2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

කවියොත් කල්ලි ගැහිලා !

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 195

- නඳුන් යසිත දසනායක

නව පරපුරේ තරුණ කවියකු වන නඳුන් යසිත දසනායකගේ සිව්වැනි කාව්‍ය කෘතිය පසුගියදා නිකුත් විය. සුළඟෙහිම සුළඟක්ව නම් එම කෘතිය සන්ථව ප්‍රකාශනයකි. නඳුන් ලියූ විල් නෙතක මල් මතක 2017 රජත පුස්තක සම්මාන උළෙලේ ප්‍රශස්ත කෘතියක් ලෙස සම්මානයට පාත්‍ර විය.

ඔබ කවි පොතක් කරන්නේ තරමක විරාමයක් අරගෙන නේද?

මම කවි පොතක් කරන්නේ වසර දෙකකට පමණ පස්සේ. මම මේ කෘතිය තුළ අපේ සාමාන්‍ය ජීවිතය තුළ අභ්‍යන්තරික අරගලය තුළින් පැන නගින සියුම් හැඟුම් හරහා කාව්‍යානුභූතීන් බහුතරයක් තෝරාගන්න තමයි උත්සාහ කළේ. ඊට අමතරව වෙනස් තේමාත්මක කවිත් මේ කෘතියට අන්තර්ගතයි.

මම හිතන්නේ කවිය කියන්නේ නිරායාසයෙන් පැන නගින නිර්මාණයක් නෙමෙයි කියලා. ඒක බොහොම ආයාසාත්මක අභ්‍යසාත්මක දෙයක්

අද කවි පොත් බහුලව පළවෙනවා. නමුත් සාර්ථක කවි පොත් හරිම හිඟයි.

මම හිතන්නේ කොපමණ කවි පොත් බිහි වුණත් හැම පොතකම සාර්ථකම කවි තියෙන්නේ ඉතා සීමිත ප්‍රමාණයක් තමයි. සාර්ථකම කවි පොතකත් සෑම කවියක්ම සාර්ථකම කවි නෙවෙයිනේ.

ඉතින් මේ කවි පොත් කියන සංකල්පය වෙනුවට කවිය කියන සංකල්පය ඉස්මතු වීම වටිනවා. මොකද පොතකින් වියුක්තවත් කවි කියවන්න පුළුවන්නේ. ඒ හින්දා වාර්ෂිකව බිහිවෙන සෑම කවි පොතකම තියෙන විශිෂ්ට කවි ගැන සංවාදාත්මකව කතා කරන්න පුළුවන් නම් ඒක ඉතා වටිනවා.

අද කවිය ගැන ලොකු උනන්දුවක් තරුණ පෙළ අතර තිබෙන බව පේනවා නේද?

ඔව්. කවි පොත් අලෙවිය නම් ප්‍රාමාණිකව වැඩි වෙලා. ඒ කියන්නේ කවිය පිළිබඳ උනන්දු සහ කවි කියවන පිරිස වැඩි වෙලා කියන එකයි. මේක හොඳ ප්‍රවණතාවයක්. නමුත් හොඳ කවියක් කියවීම කියන්නේ පුහුණු රසිකත්වයකින් කළ යුතු වින්දනයක් කියලයි මම හිතන්නේ. ඉතින් හොඳ විචාරකයාගේ කාර්යයක් තමයි මේ පුහුණු රසිකත්වය වර්ධනය කිරීම.

ලෝකයේ කවිය පිළිබඳ නව ප්‍රවණතා සහ කවියේ සංරචනාත්මකත්වය පිළිබඳ රසිකයා තුළ නව දැනුම් සහ උත්තේජනයන් ඇති කිරීම ඉතා වටිනවා. කවි පොත් අලෙවියට සාපේක්ෂව ඉතා හොඳ කාව්‍ය විචාර කෘති බිහිවීම සිදු වෙනවානම් හොඳයි කියලයි මම හිතන්නේ.

සමහර ප්‍රවීණ කවීන් අද නිහඬව සිටින බව පේනවා නේද?

මම හිතන්නේ ඔබ අදහස් කරන්න ඇත්තේ ඔවුන් කවිය සම්බන්ධයෙන් දක්වන මැදිහත් වීම පිළිබඳව වෙන්න ඇති. මට ඒ සම්බන්ධ අවබෝධයක් නැහැ.

ඒ වගේම සමහර ප්‍රවීණයන් නවක කවීන්ට උපදෙස් ලබාදීම ඔබ දකින්නේ කෙසේද?

ප්‍රවීණයෙක්ගෙන් නවක කවියෙකුට ගුරුහරුකම් ලැබීම වැදගත්. හැබැයි මම හිතන්නෙ නෑ මේ ගුරුහරුකම් ලබා දීම සෘජුවම පමණක් සිදුවිය යුතුයි කියලා. මොකද ප්‍රවීණ කවියෙක්ගෙ කවියකින් පවා අපට ගුරුහරුකම් ලබන්න පුළුවන්. නැත්නම් ඔහුගේ විචාර කෘතියක් හරහාත් ගුරුහරුකම් ලබන්න පුළුවන්.

