2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

කෝටි 1165ක සහල් සතොස හොර පාරෙන් ගෙනත්

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 78

ජාතික විගණන කාර්යාලය විසින් 2014 වසරේ සිට 2019 ජනවාරි මාසය දක්වා සමාජය තුළ වැඩි වශයෙන් සාකච්ඡාවට බඳුන් වූ ජාතික ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබාදෙන රාජ්‍ය ආයතන පිළිබඳ විශේෂ විගණන වාර්තා 34ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇත.

ඒවා අතරින් ලංකා සතොස ආයතනය සහල් ආනයනය කිරීමේදී සහ දේශීය වශයෙන් මිලදී ගැනීමේදී සිදුකර ඇති අක්‍රමිකතා ප්‍රමුඛස්ථානය ගනී. ස.තොස. ආයතනය 2014 සහ 2015 වසරවල රුපියල් 15,996,534,772ක් වැයකර සහල් මෙට්‍රික් ටොන් 257,559ක් ඉන්දියාවෙන් සහ බංග්ලාදේශයෙන් ආනයනය කර තිබේ. එයට අමතර වශයෙන් දේශීය වෙළෙඳපොළෙන් සැපයුම්කරුවන් 14 දෙනකුගෙන් 2014 අප්‍රේල් 22 දින සිට 2014 දෙසැම්බර් 12 දින දක්වා සහල් මෙට්‍රික් ටොන් 18,134ක්ද මිලට ගෙන ඇත. එහි වටිනාකම රුපියල් 1,199,495,609කි.

මෙම සහල් වර්ගය කුමක්ද යන්න නිශ්චිතව දක්වා නොතිබුණු අතර සැපයුම්කරුවන් තෝරාගැනීමේදී රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර නැති අතර ගිවිසුම් අත්සන්කර නොමැති බව අනාවරණය වූයේ යැයි විගණකාධිපති කියයි. ඒ අනුව මෙම කාලය තුළ සහල් ආනයනය කළ අවස්ථා 21කදීම මෙට්‍රික් ටොන් 01ක් විවිධ මිල ගණන් යටතේ මිලදී ගැනීමට කටයුතු කර තිබේ.

මෙතරම් සහල් තොගයක් ආරක්ෂිතව ගබඩා කර තබාගැනීමට ගබඩා පහසුකම් නොමැති වූ නිසා සහල් තොග විශාල වශයෙන් සත්ත්ව ආහාරවලට විකිණීමට සිදුව තිබුණි. මෙට්‍රික් ටොන් 50,000ක් ආනයනය කර දීර්ඝ කාලීනව තබාගැනීම නිසා පාඩු ලබා ඇත. මේ හැර පනවා තිබූ බදු අඩුකර නිදහසේ ආනයනය කිරීමට පහසුකම් සැලසීම නිසා පෞද්ගලික අංශයෙන් මෙට්‍රික් ටොන් 120,000ක් ආනයනය කිරීම නිසාද, යල කන්නයේ සහල් දේශීය වෙළෙඳපොළට ලැබීම හේතුවෙන්ද සහල් මිල පහළ වැටීමෙන් ගොවීන්ට අසාධාරණයක් සිදුව තිබේ.

ආනයනය කර තිබූ සහල් පිළිබඳ මුළු ලිපිගොනු 169ක් තිබුණු අතර ඒවායින් 60ක් නියැදි විගණනයට යොමුකර තිබූ අතර එයින් අනාවරණය වූයේ ලිපිගොනු 9ක ප්‍රමිති සහතික නොමැති අතර තවත් දෙකක ඇතුළත් කර තිබූ ප්‍රමිති සහතික එම සහල්වලට අදාළ නොවූ ඒවා බවය. තවද ACP Industries ltd නැමැති ඉන්දියානු සමාගම ආර්ථික සංවර්ධන ඇමැතිවරයාට “සමාගමට අයත් වගාබිම්වල නිෂ්පාදිත සහල්” සපයන බවට ප්‍රකාශ කර තිබුණද, තමා පරීක්ෂා කළ ලිපිගොනු 60න්ම අනාවරණය වූයේ වෙනත් සමාගම්වල සහල් සපයා ඇති බව යැයි විගණකාධිපති කියයි.

