2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

බල පෙරළියකට ඉඩක් තිබෙනවාද?

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:31 286

සිංහල හින්දු අලුත් අවුරුද්ද බල පෙරළියක දේශපාලන උණුසුම මැද උදා විය. අලුත් අවුරුද්දේ බල පෙරළියක් සිදුවන බවට රටේ ඉහළ දේශපාලන ධාරාවේ ඇතිවුණු කසු කුසුව පසුගිය සතියේ මාධ්‍ය ඔස්සේ මහජනයා වෙත ද කාන්දු විය. එහෙත් අප මේ ලිපිය ලියන මොහොත වන විටද එවැන්නක් සිදුවී නොමැත. එම නිසා මේ සටහන බල පෙරළි කටකතාවේ දේශපාලන පසුබිම හා කාලීන දේශපාලන අලකලංචි පිළිබඳ යම් සරල විවරණයක් කිරීම වෙනුවෙනි.

බල පෙරළියක් නොවුණ ද එළඹුණු සිංහල අලුත් අවුරුද්දේ දී අපි පෙර නොදුටු සංස්කෘතික පෙරළියක් දුටුවෙමු. මෙවර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නව වසරේ කිරි ඉතිරූ සැටි රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය විය. සරල දෙයක් ලෙස පෙනුණ ද මේ සිදුවීමේ දේශපාලන ගැඹුරක් ඇතැයි සිතීමට තරම් කරුණු වෙයි. මේ අතර ජනපති වැඩ ඇල්ලුවේ සුපුරුදු ලෙස පැළ සිටුවමිනි. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ සපිරිවර ගමේ දී අවුරුදු සැමරූහ. මේ සියල්ල අතරේ මෙරට මහජනයා ද අවුරුදු කෑහ. සතියකට පසු එම අවුරුදු කෑමේ තරම කෙසේදැයි කිවහොත් දැන් බොහෝ දෙනාගේ අතේ වත සතේට හිඳී ඇත.

ඒ අවුරුදු කතාය. දැන් අපි බල පෙරළි කතාවට අවධානය යොමු කරමු. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සති දෙක තුළදී සිදුකළ යම් යම් ප්‍රකාශ බල පෙරළියක ඉඟි බව ඇතැම් අය සිතුවාට සැක නැත. එහෙත් එහි උභතෝකෝටිකය වූයේ ඔක්තෝබර් 26 සිදුවීමෙන් පසු බල පෙරළියක් සිදුකිරීමට ඇති නෛතික හැකියාවයි. එ නමුදු මාධ්‍ය ද නොමසුරුව පසුගිය සතියේ බල පෙරළිය පිළිබඳ ඉඟි කරනු ලැබීය. ස්ථීරසාරව නොකියැවුණු නමුදු මෙවර ද මෙය පිටුපස සිටින්නේ ජනාධිපතිවරයා බව එහිදී පැහැදිලි විය. මේ බල පෙරළිය සිදුවන ආකාරය ගැන කියවුණු කතා සිත් ඇදගන්නා සුළු ලෙස වෙබ් මාධ්‍යයේ සටහන්ව තිබුණි.

ඒ අනුව පළමු සැලසුම නම් දැනට දෙලොවක් අතර සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ද පෙර හිතවත්කම් පෑ එජාප මැති ඇමැතිවරැන් ද එක්ව පාර්ලිමේන්තුවේ 113ක බහුතරය ලබාගැනීමයි. ඊට තොණ්ඩමන්ගේ ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරු දෙදෙනා ද, මුස්ලිම් කොංග්‍රසයෙන් හා සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් බිඳී පැමිණෙන මන්ත්‍රීවරු කිහිප දෙනකු ද එක්කර ගැනීම අදහස වී තිබිණි යැයි ප්‍රකාශ විය. ඒ සමඟ පාර්ලිමේන්තු බහුතරය ලබාගෙන නව ආණ්ඩුව පිහිටුවීමට හැකිය. මේ සැලැස්ම ජනාධිපතිවරයාට ලබා දී ඇත්තේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු බව ඇතැම් තැන්වල කියැවිණි.

අනෙක් සැලැසුම ලෙස කියැවෙන්නේ ජනාධිපතිවරණය කල් දැමීමයි. ඉදිරි ජනාධිපතිවරණය 2019 නොවැම්බර් 09 සහ දෙසැම්බර් 09 දින අතරතුර දී පැවැත්විය යුතු වේ. එහෙත් වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කතානායකවරයා අත්සන් තැබූ දින සිට ගණන් බැලීම මෙහි සැලැසුමයි. ඊට අවශ්‍ය ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණය නව අගවිනිසුරු පත්වූ පසු ලබාගත යුතු වේ. එම සැලැසුම සාර්ථක වුවහොත් ජනපතිවරණයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපතිට හැකිවනු ඇත.

