2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා

ආරුගම්බේ Surfing Season පටන් ගන්න යන්නේ

 2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 720
ආරුගම්බේ මුහුදු තීරය අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් නගරයට ආසන්නව පිහිටා තිබෙන සංචාරක පාරාදීසයක්. දියමත ලිස්සා යාම (surfing) සඳහා ලෝකයේ ඇති හොඳම ස්ථාන 10න් එකක් විදිහට තමයි මේ වෙරළ තීරය හැඳින්වෙන්නේ. ඔන්න ආරැගම් බේ Surfing Season එක පටන්න ගන්න යන්නේ මැයි මාසේ පළවෙනි සතියේ ඉඳන් අගෝස්තු මාසේ වෙනකම් සංචාරකයන් වෙනුවෙන් ආරුගම් විවිධ වැඩසටහන් සංවිධානය වෙනවා. ඔන්න වෙනස් විදිහේ නිවාඩු ගතකරන්න ඔයාලත් හිතනවා නම් ආරුගම් බේ යන්න පුළුවන්.
 
ආරුගම්බේ හොඳටම ප්‍රසිද්ධ සර්ෆින්ග්වලට වුණාට ඩයිවින්ග් වගේම දිය යට ඡායාරූපකරණයටත් කියාපු තැනක්. ඒ වගේම මේ කාලේදී ආරුගම්බේ ගියොත් සංචාරක කුරුල්ලො රංචු ගණන් දැකගන්නත් පුළුවන්. ඒකට නම් විශාල උනන්දුවක් තියෙන්න ඕනා. ආරුගම්බේ යන අයට පොතුවිල් කලපුවේ බෝට්ටු සවාරියක් යන්න, එලිෆන්ට් රොක් නගින්නත් අවස්ථාව තිබෙනවා. තවත් සංචාරක ස්ථාන රාශියක් නැගෙනහිර පළාතේ මේ අවට තියෙනවා. කැමති අයට ඒවා බලන්න යන්නත් පුළුවන්.

කොහොම වුණත් ආරුගම් බොක්ක මුහුදු තීරය සීසන් එකට උද්‍යෝගිමත්. දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යනවා. ඒ නිසා මේ කාලේ නිස්කලංකව ඇවිදින්න යන්න නම් ආරුගම්බේ සුදුසු වෙන්නෙ නෑ. හැබැයි රළ මත ලිස්සා යන්න මේ වගේ මුහුදු තීරයක් තවත් නෑ. තව ජල ක්‍රීඩා මේ කාලේට මෙහෙ තියෙනවා. පීනන්න, නාන්න හොඳ තැනුත් ඕන තරම්. ඒ වගේම ඕන තරම් Fun Event මේ කාලේ සංවිධානය වෙනවා මේ පැත්තේ.

සේයාරූ - අන්තර්ජාලයෙන්