සර් රොබට් චාල්මර්ස් (Sir Robert Chalmers) ගේ අණින්ය.

ඇඳිරි නීතිය ඉන්පසුව පනවා ඇත්තේ 1958 සිංහල දෙමළ ජාතිවාදී කෝලාහල සමයේදීය. 1958 මැයි 22 වැනිදායින් ආරම්භ වූ මෙම කෝලාහාල කොළඹ, යාපනය, අනුරාධපුර, පොළොන්නරැව, මඩකලපුව, එරාවූර්, කුරුණෑගල යන ප්‍රදේශවල පැතිර ගොස් තිබේ. මුලින්ම මෙහිදී ඇඳිරි නීතිය පනවා ඇත්තේ 1958 මැයි 27 දිනයේය. එම වසරේ ජුනි 1 වැනිදා හදිසි නීතිය බලගන්වා ඇති අතර ජුලි 7 වැනිදා ඇඳිරි නීතිය ඉවත්කර තිබේ.

ඇඳිරි නීතියට අදාළව අපේ ජීවිත කාලය තුළ පළමු අත්දැකීම් ලැබුණේ 1971 අප්‍රේල් කැරැල්ල ආරම්භවීමත් සමඟයි. 1971 අප්‍රේල් 04 වැනිදා ප.ව. 7.30ට පමණ එම නිවේදනය ගුවන් විදුලියෙන් නිකුත් වූයේ වැල්ලවාය පොලිසියට එල්ලවූ ප්‍රහාරය පිළිබඳව මහජනයා දැනුවත් කිරීමත් සමඟයි. ඊට පෙර තැන් තැන්වලින් අත් බෝම්බ හමුවූ නමුත් රජය අප්‍රේල් 05 වැනිදා පොලිසිවලට ප්‍රහාරයක් එල්ලවෙකැයි බලාපොරොත්තුව සිටි බවත් නොපෙනුණි. දන්නා තරමින් එකල හරි හැටි බුද්ධි අංශයක් ක්‍රියාත්මක නොවීය. සන්නද්ධ හමුදා සතුව තිබුණේ පැවති ලෝක යුද්ධ සමයේ මෙරටට ගෙනා රයිෆල් තුවක්කු පමණි.

එකල කොළඹ සමීපව ගැටුම් නොපැවතුණු නිසාදෝ පාසල් නිවාඩුවත් සමඟ පැමිණි ඇඳිරි නීතිය අපට මුලින්ම ගෙනදුන්නේ විනෝදයකි. රාත්‍රියේ පාළු පාර දිහා ඇඳුරට වී බලාසිටීමෙන් ප්‍රීතියක් ලැබුවෙමු. ළඟ ලයිට් (සමීප හෙඩ්ලයිට්) තිබෙන නිසා පොලිස් ජීප් රථය ඈත තියාම හඳුනාගත හැකිවෙයි. පොලිස් ජීප් රථය එනවිට අපි ගෙතුලට රිංගා ගතිමු. ඇඳිරි නීතිය නිසා සීමා වූයේ අපේ සෙල්ලම් කිරීමේ නිදහස බව වැටහුණේ දින දෙකතුනක් ගතවෙද්දීය. ඉන්පසු 4ට ඇඳිරි නීතිය ඇතිවිට 3 දක්වාත්, 5ට ඇඳිරි නීතිය තිබෙන විට 4 දක්වාත් ප.ව. 6ට ඇඳිරි නීතිය තිබෙන විට 5.30 දක්වාත් සෙල්ලම් කළෙමු. ඉන්පසු දිනවල සෙල්ලම් කර ගෙදර පැමිණියේ ඇඳිරි නීතියට විනාඩි දහයක් පමණ තිබිය දීය. 

71 අප්‍රේල් සමයේ රටේ කවුරුත් සිංහල අවුරුද්ද සැමරුවේ නැත. එදින සිංහල අවුරුදා හාල්මැස්සන් තෙම්පුරාදු කළ මිරිස් පැහැ හොද්දක්, පොල් සම්බෝලයක් සමඟ රතු කැකුළු හාල් බතක් අම්මා පිළියෙල කර දුන්නාය. කවුරැත් එදා කිරිබත් කෑවේ නැත.

1983 ජුලි 23 වැනිදා කලබල පැතිරෙද්දී ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කළේ මහජනයා මහමඟ ගැවසෙද්දීමය. ඉන්පසු නැවත ජුලි 29 වැනිදා කොළඹට කොටි ආවේයයි රාවයක් පැතිරී නැවත කළකෝලහාල පැතිරිණි. මහජනයා මහමඟ සිටියදී පැනවූ ඇඳිරි නීතිය ඊළඟ දිනය පුරාත් ක්‍රියාත්මක විය 83 ජුලි කලබල හේතුවෙන් වසා දැමූ සරසවි විවෘත කෙරුණේ මාස තුනකට පමණ පසුවයි.

1988 භීෂණ කාලයේ ඇඳිරි නීති වර්ග දෙකක් පැනවුණේය. එකක් රජයෙනි. අනෙක් ඇඳිරි නීතිය පැනවූයේ කැරළිකරැවන්ය. එවර වසාදැමුණු සරසවි නැවත විවෘත කෙරුණේ මාස ගණනාවකට පසුවයි. නිවාඩුව හමාර වී ඇතැම් සිසුන් දේශනවලට පැමිණියේ විවාහ වී දරැවන් ද කැටිවයි.

ආපසු හැරී බලනවිට දිවිය පුරා ඇඳිරි නීතිය පැනවූ ගැටුම් රාශියක් අත්විඳ ඇත්තෙමු. මේ හැම ගැටුමකින්ම අලාභ හානි වී ඇත්තේ අප රටේ දේපලවලටයි. නැසී ඇත්තේ අප රටේ ජනයාය. අඩාල වී ඇත්තේ අපේ ආර්ථිකයයි.

අකිරා කුරසොවාගේ සෙවන් සමුරායි චිත්‍රපටයේ ගොවි ප්‍රජාව සමුරායිවරුන්ගේ ද සහාය ඇතිව මහා යුද්ධයක් කොට අස්වැන්න කොල්ල කන්නවුන් පළවා හරී. සමුරායිවරුන්ගේ යුද සැලැස්ම අනුව සටන්කොට ගොවි ප්‍රජාව ජයගනී. ගොවි ප්‍රජාවේ එක් අයෙක් චිත්‍රපටය අවසානයේ ප්‍රධාන සමුරායිවරයා අමතා “අපි දිනුවා” කියයි. සමුරායිවරයා ඉදිරියේ ඇති කන්ද පුරා ඇති මිය ගියවුන්ගේ සොහොන් කොත් දෙස බලයි. “නෑ මේ පාරත් අපි පරාදයි” කියා ඔහු කියද්දී ප්‍රේක්ෂකයා දකින්නේ කන්ද පුරා ඇති සොහොන්ය.

හැම ගැටුමෙන්ම පරදින්නේ අපය. ඒ නිසා ගැටුම් අවම කළ යුතුය.

මේ වනවිට කොළඹ නගරයේ රංගශාලාවල ඉදිරි මාසයේ සියලු නාට්‍ය දර්ශන අවලංගුකොට ඇත. එහෙත් 1971 වසරේදී ගැටුම් රාශියකින් පසු වසර අගදී රට සන්සුන් වූවාසේ මේ වසරේදීත් එසේ වියයුතුය. කලා කෘති එළිදැක සිත් පහන් විය යුතුය. දුරදක්නා නුවණ පහළ විය යුතුය. රට ඉදිරියට යා යුතුය.

 සමන් පුෂ්ප ලියනගේ 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00