2019 මැයි 18 වන සෙනසුරාදා

මහනුවර නගරය රැකගන්න වැඩපිළිවෙළ

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 52

පසුගිය 13 වැනි දින මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පාසල් රැසක දරුවන් පැමිණීම සියයට එකක්වත් නැති තරම් වූ අතර ළමුන් 4000ක් වැනි සංඛ්‍යාවක් ඉගෙනුම ලැබූ ප්‍රධාන පාසල්වලට ළමුන් පැමිණීම 20, 10, 03 වැනි සංඛ්‍යාවන් දක්වා අඩු වී තිබිණි.

පවතින දැඩි ආරක්ෂාකාරී තත්ත්වය තුළ සඳුදා (13) රාත්‍රී මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන රුසකට අවි සහිත විශේෂ යුද හමුදා ආරක්ෂාව තර කිරීමටද මධ්‍යම පළාතේ ආරක්ෂක අංශ ප්‍රධානීහු පියවර ගත්හ.

සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ අයි.එස්.අයි.එස්. සංවිධානයේ බවට විශ්වාස කෙරෙන මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු ද වැඩිදුර රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට මහනුවර පොලිස් මූලස්ථානයේ විශේෂ අංශයක් කටයුතු කරගෙන යන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මහනුවර පොලිස් කොට්ඨාසය තුළින් කිසිදු ප්‍රචණ්කාරී සහ ගැටුම්කාරී තත්ත්වයක් වාර්තා නොවූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයෙක් පැවසීය. 

එක්සත් ජාතින්ගේ ලෝක ළමා අරමුදලේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයකු වූ ටිම් සටෝන් මහතා මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැක රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සහ පාස්කු ඉරිදා (21) ඇති මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරයත් සමඟ ළමුන්ගේ ජීවිත අහිමී වීම, පාසල් වැසීයාම ආරක්ෂක වාතාවරණය යටතේ ළමුන්ට පාසල් යාමට තිබූ අයිතිවාසිකම අහිමි වීම සම්බන්ධව මහානායක හිමිවරුන් සමඟ දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගත්තේය. 

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ඇතුළු ජාතික සංඝ සම්මේලනයේ භික්ෂුන්වහන්සේලා ඉස්ලාම් ත්‍රස්තවාදයට එරෙහිවත් රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයාට එරෙහිවත් ඉදිරියේදී පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනඒම සහ විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීම ගැනද සඳුදා (13) මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් වෙත කරුණු දැක්වීමට පැමිණියහ.

රටේ උද්ගත වී තිබෙන අනාරක්ෂක වාතාවරණය සහ ජනතාවට රටට නිසි නායකයකු නොමැති වීම, පාසල් වැසීයාම, ත්‍රස්තවාදීන්ගේ අවි ආයුධ අත්අඩංගුවට ගැනීම සහ රට තුළ ඇතිවී තිබෙන අසමගිය සම්බන්ධවද දැඩි කළකිරීමකින් මාධ්‍ය වෙත ඔවුහු අදහස් දැක්වූහ.

රටට නිසි නායකත්වයක් නොමැති වීමත් රටේ ජනතාවට ආරක්ෂාවක් නැතිවීමත් සම්බන්ධව ඉතා කන්ස්සල්ලෙන් කථා කළ අස්ගිරි මහා නායක වරකාගොඩ ශ්‍රී ඤානරතන හිමියෝ රට ආරක්ෂා නොකළහොත් මහා ජන හානි ඇතිවී රට ව්‍යසනයකට පත්වන බවද පැවසූහ.

බලයට පැමිණි හොඳයැයි පවසන ඇතැම් නායකයන් බලයට පත්වූ පසු ඔවුන්ගේ හොඳ ගතිගුණ ක්‍රියාමාර්ග පෙනෙන්නට නැතැයි මල්වතු මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියෝ සඳුදා (13) පැවසූහ.

මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදීන් ක්‍රියාත්මක වූ මාවනැල්ල ප්‍රදේශයෙන් බිහිවූ ත්‍රස්තවාදී තරුණයන් විවිධ ප්‍රදේශවලදී ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වීමත් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අත්තවාදී මුස්ලිම් ආගමික සංවිධාන රට තුළ ඇතිකරලීමට සුදානම් වූ ත්‍රස්තවාදීන් සතු කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට අදාළ අවි ආයුධ පුපුරණ ද්‍රව්‍ය, දරුණු තියුණු කඩු, පිහි, බෝම්බ පිපිරවීමට ගන්නා අධිබල පුපුරණ ද්‍රව්‍ය, හමුදා පොලිස් නිල ඇඳුම්, ආරක්ෂක හමුදා බූට්ස් (පාවහන්) අධිතාක්ෂණික සන්නිවේදන උපකරණ වෝකි ටෝකී, රේඩියෝ උපකරණ, වෙඩි බෙහෙත්, සේවා නූල් තොග පිටින් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 

කිසිවෙකුට ඇදහිය නොහැකි ධනවත් සමාජයේ කැපීපෙනෙන ස්ථානවල රැඳීසිටි ව්‍යාපාරිකයන් කිහිපදෙනකු සහ ඔවුන් සතු අතිනවීන මෝටර් රථ සහ සුඛෝපභෝගී වාහනද ත්‍රස්ත ක්‍රියාවන්ට යොදවා ගෙන තිබෙන බවට ආරක්ෂක අංශ සිදුකළ විමර්ශනවලදී හෙළිකර ගෙන ඇත.

මධ්‍යම පළාතේ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ඇතැම් මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාවන්ට අනුබල දුන් සහ වූ ඍජුව සම්බන්ධ වූ පුද්ගලයන්ට අතිවිශාල ලෙස ඔවුන්ගේ ගිණුම්වලට මුදල් ලැබී ඇත්තේ කෙසේ දැයි කියා වෙනමම විමර්ශනයක් සිදුකළ යුතු බවයි. 

පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේද ශිෂ්‍ය නේවාසිකාගාර පරීක්ෂාවේදී විවිධ උපකරණ, අන්තවාදී මත හා අදහස් ප්‍රකාශ වන පොත්පත් සංයුක්ත (සී.ඩී.) තැටි අධිතාක්ෂණයෙන් යුත් වෝකි ටෝකි උපකරණ (ගමන් කථන) ආරක්ෂක හමුදා සාමාජිකයන් භාවිත කරන ටී-ෂර්ට් සැක සහිත වූ ජංගම දුරකතන සිම් කාඩ්පත් සොයාගැනීමට ආරක්ෂක අංශ සාමාජිකයනට හැකිවිය.

විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පරීක්ෂාවන් සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතාගේද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ විනය පාලක අංශයේ ද විශ්වවිද්‍යාල ආරක්ෂක නිලධාරින්ගේද පූර්ණ සහාය යුද හමුදාවට පොලිසියට සහ පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබීතිබිණි.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට 1998 ජනවාරි මස 25 වන දින එල්ල වූ එල්.ටී.ටී.ඊ. කොටි ත්‍රස්තවාදින්ගේ මරාගෙන මැරෙන බෝම්බ ලොරි ප්‍රහාරය නිසා ශ්‍රී දළදා මාලිගාවේ සිදුවූ මහා විනාශයෙන් පසුව යොදවන ලද අතිවිශේෂ ආරක්ෂාවට අමතරව ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව ශ්‍රී දළදා මාලිගාවට අධි ආරක්ෂාවක් ලබාදීමට රජය පියවර ගෙන තිබේ. ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයට විශේෂ යුද හමුදා කමාන්ඩෝ ආරක්ෂාවද ලබාදීමට මේ අනුව කටයුතු යොදා තිබිණි. වෙනදා මෙන් නොව ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන බැතිමතුන්ගේ ද විශාල අඩුවක් දක්නට ලැබිණි.

