2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

නීති රීති තදවෙන අවුරුද්දක්

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 138

2019 බක්මහ අවුරුදු උදාවන්නට පෙර කෝණ මාසය තුළ සිදුවන අවසන් ග්‍රහ යුද්ධය ලෙසින් හැඳින්වෙන සිකුරැ හා නෙප්චූන් අතර ඇතිවන ග්‍රහ යුද්ධය අප්‍රේල් මස 10 වැනි දින පෙරවරු 11.4ට සිදුවිය. කලාව, ලෞකික සැප සම්පත් හා කාන්තාව නියෝජනය කරන සිකුරු ග්‍රහයා හා නෙප්චූන් අතර සිදුවන ග්‍රහ යුද්ධයේ දී සිකුරු ග්‍රහයා පරාජයට පත්වීම කෙරෙහි විශේෂ අවධානය ලක් කළ යුතුවෙයි.

මෙම ග්‍රහ යුද්ධය සිදුවන්නේ කෝණ මාස කාලය තුළ වීමත්, ඉදිරි දින හතරකට සූර්යා, මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වී අලුත් අවුරුද්දක උදාවත් සිදුවන මොහොතකට ආසන්නයේ සිදුවන හෙයින් නව වසරේ උදාවන ලග්නයත් ග්‍රහ බලයත් අප රටේ ලග්නයත් ග්‍රහ බලයත් යන සියලු කරුණු පදනම් කර ගනිමින් විග්‍රහ කළ යුතු වේ. අවුරුදු උදාවන විට කටක ලග්නය උදාව පවතී. ලග්නයේ සඳු, 6 වැන්නේ ශනි -කේතු - ගුරු, 8 වැන්නේ සිකුරැ හා නෙප්චූන් ද, 9 වැන්නේ බුධ, 10 වැන්නේ රවි - යුරේනස් ද, 11 වැන්නේ කුජ ද, 12 වැන්නේ රාහු ද සිටිමින් නව වසර උදාවෙයි.

කුම්භ ලග්න ශ්‍රී ලංකා කේන්ද්‍රයට අනුව සිකුරු ලග්නගතවද, බුධ දෙවැන්නේ ධනස්ථානගතවද, තුන්වැන්නේ රවි ද, 4 වැන්නේ කුජ ද, පස්වැන්නේ රාහු ද, 6 වැන්නේ සඳු ද, 11 වැන්නේ ශනි - කේතු - ගුරු සිටිමින් වසරේ ඉදිරි කාලය කවර ආකාරයෙන් ජනතාවට රටට බලපෑමක් ඇතිවේද යන්න විමසා බැලිය යුතුයි. සිකුරැ හා නෙප්චූන් අතර ඇතිකරන ග්‍රහ යුද්ධය බදාදා දිනයක සිදුවෙයි. මෙයින් පීඩනයට ලක්වන්නේ ග්‍රහලොව සුකොමලී ලෙසින් හැඳින්වෙන සිකුරු ග්‍රහයා වීම විශේෂයි. තරුණ ළඳුන්, කාන්තාවන්, කලාව, සැප සම්පත් නියෝජනය කරන සිකුරු පරාජය වීම සහ නව වසර ආරම්භයේ ලංකා කේන්ද්‍රයේ සිකුරු ලග්නයේ බලවත් වීම සුභ අසුභ ඵල උදා කරන්නට හේතුවකි. රජය මහජන සුබසිද්ධිය උදෙසා විශාල මුදලක් වැය කරනු ඇත. අධ්‍යාපන අංශ විධිමත් කළත් සිසුන් අතර උද්ඝෝෂණ ගැටලු මතුකරයි. සෞඛ්‍ය අංශයේ උන්නතිය උදෙසා විශාල වශයෙන් ධනය වැය කරනු ඇත. රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහා විශාල ලෙස විදේශවලින් ණය ගන්නට සිදුවෙයි.

රාහු 12 වැන්නේ සිටින හෙයින් විදේශ ආධාර ලැබෙනු ඇත. මිනීමැරුම්, මංකොල්ල කෑම් නිතර අසන්නට ලැබේ. රිය අනතුරැවල අඩුවක් නොපෙනේ. මහජන හිතසුව පිණිස නීති රීතිවල දැඩිවීමක් සිදුවේ. මැතිවරණ උණුසුම වැඩි කරවන වසරක් වේ. පක්ෂ දේශපාලන මතගැටුම් උග්‍ර වේ.