මෙම බල පෙරළිය පිළිබඳ පැතිර ගිය තවත් ආරංචි තිබේ. ඒවායින් කිහිපයක් මෙසේය.

කල්තියා ජනාධිපතිවරණයක් පැවැත්වීමේ සූදානමක් තිබේ. තවද වත්මන් ආණ්ඩුවේ ප්‍රබල දේශපාලන චරිතයක් ඉවත්කොට ඒ වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමැතිවරයකු එම තනතුරට පත් කිරීමේ සුදානමක් ද ඇත. මේ සියල්ල සිදුවන්නේ අප්‍රේල් මස 15 වැනිදාට පසුවය. මීට සමාන්තරව තවත් ප්‍රබල කටකතාවක් පැතිර යමින් තිබේ. එනම් ප්‍රබල දේශපාලනඥයකුට මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීමට දැනට ඇප මත නිදහස ලබා සිටින පුද්ගලයන් පිරිසක් රජයේ සාක්ෂිකරැවන් වීමට සූදානමින් සිටින බවයි.

ඉහත දක්වන ලද්දේ විටින් විට බල පෙරළිය ගැන අපට දැනගැනීමට ලැබුණු තතුය. එහි සත්‍යතාවය හා පදනම පිළිබඳ අපට ද ඇත්තේ පැනයකි. පසුගියදාක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණේ ආණ්ඩුව පෙරළන්නේ ඉදිරි මැතිවරණයක දී බවයි. මේ අතර සජිත් - රවී අර්බුදය ද තීව්‍ර වෙමින් පවතී. ඒ අනුව එජාප අභ්‍යන්තර දේශපාලන අර්බුදයක් තිබෙතැයි සිතිය හැකි සාධක මතුවෙමින් ඇත. මේ අතර එජාපය පාර්ශ්වයේ ඇතැමකු චෝදනා නගන්නේ බල පෙරැළිය ගැන කතාව හුදු මවාපෑමක් බවත් එජාපය භේද කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වීමක් බවත්ය. ජනතා විමුක්ති පෙරමුණ බල පෙරැළි කතාවේ නෛතික පදනම ප්‍රශ්න කරන මුත් මේ සම්බන්ධ විශාල දේශපාලන මැදිහත් වීමක් නොකරයි. ද්‍රවිඩ ජාතික සන්ධානයේ ද යම් යම් අර්බුද තිබෙන බව කිව යුත්තකි. එහෙත් බල පෙරළියක දී බල තුලනය ඔවුන්ට තීරක බලවේගයකි.

මේ අපට බල පෙරළිය පිළිබඳ ඇහෙන කතාය. මීට අදාළ පුළුල් විවරණයක් කිරීම අපි පසුවට කල් දමමු. එය ඉදිරි සතියේ දේශපාලන හැසිරීම මත තීරණය වනු ඇත. ජනපති ද පෞද්ගලික විදෙස් සංචාරයක යෙදෙමින් සිටී. එහි ද යම් ගුප්ත බවක් ඇත. එහෙත් බල පෙරළියක් කෙසේ වෙතත් මැතිවරණ අවශ්‍යතාවය නම් රටට තදින්ම දැනෙමින් තිබේ. ජනාධිපතිවරණය හෝ ඉදිරියේ පැමිණෙන කුමන හෝ මැතිවරණ ඉතා වැදගත් වනු ඇත. මන්ද, බලය පෙරළීමේ අයිතිය ඇත්තේ දේශපාලනඥයන්ට නොව ජන්දදායකයාටය.

 චමිඳු නිසල් ද සිල්වා

අප විශ්වාසය තබන්නේ මහජනතාව මතයි
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා එක්සත් ජනතා නිදහස් සංධානය

