2019 මැයි 11 වන සෙනසුරාදා

නරක තත්ත්වය පහවෙයි

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 91

පසුගිය 21දා සිදුවූ අවාසනාවන්ත ඛේදවාචකයෙන් උද්ගතවූ තත්ත්වය සම්පූර්ණයෙන් පහව ගොස් නැති නමුදු මේ වනවිට සෙමින් වුවද ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතී. යමක් සිදුවනවාට වඩා යළි සකස් කිරීම අපහසු බව අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් දැනට පවතින ග්‍රහචාරය අනුව මෙම තත්ත්වය ඉදිරියට තීව්‍ර නොවන අතර පවතින පරිසරය සංසුන් කිරීමට ත්‍රිවිධ හමුදාව ප්‍රධාන සාමකාමී ජනතාව කටයුතු කිරීම හේතුවෙන් කෙමෙන් පහව යනවා ඇත. එහෙත් මෙහිදී සමස්ත ජනතාව ඉවසිලිවන්තව කටයුතු කළයුතු බව පෙන්වා දෙමු. එකිනෙකා එකිනෙකා කෙරෙහි අවධානය යොමුකළ විට සිදුවන දේවල් වළක්වා ගැනීම අපහසු නොවනවා ඇත. එහෙත් මෙවර අපට වැරදුණේ අවට සිදුවන දේ ගැන අවධානය අවම කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. 

අවුරුදු නැකතේ ධනස්ථානාධිපතියා මෙන්ම අයස්ථානාධිපතියා වූ බුද ග්‍රහයා තත්කාලයේ අට වැන්නේ සිටි දෝෂය ඉදිරියට ගමන් කිරීමේදී කුජ සහ රාහු ග්‍රහයාට තමාගේ මිථුන රාශියේදීම හසුවීම නිසා ජන මනස කුලප්පු කරන්නට මාන බැලුවේය.

මේ අනුව අප්‍රේල් 14 සිට මාස තුනක් සපිරෙන ජූලි 14 වෙනි දින දක්වාම මෙකී ග්‍රහ පීඩාව ඉදිරියට ගමන් කරන අතරම ජුනි 14 සිට ජුනි 21 දක්වා සතියක්ම ග්‍රහ පීඩා විෂ ග්‍රහ කිරණ නිකුත් කරනු ඇත.

මෙම කාලය තුළදී ගොඩනැගිලි හා පතල් කාර්යාංශ භාර මෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව භාර නිලධාරින් කල්පනාවෙන් සිට සිදුවිය හැකි යම් යම් අසාමාන්‍යකාරී ස්වභාවික විපත්ති ආදියෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුයි. 

විශේෂයෙන් 2019.06.16 වෙනි දිනය ඉලක්ක කොට ගෙන සියලු ආරක්ෂාවන් සළසා ගැනීමට කටයුතු සම්පාදනය කිරීම මැනවි. රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ද වැඩිහිටි නිවාස ආදිය මෙන්ම ඒවායේ සිටින ප්‍රබල මාරක ග්‍රහ අපල ගෙවන අයද යෞවන යෞවනියන් ද නෘත්‍ය ශාලා අධ්‍යාපන ආයතන ආදිය කෙරෙහිද ඒවායේ ආරක්ෂාව පිළිබඳව ද අවධානය යොමුකිරීම අවශ්‍ය වේ. එමෙන්ම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනයන්හි මෙන්ම ආරක්ෂක අංශවල ස්ථානගතව කටයුතු කරන විදුලි අංශ හා ඉංජිනේරු අංශ මෙන්ම වෙනත් විදුලි කාර්මික නිලධාරීන් විසින් තම තමන්ගේ ක්ෂේත්‍රවල සුරක්ෂිතතාවය පිළිබඳව අනිවාර්ය සෙවිල්ලෙන් පසු විය යුතුයි.

හදිසි ආපදා ඇති නොවුණද භූමියේ පැවතිය හැකි නායයාම්, භූ කම්පන ආදිය පිළිබඳව ඒ හා සම්බන්ධ වන වගකිව යුතු අංශ අවදියෙන් සිටිය යුතුය. සුළු හෝ වෙනස්කම් සිදුවන තත්ත්වයන් අවබෝධ කරගන්නා නවීන තාක්ෂණික මෙවලම් නිසි ක්‍රියාකාරීත්වයේ ඇතිදැයි යන්න පිළිබඳ වගබලා ගත යුතුයි.

සෑම සියලු කෙනෙකුම ඉවසිලිවන්තව කටයුතු කිරීමට වගබලා ගැනීමෙන් මෙන්ම තම තමන්ට පැවරී ඇති වගකීම් නිසිලෙස ඉටු කිරීමට ක්‍රියා කරන්නේ නම් බොහෝ අසාමාන්‍ය විපත් වළක්වා ගතහැක. 

ඉදිරියට ඇතිවිය හැකි දෝෂ අවම කර ගැනීමට පහත සඳහන් ස්තොත්‍රය සූර්ය නමස්කාරයෙන් පසුව ගායනා කරන්න.

ගහණමාදි රාදි තේසා - ලෝක රක්ෂණ කාරකඃ
විෂමස්ථාන සම්භූතඃ - පීඩාං හරතු මේ රවිඃ