2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

ඥානසාර හාමුරුවන්ගේ හිරගෙදර ජීවිතේ

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 376

සය අවුරුද්දකින් ගෙවීයන පරිදි දහනව අවුරුද්දක සිර දඬුවමකට යටත් කරනු ලැබ සිටින ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට පසුගිය පෙබරවාරි 04 වැනිදා නිදහස් දිනයට සමගාමීව ජනාධිපතිවරයා විසින් නිදහස ලබාදෙනු ඇතැයි ආරංචියක් පැතිර ගියත් එය එසේ නොවුණි.

1975 වසරේ මාර්තු මස 04 වැනිදා ඇල්පිටිය ගලගොඩ අත්ත ගම්මානයෙහි උන්වහන්සේ උපත ලැබීය. පස් දෙනෙකුගෙන් සමන්විත පවුලෙහි ළාබාලතම දරුවා ලෙස උපත ලබන ඥානසාර හිමියන්ගේ ගිහි නම නුවන් කුමාරසිරිය. යක්කඩුව කනිෂ්ඨ විද්‍යාලයෙන් ඉගනුම ලබන නුවන් කුමාරසිරි ගලබොඩඅත්තේ ඥානසාර යන නමින් පැවදි වන්නේ වයස අවුරුදු 11දී පමණය. සාමණේර දිවිය අවසන් කරමින් පසුකලක පැවිදි උපසම්පදාව ලබන ඥානසාර හිමියන් කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධිය ලබන අතර ඉන්පසුව රාජකීය පණ්ඩිත ගෞරව උපාධිය ද ලබා තිබේ. මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටින ඥානසාර හිමියන්ගේ සිරගෙදර ගෙවනා ජීවිතය ගැන සිංහල රාවය ලේකම් මාගල්කන්දේ සුදන්ත හිමියෝ දේශයේ අපත් සමඟින් කථා බහකට එක් වූහ.

“උන්වහන්සේ හිර ගෙදර ඉතා සැහැල්ලුවෙන් සිටිනවා. නමුත් උන්වහන්සේ මේ සමාජය පිළිබඳව දැඩි කලකිරීමකින් තමයි පසුවෙන්නේ කියන කාරණය අපිට දැනිලා තියනවා. බොහෝ විට උන්වහන්සේට නිදහස ලැබුණු පසු උන්වහන්සේ මෙරට වැඩසිටින එකක් නැහැ. මේ රටේ සිදුවන යම් සංසිද්ධීන් සහ පාලකයන් ගැන ඉතාමත් කලකිරීමකින් පසුවනවා. සැබැවින්ම උන්වහන්සේ එහෙම හිතන එකේ වරදක් නැහැ. මොකද මේ ආකාරයට උන්වහන්සේ සිරගත කරලා ඉන්නේ නොකළ වරදකට.

සෑම දිනකම උදෑසන අවදි වීමෙන් පසුව උන්වහන්සේ බන්ධනාගාරය තුළ තිබෙන බුදු කුටියට ගොස් වත්පිළිවත් සිදුකරනවා. පතපොත නිරතුරුවම භාවිත කරමින් තමයි උන්වහන්සේ මේ බන්ධනාගාර රෝහල තුළ කාලය ගත කරන්නේ. එමෙන්ම බන්ධනාගාරගත රැඳවියන් උන්වහන්සේ සමඟ නිරතුරුවම කතාබහ කරමින් උන්වහන්සේගේ සැපදුක් සොයාබලනවා. එමෙන්ම උන්වහන්සේ ඇතැම් අවස්ථාවල ඒ බන්ධනාගාර රැඳවියන්ට බණ දහම් ගුණදොස් ගැන කියාදීමත් සිදුකරනවා. එමෙන්ම උන්වහන්සේ සිරගෙදර පොහෝදා සංවිධානය කරන පින්කම් කටයුතු වෙනුවෙන් ආරාධනයක් ලැබුණොත් එම වැඩසටහන්වලට සහභාගී වෙනවා. 

ඒ වගේම තමයි පසුගිය කාලයේ උන්වහන්සේගේ චීවරය ඉවත්කොට ජම්පරය ඇන්දවිය යුතුයි යන මතය සමාජය පුරාවටම දැඩිකථාබහට ලක්වූ කරුණක්. නමුත් උන්වහන්සේ ස්ථිරසාර ලෙසම එයට දැඩිලෙස විරුද්ධ වුණා. ඒ පිළිබඳවත් උන්වහන්සේ තුළ යම් කලකිරීමක් තියෙනවා.

අධිකරණයට උන්වහන්සේ අපහාස කළබවට චෝදනා උන්වහන්සේට නගලා තිබුණා. එහිදී උන්වහන්සේ තුන් වතාවක් අපෙන් වරදක් වුණොත් සමාවෙන්න ස්වාමීනී යනුවෙන් පවසා තිබුණා. නමුත් උන්වහන්සේට වසර 19ක සිර දඬුවමක් සය වසරකින් ගෙවිලා යන ආකාරයට මේ විදියට නියම වී තිබෙනවා.

උන්වහන්සේට ඉතාමත් සුමිහිරි හඬින් බණ දේශනා කරන්න පුළුවන් හැකියාවක් තියනවා. බොහෝ සිරකරුවන් පවා උන්වහන්සේගෙන් බණ අහන්න කැමැත්තක් දක්වනවා. උන්වහන්සේ නිරතුරුවම එවැනි පුද්ගලයන්ට ධර්ම දේශනා කරනවා.

මේ රට ගැන ජාතිය ගැන උන්වහන්සේ තුළ තිබෙන ඒ කැක්කුම තවමත් අඩුවෙලා නැහැ. උන්වහන්සේ පෙර පරිදිම තවමත් මේ රටේ ජනතාව ගැන රට ගැන කතා කරනවා. ඒ වගේම අද වනවිට මේ රටේ සිදුවන යම් යම් වැඩ ගැන උන්වහන්සේ තුළ පැහැදීමක් නැහැ. මොකද උන්වහන්සේ තමන්ගේ රටට ජාතියට බොහෝ ආදරය කරන බව සියලු දෙනා දන්න කාරණයක්.

බන්ධනාගාර රෝහල තුළ ප්‍රතිකාර ලබමින් තමයි උන්වහන්සේ මේ වනවිටත් වැඩ සිටින්නේ. එසේ වුවත් උන්වහන්සේ තමන්ගේ අසනීප තත්ත්වය ගැන පවා නොසිතමින් නිරතුරුවම රට ගැන ජාතිය ගැන සිතන බව බොහෝ වෙලාවට දැනිලා තියනවා.

එමෙන්ම උන්වහන්සේ තමන්ගේ මෑණියන්ට දක්වන්නේ දැඩි ආදරයක්. ඒවගේම උන්වහන්සේ තුළ තිබෙන ඒ ධෛර්ය උන්වහන්සේ බාන්ධනාගාරගත කරලා සිරකරන්න බැහැ. ඒ තරමටම උන්වහන්සේ රටට ජාතියට ආදරෙයි.

ඒ වගේම තමයි රටටත් ජාතියටත් මේ බුද්ධ ශාසනයටත් අතිමහත් සේවයක් කළ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට හැකි ඉක්මනින් නිදහස ලබාදෙන්න කියලා තමයි අපි වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ. මොකද උන්වහන්සේ වැනි ධෛර්යක් තියන ස්වාමීන් වහන්සේ නමක් මේ රට හැරදා ගියහොත් එය රටට ජාතියට වෙන පාඩුවක්.

සටහන - හසිත් අංජන