බල පෙරළියක් සඳහා අප කළ යුත්තේ පාර්ලිමේන්තුවේ බලය වර්ධනය කර ගැනීම. නොඑසේනම් ඉදිරි ජනාධිපතිවරයා ඉලක්ක කරගෙන එය ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් සැකසීම. පසුගිය වතාවේ සිදුවුණ දේ අනුව එක්සත් ජාතික පෙරමුණ සම්පූර්ණයෙන්ම රැඳී තියෙන්නේ දෙමළ ජාතික සංධානයේ බලය මත කියන එක පැහැදිලියි. ඒ හේතුවෙන් දෙමළ ජාතික සංධානය තමන්ගේ අදහස් වෙනස් කරගන්නා තුරු හෝ එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර පිපිරීමක් සිදුවන තුරු අපට ඒ ගැන කතා කරන්න පුළුවන්කමක් නෑ. එම නිසා මම හිතනවා බල පෙරළියකදී ජනතාව මත විශ්වාස තියලා ජනාධිපතිවරණය සඳහා සූදානම් විය යුතුයි කියලා. එක තමයි මගේ මතය. අනෙක් සියලු දේ විවිධ අවස්ථාවලදී අපට ලැබෙන බෝනස්. ඒ පිළිබඳ විශ්වාස තියන එකට වඩා මහජනතාව මත විශ්වාසය තැබීම වැදගත්.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු ඇතුළත බල තුලනයක් ඇතිවීමට හේතුව තමයි මම දකින විදිහට ආර්ථික වශයෙන් රට ලබලා තියෙන දැවැන්ත පසුබෑම. රජය කොතරම් බදු මුදල් අපේක්ෂා කළත් ඒ හා සමාන ලෙස වෙළඳපොළ ක්‍රියාකාරීත්වය සිදුනොවීම තුළ එම බදු මුදල් ලබාගන්න බෑ. ඒ නිසා රජය විශාල ආර්ථික පසුබෑමක ඉන්නේ. වැටුප් ගෙවා ගන්නට හා අනෙකුත් කටයුතු සිදුකිරීම මුදල් නොමැති තත්ත්වයක් තුළ ග්‍රීසිය පත්වෙච්ච තත්ත්වයට ආසන්න තත්ත්වයකට අපි පත්වෙලා ඉන්නේ. මේ තත්ත්වය තවත් උග්‍ර වුවහොත් අකැමැත්තෙන් වුණත් ඔවුන්ට බල පෙරළියක් සඳහා යන්න වෙනවා.

ඉදිරි ජනාධිපතිවරණය ගත්තාම ඇත්තට අපේ රටේ ඡන්ද පදනම තියෙන්නේ ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක් මත. ගම්පහ, කොළඹ, කළුතර, රත්නපුර, කුරුණෑගල ආදී දිස්ත්‍රික්ක තීරණාත්මකයි. පසුගිය අවස්ථාවේ අපිට ඒ දිස්ත්‍රික්කවල බලාපොරොත්තු වෙච්ච වැඩි ඡන්ද ප්‍රමාණය ලැබුණේ නෑ. ඒක අපේ පරාජයට හේතුවක් හැටියට අපි හඳුනාගෙන තිබෙනවා. අපි දන්නවා මෙවර මේ දිස්ත්‍රික්කවල විශාල වැඩි ප්‍රමාණයක් අපට ලැබෙනවා. ඒ නිසා ජයග්‍රහණය ගැන අපට ලොකු ප්‍රශ්නයක් නෑ. ඒ වගේ සියලුම ජන වර්ගවලට විවිධ ප්‍රදේශවල ඉන්න පිරිස්වලට ආමන්ත්‍රණය කරන්න අප බලාපොරොත්තු වෙනවා.

කරන්න බැරි වැඩක්
පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් එක්සත් ජාතික පක්ෂය

බල පෙරළිය කතාව සම්පූර්ණයෙන්ම විපක්ෂ විසින් සංවිධානාත්මකව එක්සත් ජාතික පක්ෂ භේද බින්න කරන්න හදපු කතාවක්. මොකද ඕනෑම කෙනෙක් දන්නවා පාර්ලිමේන්තුවේ 113ක් නැතිව බල පෙරළියක් කරන්න බෑ. මෙතනදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකතුමාව ඉලක්ක කරලා තමයි ඔය කතාව ප්‍රචාරය කළේ. ඒත් එතුමා එහෙම කරන පුද්ගලයෙක් නෙවෙයි. එතුමා එහෙම කරනවා නම් ඔක්තෝබර් 26ට කලින් කරන්න තිබ්බා. ඒ නිසා ඉතාම පැහැදිලියි කිසිම බල පෙරළියක් වෙන්නේ නෑ ජනාධිපතිවරණය ඉවර වෙනකල්. 2019 ඔක්තෝබර් 05 වැනිදායින් පස්සේ ජනාධිපතිවරණය කැඳෙව්වාම අපි ජනාධිපතිවරණය ජය අරගෙන ඊට පස්සේ තමයි මහමැතිවරණයක් තියන්නේ. එතකම් කිසි වෙනසක් වෙන්නේ නෑ.

අපේ ඉදිරි වැඩපිළිවෙළ මෙහෙමයි. දේශපාලනය කෙරෙනවා රාජ්‍ය පාලනය හරියට කරොත්. ආරම්භ කරපු මහා පරිමාණ ව්‍යාපෘතිවල අවසානයක් දකින්න පුළුවන් ඉදිරි මාස තුන හතර තුළදී. මාතර හම්බන්තොට අධිවේගී මාර්ගය, කොළොඹ නුවර අධිවේගී මාර්ගය ආදී දැවැන්ත ව්‍යාපෘති. ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ ගම්පෙරළිය වැඩසටහන, මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ රන් මාවත් වැඩසටහන ආදී වැඩසටහන් හරහා ගම්දනව්වල තියෙන පාරවල්, බෝක්කු, පාලම්, ප්‍රජාශාලා, පන්සල්, ක්‍රීඩා පිටි ඉතා වේගයෙන් ඉදිරි මාස කිහිපය ඇතුළත හදලා ඉවර කරන්න එක අපේ බලාපොරොත්තුව. ඒ සඳහා බිලියන 75ක් විතර වෙන්කරලා තියෙනවා. ඒ වැඩේ කෙරෙන කොට ඉබේම දේශපාලනය කෙරෙයි.