තවද, ඔහු පෙන්වා දී ඇති සුවිශේෂ කාරණයක් වන්නේ ආනයනය කළ මෙට්‍රික් ටොන් 90,901ක් වූ මුළු සහල් තොගයෙන් ටොන් 42,992ක්, එනම් 47.3%ක් පමණ වරායෙන් නිදහස් කර ගැනීමට මාස 4 සිට 10 දක්වා කාලයක් ගතවී තිබූ බවයි. විශේෂයෙන්ම බහාලුම් 398ක් සහ 245ක් මුදාගැනීම සඳහා මාස 9ක් සහ 10ක් වැනි දීර්ඝ කාලයක් ගතව තිබේ. මෙම දීර්ඝ ප්‍රමාදය නිසා සහල් තොග නරක්වීමේ අවදානම උපරිම වූ අතර, ඒ ගැන අවධානය යොමු නොකිරීම නිසා විශාල හානියක් සිදුව තිබූ බවද ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන් 2016 නොවැම්බර් 25 දින වනවිට රුපියල් 1,543,815,000ක් වටිනා සහල් මෙට්‍රික් ටොන් 23,751ක් වූ ඉතිරි සහල් තොගය ආනයනය කර මාස 19කට අධික කාලයක් ගතව තිබීම හේතුවෙන් විනාශ වෙමින් පැවැති අතර ඒ පිළිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බව පෙනී ගොස් තිබේ.

මෙහිදී විගණකාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ සහල් නිෂ්පාදනය, ඉල්ලුම හා ආනයනය පිළිබඳ තීරණ ගැනීමේදී වගකීමෙන් කටයුතු කළ යුතු අතර, විශේෂයෙන් සමස්ත තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ආදී ආයතනවල දත්ත සහ තොරතුරු කෙරෙහි අවධානය යොමුකිරීම වැදගත් බවය. එසේම රාජ්‍ය සමාගමක් වන ලංකා සතොසේ කටයුතු පිළිබඳ මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව යන දෙපාර්තමේන්තු විසින් නිසි අධීක්ෂණයක් කළ යුතු බවටද විගණකාධිපති නිර්දේශ කර ඇත.

සහල් අතිරික්තයක් ඇති නොවීම සඳහා ඒ පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී රටේ දේශීය සහල් අවශ්‍යතාව, වී නිෂ්පාදනය සහ සමස්ත තොග මට්ටම් ආදී කරුණු පිළිබඳ නිවැරදි දත්ත ලබාදිය යුතු වේ. අවශ්‍ය තොරතුරු අමාත්‍ය මණ්ඩලය වෙත නිසියාකාරව ලැබී නොමැති බව පෙනී යන බැවින් නිවැරදි තීරණ ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයට සංදේශ මගින් සියලු තොරතුරු ලබාදීමට වගකිව යුතු නිලධාරීන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ද විගණකාධිපති පෙන්වා දෙයි.

එසේම සහල් සැපයීමේදී ස.තො.ස ආයතනය රජයේ අනුමත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර නොමැති බව පෙනී යන බැවින් 2006 ජනවාරි 25 දිනැති ජා.ප්‍ර.නි. චක්‍රලේඛ අංක 8 දරන රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ නියමයන් අනුගමනය කළ යුතු බවට විගණකාධිපති නිර්දේශ කර ඇත. සුදුසුකම් ඇති සැපයුම්කරුවන් වාර්ෂිකව ලියාපදිංචි කර තබාගෙන හදිසි අවස්ථාවලදී ඔවුන්ගෙන් පමණක් මිලදී ගත යුතු යැයි උපදෙස් දී තිබේ.

විගණකාධිපති පෙන්වා දී ඇත්තේ ආයතනයේ කාර්ය මණ්ඩලය පිළිබඳ ඌණතා නිරීක්ෂණය වී ඇති බැවින් අවශ්‍ය කාර්ය මණ්ඩලය පිළිබඳ නැවත සමාලෝචනයක් සිදුකර ඒ අනුව සකස් කරන අනුමත කාර්ය මණ්ඩල පුරප්පාඩු සඳහා සුදුසුකම් ලත් පළපුරුදු අය බඳවාගෙන ඔවුන් ආයතනය තුළ රඳවා තබාගැනීමට කටයුතු කළ යුතු බවය. ආයතනය තුළ විධිමත් පරිගණක තොරතුරු පද්ධතියක් ස්ථාපිත කර එය ලංකා සතොස ආයතනයට අයත් සියලුම අලෙවිසල් හා ගබඩා ජාලගත කළ යුතු අතර සෑම වෙළෙඳසලකම සහ ගබඩාවකම විධිමත් තොග පාලන ක්‍රමයක් පවත්වාගෙන යාමේ වැදගත්කම ද විගණකාධිපති අවධාරණය කර තිබේ.

