2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

ජීවිත 42ක් බිලිගත් අලුත් අවුරුදු අනතුරු

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 68

අලුත් අවුරුදු සමයේ ගතවූ 13 හා 14 සිට 17 දක්වා දින පහක කාලය තුළදී දිවයින පුරා ප්‍රදේශ ගණනාවකින් වාර්තා වූ රිය අනතුරුවලින් පුද්ගලයෝ 42ක් ජීවිතක්ෂයට පත්ව සිටියහ. මාරක අනතුරු 31ක් සිදුකරමින් වාර්තා වූ මරණ සංඛ්‍යාව අතරට ඥාති පවුල් තුනක පුද්ගලයන් 10 දෙනකු ජීවිතක්ෂයට පත් කරමින් මහියංගණය ජාතික පාසල ඉදිරිපිටදී සිදුවූ අනතුර වඩාත් බරපතළය.

මහියංගණය බදුල්ල ප්‍රධාන මාර්ගයේ දී 17 වැනිදා අලුයම 1.35ට පමණ සිදුවූ අනතුරට ලක්ව තිබුණේ ත්‍රිකුණාමලය සිට දියතලාව දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් හා බදුල්ල දෙස සිට මහියංගණය දෙසට ධාවනය කළ වෑන් රථයක් එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙනි.

මධ්‍යම රාත්‍රිය ඉක්මවා හෝරා එකහමාරක් ගතව තිබියදී මගීන් පටවාගත් පෞද්ගලික බස් රථයක් මහියංගණය පසුකරමින් බදුල්ල දෙසට ධාවනය වෙමින් තිබී ඇත. ඒ මොහොතේම ඥාතීන් පිරිසක් රැගත් වෑන් රථයක් බදුල්ල දෙසින් මහියංගණය නගරය දෙසට පැමිණෙමින් සිට ඇත. සෑහෙන දුර ප්‍රමාණයක් ඒකාකාරී ධාවන වේගයකින් පැමිණි වෑන් රථයේ රියැදුරුට ඇතිවූ ගමන් විඩාවත්, නිදිබර ගතියත් නිසා ක්ෂණයකින් පාලනය ගිලිහුණු රථය මාර්ගයේ විරුද්ධ මංතීරුව ඔස්සේ ධාවනය වන්නට විය. එසැණින් වේගයෙන් ඉදිරියට පැමිණි බස් රථය වෑන් රථය හා එකිනෙක ගැටී තිබුණේ ප්‍රදේශයම දෙදරුම් දෙන ශබ්දයක් නංවමිනි. වෑන් රථයේ ඉදිරිපස කොටස සුන්බුන් ගොඩක් වෙද්දී එහි පැමිණි පිරිස බරපතළ තුවාල සහිතව ඒ මේ අත වැටී සිට ඇත. ඒ සමඟම බස් රථයේ පැමිණි පිරිස හා අසල්වැසි පිරිස් එක්ව තුවාලකරුවන් 12 දෙනකු මහියංගණය රෝහලට ඇතුළත් කරන්නට පියවර ගෙන තිබුණි. ඒ වනවිටත් බරපතළ තත්ත්වයේ පසුවූ ඔවුන්ගෙන් දස දෙනකු ජීවිතක්ෂයට පත්ව සිටි අතර අනෙක් දෙදෙනා බරපතළ තත්ත්වයෙන් තවමත් බදුල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති.

මියගිය පිරිස අතර පිරිමි 4ක්, කාන්තාවන් 3ක් සහ කුඩා දරුවන් තිදෙනෙක් ද වූහ. මේ පිරිස වයස අවුරුදු 10-56 අතර පසුවූවෝ වෙති. මෙහි වඩාත් සංවේදී කාරණාවක් වන්නේ පිරිස අතර සිට ජීවිතක්ෂයට පත්වීමට තරම් අවුරුදු හතරක් වන නිවුන් දැරියන් දෙදෙනකු අවාසනාවන්ත වී සිටීමය. අනතුරින් තුවාල ලබා තවමත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ වයස අවුරුදු 13 හා 16 වයසේ පසුවන දැරියන් දෙදෙනකි.

අනතුර සම්බන්ධයෙන් සිදුකළ පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ වෑන් රථයේ රියැදුරුගේ අපරීක්ෂාකාරී ධාවනය හේතුවෙන් අනතුර සිදුව ඇති බවය. කෙසේවෙතත් පරීක්ෂණය සිදුකරන අතරතුර බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන වෛද්‍ය පරීක්ෂණයකට යොමුකිරීමට පියවර ගෙන තිබුණි. අනතුරුව ඔහු මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී රුපියල් ලක්ෂ දෙක බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කරන ලදී. සිද්ධිය පිළිබඳ ඉදිරි නඩු වාරය සැප්තැම්බර් 05 වැනිදා කැඳවීමට නියමිතය.