එලෙස ගුරුහරුකම් ලබාදෙන පිරිස ගැන පැවසුවහොත්?

විශේෂයෙන්ම මහාචාර්ය ලියනගේ අමරකීර්ති, ආරියවංශ රණවීර, පරාක්‍රම කොඩිතුවක්කු ඇතුළු ප්‍රවීණ කවීන් ලෝකයේ විශිෂ්ට කවි සහ කාව්‍ය විචාර සංකල්ප අපට හඳුන්වා දීම ම විශිෂ්ට ගුරැහරකම් ලබා දීමක්. ඒ වගේම ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, ලාල් හෑගොඩ වගේ ප්‍රවීණ කවීන් සහ තිඹිරියාගම බණ්ඩාර, ඇතුළු බොහෝ සාහිත්‍යවේදීන් කවියට එළඹෙන බොහෝ නවක කවීන්ට මැදහත්ව අතහිත දෙනවා. ආචාර්ය සුනිල් සෙනෙවි වගේ විශ්ව විද්‍යාල ආචාර්යවරු විශ්ව විද්‍යාල මට්ටමෙන් කවිය දැනුම්ගත කරලා බෙදා දෙනවා. මම හිතන්නේ නව කවීන් මේ මැදිහත් වීම් පිළිබඳ සවිඥාණික වීම වඩා වැදගත්.

කවියට නිසි විචාරයක් නැති බවට චෝදනා එල්ල වෙනවා. නේද?

ඔබ කියන නිසි විචාරය කියන කාරණය සම්බන්ධයෙන් මමත් බොහෝවිට කල්පනා කරනවා. අපේ බොහෝ කාව්‍ය විචාර තවමත් තියෙන්නේ සුහද රසවින්දන විදිහට. මාර්ටින් වික්‍රමසිංහ පවා කවි විචාරය කළේ ඉතා සුහද රසවින්දන විදිහට තමයි. නමුත් ඔහු නාමිකව ඒ කාව්‍ය විචාර සංකල්පවලට නතු නොවුණට ඒ සුහද විචාර ඉතා ගැඹුරු සාංකල්පික සංවාදාත්මක බවක් ගත්තා. කවියකුට වචනයේ ගැඹුරට යා හැකි ආකාරය දැක්කා. වචනවල බර සහ වචන සංඝට්ටනය තුළින් උපදින රූපකත්වය හරහා කවිය නන් අරුත් වෙත ඇදී යා හැකි බව දැක්කා. මේ කාරණය අද බටහිර කාව්‍ය විචාර තුළ ඉතා ගැඹුරට කතා වෙන කාරණයක්.

කවීන් අතර කල්ලිවාදයක් රජ කරන බව සමහර විචාරයක් පවසනවා.

ඇත්තටම කල්ලිවාදය කියන කාරණය කෙසේ වෙතත් කවිය ගුරැකුල වශයෙන් හෝ වැඩී වර්ධනය වීම වැදගත්. මොකද මේ ක්ෂේත්‍රයක දියුණුවට ප්‍රමාණික ලෙස දැනුම් ගොනු කිරීමේදී යම් ගුරුකුලයක් විදිහට ඒ ඒ කාව්‍ය ක්‍රම වැඩී වර්ධනය වීම වැදගත්. නමුත් කවි රස විඳීමේදී මේ සියලු හොඳ කවි දෙස මුනිවර ඇසකින් බැලීම වැදගත්. මේක කල්ලිවාදයක් නොකරගත් අනන්‍ය කාව්‍ය මාර්ගයක් සෙවීමේ අරමුණකින් පමණක් වුණොත් එය ඉතා වැදගත්. සියලු ගුරුකුල වෙත ඉතා සුහද සිතකින් බැලීම සබුද්ධිකයි.

අද තරුණ පරපුර සම්භාව්‍ය සාහිත්‍ය අධ්‍යයනයට උනන්දුවක් නැති බව පේනවා නේද? ඔබ එය දකින්නේ කෙසේද?

සම්භාව්‍ය සාහිත්‍ය වගේම බටහිර සාහිත්‍ය කියන මේ සියල්ලම හැදෑරීම ඉතා වැදගත්. ඒ සියල්ලෙන්ම පෝෂණය වීම කවියෙකුට අත්‍යවශ්‍ය කාරණයක්. ඒ වගේම සමාජ සවිඥානිකත්වයත් ඉතාම වැදගත්. කවියේ සංරචනය පිළිබඳ දැනුම් එකතු කිරීම හා වෙනත් සාහිත්‍යංග කලා මාධ්‍යයන් පිළිබඳ දක්වන උනන්දුව වගේ මේ සියල්ලම වැදගත්.

 කුසුම්සිරි

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00