මෙහිදී සහල් මිලට ගැනීමට විධිමත් ගිවිසුම් අත්සන් කර නොමැති බව පෙනී යන නිසා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය සහ ප්‍රසම්පාදන කාර්ය සංග්‍රහය අනුව රුපියල් 500,000ක වටිනාකම ඉක්මවන සියලු භාණ්ඩ සහ සේවා සැපයුම්වලදී බලධාරීන් විධිමත් ගිවිසුම්වලට එළැඹීමේ අවශ්‍යතාව ද ඔහු පෙන්වා දී තිබේ.

එයට අමතර වශයෙන් ආයතනය ගන්නා වැදගත් තීරණ අධ්‍යක්ෂ මණ්ඩලයට යොමුකර අනුමත කරගත යුතු අතර අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින භාණ්ඩාගාර නිලධාරීන්ගෙන් වඩා හොඳ උපදේශනයන් සිදුවීමේ අවශ්‍යතාව ද අවධාරණය කරයි. ආයතනයේ අභ්‍යන්තර විගණන ඒකකය ශක්තිමත් කර විගණන කටයුතු විධිමත් කළ යුතු බවද විගණකාධිපති වැඩිදුරටත් කියා සිටී.

විගණකාධිපති ස්වකීය නිගමන ලෙස දක්වා ඇත්තේ නිසි කලට වේලාවට අවම පිරිවැයකින් උපරිම ආර්ථික වාසි සලසා ගැනීම උදෙසා නිසි කලට වේලාවට ගුණාත්මකභාවයෙන් යුතු ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුවීම, නියමිත ප්‍රමිතීන්, පිරිවිතර සහ නීති රෙගුලාසිවලට අනුකූලව කටයුතු කිරීම, උනන්දුවක් දක්වන පාර්ශවවලට ප්‍රසම්පාදන ක්‍රියාවලියට සහභාගි වීමට සාධාරණ උපරිම අවස්ථා ලබාදීම, කඩිනමින් භාණ්ඩ හා සේවා සැපයීම මෙන්ම ඇගැයීම් හා තේරීම් කාර්ය පටිපාටියේ විනිවිදභාවය හා නීත්‍යානුකූලභාවය සහතික කිරීම යන අවශ්‍යතා ඉටුවන පරිදි මෙම ක්‍රියා පටිපාටිය සිදුව නොමැති බවය. ඒ අනුව 2014 හා 2015 වර්ෂවලදී රුපියල් 15,691,695,005ක් වටිනා සහල් මෙට්‍රික් ටොන් 250,693ක් ආනයනය කිරීම විධිමත්ව සිදුව නොමැති බව විගණකාධිපති සිය අවසාන නිගමනයේ දක්වා තිබේ.

එසේම මෙහිදී අනාවරණය වී ඇති රුපියල් 15.157,031,018ක් වූ අලාභය සඳහා වගකිව යුතු නිලධාරීන් හඳුනාගෙන ඉදිරියේ දී එවැනි අලාභයක් සිදුනොවන ලෙස කටයුතු කළ යුතු බවද ඔහු කියයි. රුපියල් 11,648,592,399ක් වූ සහල් මෙට්‍රික් ටොන් 182,548ක් ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට කටයුතු නොකිරීම හා නිසි අනුමැතියකින් තොරව රජයේ අරමුදල් පාවිච්චි කිරීම යන වැරදි සිදුකිරීම පිළිබඳ අදාළ නිලධාරීන් වගකීමට බැඳෙන බවද විගණකාධිපති නිගමනය කර ඇත.

සහල් ආනයනය කිරීමෙන් රටේ දේශීය කෘෂිකර්මාන්තයට සිදුවන අයහපත් බලපෑම පිළිබඳ ප්‍රමාණවත් සැලකිල්ලක් නොදක්වා කටයුතු කර ඇති අතර, ප්‍රසම්පාදන තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු නිලධාරීන් විසින් අමාත්‍ය මණ්ඩලයට සංදේශ මගින් නිසි පරිදි ලබාදී නොමැති බවද විගණකාධිපති නිගමනය කරයි.

මෙහිදී විගණකාධිපති දක්වා ඇති සුවිශේෂ කරුණක් වන්නේ මෙම විගණන වාර්තාව තමා සතු බලතල, සම්පත් සහ කාලය යන විෂය සීමා තුළ සකස් කර ඇති හෙයින් ඉන් ඔබ්බට ගොස් විගණකාධිපතිට නිගමනය කළ නොහැකි නීති විරෝධී සහ සාපරාධී කටයුතු සිදුවී ඇතිදැයි යන්න සොයා බලා ඒ පිළිබඳ විශේෂිත වූ ආයතනවල සහාය ලබාගෙන ඉදිරි පියවර ගත යුතු බවට තමා නිගමනය කරන බවය.

►යසවර්ධන රුද්රිගු

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00