මාලිගාව අවට මල් වෙළඳාම් කුටිවල වෙළඳුන්ගේ ආර්ථිකයට ද උද්ගත වී ඇති අවාසනාවන්ත සිදුවීම හේතුවෙන් පහර වැදී තිබේ. 

සංචාරක මග පෙන්වන්නන් (ටූටර්ස්ට් ගයිඩ්) ත්‍රිරෝද රථ රියදුරන් සංචාරකයන් ප්‍රවාහනයේ යෙදෙන වාහන රියදුරන් සංචාරක ආයතන රැසකට අන්තවාදි මුස්ලිම් ත්‍රස්තවාදය නිසා බඩේ පාරවැදී තිබේ.

මහනුවරට පැමිණෙන විදේශීය සංචාරකයන් ප්‍රමාණය අඩුවීමත් සමඟ බොහෝ සංචාරක හෝටල්වල අනියම් පදනම මත සේවයට බඳවා ගෙනසිටි හෝටල් සේවක සේවිකා පිරිස් අඩු කිරීමට සිදුව ඇතිබව එම සංචාරක හෝටල්වල පරිපාලන නිලධාරීහු පැවසූහ.

ඇතැම් මහා පරිමාණ රෙදිපිළි සහ වෙනත් සුපිරි භාණ්ඩ අලෙවි සල්වලද දෛනික වෙළඳාම අඩුවී ඔවුන් දෛනිකව උපයන මුදල ද අඩුවී ගොස් ඇති බව එම වෙළඳ ආයතන හිමිකරුවෝ සඳහන් කළහ.

මහනුවර ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමක් ද ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදී පුද්ගලයකුගේ සමිපතම ඥාති ව්‍යාපාරිකයෙකු ගෙන් මුදල් ලබාගැනීමේ සිද්ධියක් මත පොලිස් ප්‍රශ්න කිරීම්වලට ලක්වී සිටිති. එම භික්ෂුන් වහන්සේට මුදල් ලබාදුන් ව්‍යාපාරිකයා දැනට පොලිස් අත්අඩංගුවට පත්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ප්‍රශ්න කිරීම්වලට ලක්කෙරෙන බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය

ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන්වහන්සේලා ද සිය අත්සනින් යුක්තව රජය වෙත දැනුම් දි ඇත්තේ මෙම තීරණාත්මක අවස්ථාවේ මහජන ආරක්ෂාව තහවුරු කරමින් සියලු බෞද්ධ සිද්ධස්ථානවලද අවශ්‍ය ආරක්ෂාක විධිවිධාන යෙදීම රජය සතු වගකීමක් බවයි. තිරසාර ප්‍රතිපත්තිමය තීරණ ගන්නා ලෙස ද මහානාහිමිවරු දැනුම් දී සිටිති.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේද ආරක්ෂාව සඳහා අධි තාක්ෂණයෙන් යුත් ආරක්ෂක උපකරණ ගෙන්වීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා කීය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පැවසුවේ පවතින වාතාවරණය යටතේ මධ්‍යම පළාතේ පාසල්වල ආරක්ෂාව සඳහා විශ්‍රාමික හමුදා නිලධාරින් සහ පොලිස් නිලධාරින් ඔවුන්ගේ එකඟතාවය මත ආරක්ෂක කටයුතු සඳහා බඳවාගෙන ඔවුන් සඳහා දෛනිකව රුපියල් 750/-ක දීමනාවක් ලබාදීම සඳහා මධ්‍යම පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශය හරහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ගාමිණී රාජරත්න මහතා දැනුවත් කරන බවයි.

මෙම ආරක්ෂක තත්ත්වය යටතේ මහනුවර පිහිටි ප්‍රධාන මුස්ලිම් දේවස්ථානවලට යාඥා කටයුතු සඳහා ඇතුල් වන ඉස්ලාම් භක්තිකයන්ද ඔවුන් ගෙනඑන පාර්සල් ද ගමන්මලු ආදිය ද විශේෂ පරික්ෂාවකට ලක්කිරීම සඳහා එම පල්ලිවල පූජකතුමන්ලා කටයුතු යොදා තිබේ.