තරුණ තරුණියන් අතර අනියම් සම්බන්ධතා මෙන්ම දික්කසාද බහුල කරයි. කලාවට සම්බන්ධ ප්‍රබල අයට අගුණ ඇතිකෙරේ. බාල වයස් දූවරුන් ආරක්ෂා කර ගන්නට අවශ්‍ය කාලයකි. නොසිතූ ලෙස ඇතිකරන කාලගුණ විපර්යාස නිසා ගංවතුර, නායයාම්, විපත්, මරණ සිදුවෙයි. ලොව බොහෝ රටවලටද පීඩන වැඩි කරවන කාලයකි. ග්‍රහ යුද්ධයක් සිදුවන විට එහි ප්‍රතිඵලය හොඳ මෙන්ම නරක ද විය හැකිය. සිකුරු - නෙප්චූන් ග්‍රහ යුද්ධයෙන් ලබාදෙන සංඥාව සියලු දෙනා අවබෝධ කරගත යුතු වෙයි. බලවත් ග්‍රහයන් පීඩනයට ලක්වීම, නපුරු නරක ග්‍රහයන් ඉස්මතු වීම, නරක - පාපී ග්‍රහයන්ගේ දෘෂ්ටියට ලක්වීම කවරක් නිසා වන්නේදැයි මැදිහත් සිතින් විමසා බලන්නට පාඨක ඔබගේ අවධානයට ලක් කිරීම සුදුසු යැයි සිතමි.

රාජා භවතු ධම්මිකෝ* මේ කියන්නේ රජු ධාර්මික විය යුතු බවයි. එවිටයි කලට වැඩි වසින්නේ. ශස්‍ය සම්පත් වැඩි වන්නේ. රටේ සම්පත් ඇතිකරන්න රට පාලනය කරන පාලක පාලිකාවන් කළේ මොනවාද? කරන්නේ මොනවාද? සිතා බලමු. ආගම දහම ඉදිරියට දමමින් පන්සලක් ගානේ බෝධිපූජා, ආගමික වැඩසටහන් පවත්වමින් මාධ්‍ය සංදර්ශන පවත්වමින් ක්‍රෝධය, වෛරය පිරුණු ප්‍රකාශ මුවින් පිටවන විට ශාසනය, භික්ෂුව දේශපාලන අතකොලු බවට පත්කර ගන්නා විට එහි අල්පයක් හෝ පිනක් අත්වේදැයි සිතා බලනු වටී. මේ නිසා පින් කැමැති දෙවියෝ කලකිරී තම තමන්ගේ දිව්‍ය විමන්වලට වී විමුක්තිය උදෙසා මතු බුදු කෙනකුන් ලොව පහළ වනතුරු බවුන් වඩනු ඇත. එසේ වනවිට  යක්-භූ-පිසස් වැනි අදමිටු මිත්‍යාදෘෂ්ටික භූත කොට්ඨාස ලොවට කරන විනාශය සුළුපටු නොවනු ඇත.

අකලට වැසි ඇති නොවීම, ගොවිතැන් පාළුවීම, නියංසාය, කෙත්වතු භවභෝග විනාශය, රටක සශ්‍රීකත්වය නැතිවීම, සා පිපාසා ඇතිවීම, මාර්ග අනතුරැ බහුල වීම, ආර්ථික අර්බුද වැඩිවීම, මිනිස් සිත්වල කරුණාව, මෛත්‍රිය නැතිවීම, මව්පියන් නොසලකා හැරීම, අද මේ සියල්ල පෙනෙන්නට තිබේ. මහා පරිමාණ මත්ද්‍රව්‍ය රට අරක් ගන්නේ නීතිය රකින නිලධාරීන් අසරණ කරන්නේ බලවතුන්ය. උදාවන බක්මහ වසන්ත උදාව ආගම දහමට මුල්තැන දී හෙළ සිරිත් විරිත් අගයමින් කටයුතු කර ගන්නට අවශ්‍ය වේ.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී
සමන් ගුණසේන
අලුත්අම්බලම
ඉහළ කොස්ගම