අනතුරට පත්වූ වෑන් රථයේ රියැදුරු හැර සෙසු පිරිස ඥාති පවුල් තුනක ස්වාමිපුරුෂයන්, බිරින්දෑවරුන් හා දරු දැරියන් වන බව පොලීසිය සඳහන් කරයි. මේ පිරිස මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ අතර අලුත් අවුරුද්දට නෑදෑ ගමනක් යමින් සිටියදී අනතුරට පත්ව තිබිණ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ රාත්‍රියේ ගමන් ගන්නා රථවාහනවල රියැදුරන් සමඟ සෙසු පිරිස නිරන්තරව කතා කරමින් හෝ අවශ්‍ය මොහොතේ දී කෑමබීම වලින් සංග්‍රහ කිරීම සහ අවශ්‍ය පමණ විවේක ගැනීම කළ යුතු බවය. ඊට අවස්ථාව සැලසීම රථයේ මගීන්ගේ යුතුකම මෙන්ම දෙපාර්ශ්වයේ වගකීම බවද ඔහු කීය.

පුද්ගලයන් පස් දෙනකුට තුවාල සිදුකළ වෑන් හා ත්‍රිරෝද රථ අනතුරක් ඉකුත් 15දා සිදුව තිබුණේ තංගල්ල හම්බන්තොට මාර්ගයේ හුංගම කිවුල ප්‍රදේශයේදීය. බෙන්තර මිරිස්වත්ත ප්‍රදේශයේ පිරිසක් කතරගම වන්දනාවේ යමින් සිටියදී අම්බලන්තොට දෙසින් ගිය ත්‍රිරෝද රථය මුහුණට මුහුණ ගැටී එම වාහන දෙකම මාර්ගයෙන් ඉවතට පෙරළී ඇත. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ වෑන් රථයේ රියැදුරුට නින්ද යාම නිසා අනතුර සිදුව ඇති බවය. අනතුරින් රථ දෙකේම රියැදුරන් සමඟ වෑන් රථයේ ගමන් ගත් හිමිනමක් හා තවත් කාන්තාවන් දෙදෙනකු තුවාල ලැබ සිටියහ.

ඇඹිලිපිටිය සූරියකන්ද මාර්ගයේ කොළොන්න ප්‍රදේශයේදී තිදෙනකු රැගත් ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටීමෙන් රථයේ පසුපස ගමන් ගත් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත් වූහ. එහිදී තුවාල ලබා සිටි රියැදුරු රෝහල්ගත කිරිමට රැගෙන යමින් සිටියදී ඔහු අතරමගදී පැන ගොස් ඇත. පොලීසිය සැක කරන්නේ අනතුර සිදුකළ රියැදුරා බීමත්ව සිට ඇති නිසා එසේ පැන යන්නට ඇති බවය.

මේ අතර ත්‍රිරෝද රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් දෙදෙනකු තුවාල ලැබූ බව වාර්තා වූයේ කුරුණෑගල රිදීගම ප්‍රදේශයෙනි. එම මාර්ගයේ බරන්දන පාලම අසල දී ඉකුත් 15 දින සිදුවූ අනතුරින් පසුව එක් ත්‍රිරෝද රථයක රියැදුරු පලාගොස් ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මාවතගම පොලීසිය විමර්ශනයක් අරඹා ඇති බවත් සඳහන්ය.

ඉකුත් 16දා රාත්‍රියේ ත්‍රිරෝද රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටී කණ්ඩලම ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් එකම පවුලේ දියණියක හා පුත්‍රයා මියගොස් තිබුණි. එදිනම දඹුල්ල පැල්වෙහෙර මාර්ගයේ දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් වූ අනතුරකින් තරුණියක ජීවිතක්ෂයට පත් වූවාය.

මේ හැර ඇඹිලිපිටිය, එගොඩඋයන, වරකාගොඩ, රුවන්වැල්ල, තඹුත්තේගම, පේදුරැතුඩුව, අම්බලන්ගොඩ, මොණරාගල, බේරැවල, අඹන්පොළ, බණ්ඩාරගම, විල්ගමුව, වාරියපොළ, මිනුවන්ගොඩ, මැදවච්චිය, හලාවත සහ දික්වැල්ල පොලිස් බලප්‍රදේශවලින් මාරක අනතුරු වාර්තා වී තිබුණි.

අප්‍රේල් 11 සිට 17 වැනිදා උදේ 6 වනතෙක් පොලීසිය සිදුකළ මෙහෙයුම්වලදී බීමත් රියැදුරන් 1536 දෙනකු අත්අඩංගුවට ගෙන තිබූ අතර මාර්ග නීති උල්ලංඝනය කිරීමේ නඩු 42,114ක් ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ වසරේ සිදුවූ අනතුරු ප්‍රමාණය 2018 වසරට සාපේක්ෂව අඩු නමුත් දිගින් දිගටම පොලීසිය මාධ්‍ය හරහා දැනුවත් කළ ආකාරයට සියලු අනතුරු මීට වඩා අවම මට්ටමක පැවතිය යුතුව තිබුණු බවද මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.

සමන්ත ප්‍රදීප් විල්තෙර