මගී ප්‍රවාහන බස් රථ සහ වෙනත් පොදු වාහනද රාත්‍රී කාලයේ විශේෂ සෝදිසියකට ලක් කිරීමට පොලිසිය සහ යුද හමුදාව ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතිඅතර මුස්ලිම් දේවස්ථාන, කතෝලික දේවස්ථාන, ප්‍රධාන විහාරස්ථාන, මල්වතු අස්ගිරි මහා විහාර සහ ගැටඹේ රාජෝපවනාරාමය නෙල්ලිගල බෞද්ධ මධස්ථානය යන පූජනීය ස්ථානවලටද නගරයේ ප්‍රධාන කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථානවලට ද ආයුධ සන්නද්ධ පොලිස් සහ හමුදා ආරක්ෂාව ලබාදීමට ආරක්ෂක අංශ ප්‍රධානීන් විසින් පියවර ගෙන තිබිණි.

ඇතැම් මුස්ලිම් ජාතිකයන් උඩරට ප්‍රභූ පවුල්වල වලව්වල වාසගම් සහිතව තම මුස්ලිම් නමට සිංහල සහ ඉංග්‍රීසි නම් යොදාගනිමින් නම් වෙනස් කිරීමට උත්සාහ ගෙන ඇති බවද ආරක්ෂක බුද්ධි අංශ විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

මධ්‍යම පළාතේ පොලිස් හා යුධ ආරක්ෂක අංශවල ප්‍රබල බුද්ධි අංශ ක්‍රියාත්මකට තිබියදී නුවරඑළිය ප්‍රදේශයේ තව්හිද් ජමාත් අන්තවාදි ඉස්ලාම් ත්‍රස්ත පුහුණු මධ්‍යස්ථාන කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යෑමත් එම රහසිගත පුහුණු මධ්‍යස්ථානය පිළිබඳව කිසි ආරක්ෂක බුද්ධි අංශයකට හෝ නුවර එළිය පොලිසියේ විශේෂ පොලිස් බුද්ධි අංශයේ නිලධාරින්ට හෝ තම ඔත්තු කරැවන් මගින් හෝ ජනතාව වෙතින් තොරතුරක් නොලැබීම මවිතයට කරැණක් බවත් නුවරඑළිය ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයන් කීපදෙනක් සහ ප්‍රාදේශීය දේශපාලනඥයන් කීපදෙනෙක්ම පැවැසූහ.

මහනුවර රෝහලේ ආරක්ෂාවට සන්නද්ධ හමුදා භටයන් කිහිප දෙනකු යොදවා ඇතත් රාත්‍රී කාලයේ එම සංඛ්‍යාව වැඩි කිරීම සුදුසු බව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය.

මධ්‍යම පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති ඩී.එල්.ආර්. රණවීර මහතාගෙන් ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ පොලිසිය විසින් යුධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය ලබාගනිමින් විශේෂ සෝදිසි මෙහෙයුම් සිදුකර පුපුරණ ද්‍රව්‍ය, සැකකරුවන් ඍජුව ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් හා විවිධ උපකරණ අත්අඩංගුවට ගත් බවයි. 

මහනුවර නගරයේ ප්‍රධාන මුස්ලිම් දේවස්ථානවල ආරක්ෂාවට බොහෝ විට සිංහල බෞද්ධ ජනතාවගේද සහාය ලැබී තිබෙන බවක් දක්නට ලැබෙන අතර එම දේවස්ථානවල ආගමික යාඥා කටයුතුවලට ද කිසිදු බාධාවක් අවහිරයක් එල්ල නොවී තිබෙන අන්දමද දැකගන්නට ලැබිණි.


 ජේ.ඒ.එල්.ජයසිංහ
     සේයාරූ - තෙල්දෙණිය චන්දන උඩුමාවල

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00