ජනාධිපතිවරණය ගත්තාම අපිට තියන පදනම තමයි. මේ රටේ සිංහල බෞද්ධ බහුතරයක් දෙනාගේ කැමැත්ත සුළු ජාතීන්ගේ කැමැත්තත් එක්ක ලබාගන්න පුළුවන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය වීම. ඊට අවශ්‍ය දේශපාලන වටපිටාව අපිට තියනවා ඒ නිසා අපි ජයග්‍රහණය කරනවා. මේ ආණ්ඩුවේ යම් යම් දුර්වලතාවයන් තියෙන්න පුළුවන්. ඒත් නැවත වතාවක් ඒකාධිපති මිනීමරණ සුදු වෑන් පාලනයක් ගේන්න මේ රටේ මිනිස්සු කැමති නෑ. මේ මාධ්‍ය නිදහස නැතිකරගන්න මාධ්‍යවේදීන් කැමතිද? ඒ නිසා මාධ්‍යවේදීනුත් අපිව ජයග්‍රහණය කරන්න වැඩ කරයි.

ජනාධිපතිවරයා යළිත් අත පුච්චගන්න එකක් නෑ
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස ජනතා විමුක්ති පෙරමුණ

මහ මැතිවරණයට පෙර පාර්ලිමේන්තු තුළ ආණ්ඩු මාරුවක් සිදුවෙනවා නම් එය සිදුවිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව. අපි කල්පනා කරනවා ජනාධිපතිවරයා යළිත් වතාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා අත පුච්ව ගන්න එකක් නෑ කියලා. පසුගිය ඔක්තෝ්බර් 26 වැනිදා ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයක් පිළිබඳ පාඩම් මතක ඇතියි කියලා අපි හිතනවා. පාර්ලිමේන්තු තුළ අලුත් අගමැතිවරයෙක් පත් කරන්න පුළුවන්. ඒ අගමැතිවරයා පාර්ලිමේන්තු තුළ තමන්ට බහුතර තියනවා කියලා පෙන්වන්න ඕනෑ. එවිට පාර්ලිමේන්තුව ඒක පිළිගන්නවා. එවැනි ආකාරයේ බල පෙරළියක් තොරව කරන බල පෙරළියකින් සිද්ධවෙන්නේ අපි ජාත්‍යන්තර ඉදිරියේ හෑල්ලුවීම. කොන්වීම.

ඒ වගේම පසුගිය දවස්වල ඇතිවෙලා තිබ්බා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ යම් කතාවක්. ව්‍යවස්ථාට අනුව ජනාධිපතිවරයාගේ තනි කැමැත්තට පාර්ලිමේන්තු විසුරුවා හරින්න බෑ. 2019 මාර්තු 02 දා දක්වා මේ පාර්ලිමේන්තුවට ඉස්සරහට යන්න පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තුනෙන් දෙකක් තම කැමැත්තෙන් පාර්ලිමේන්තු විසුරුවා හැරීමට තීරණය කළේ නැත්නම්. ඒ නිසා අපි කියන්නේ බලය අත දරන හැම කෙනෙක්ම ආණ්ඩුව ව්‍යවස්ථාවට අනුව කටයුතු කළ යුතුයි. කාටවත් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට අයිතියක් නෑ.

කොහොම වුණත් ඉදිරියේදී ජාතික මැතිවරණයක් පැමිණීමට නියමිතයි. එහිදී මහ මැතිවරණයක් කලින් පැවතීම වඩාත් සුදුසුයි කියලා ජනතා විමුක්ති පෙරමුණ හිතන්නේ. මන්ද ජනාධිපතිවරණයක් පැවැත්වීම ජනාධිපතිවරයා හෝ පවතින ආණ්ඩුවට කිසිදු සදාචාර අයිතියක් නෑ. ජාතික මැතිවරණක් පවත්වලා පළාත් සභා මැතිවරණ පැවැත්වීම තමා වඩාත් හොඳ. එතකොට තමයි පළාත් සභාවලටත් තමන්ගේ වැඩ කටයුතු කරගෙන යාමේ පහසුවක් ඇතිවෙන්නේ. .


 

 

 

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00