2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

කොළඹ කුණුවලින් විදුලිය නිපදවන කෙරවළපිටිය බලාගාරය

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 55

ඉවතලන කුණු කසළවලින් විදුලිය නිපදවීමේ බලාගාරයක් කෙරවළපිටියේ ඉදිවෙමින් පවතී. කොළඹ මහ නගර සභාවේ දිනකට එකතු වන කුණු කසළ යොදාගනිමින් විදුලිය නිපදවීම මෙහි ප්‍රධාන අරමුණ වේ. එමගින් කසළ ගැටලුවට සාර්ථක විසඳුමක් ලැබෙන බව සඳහන් වෙයි.

මෙවැනි ව්‍යාපෘතියක් ලංකාවේ ඉදිකෙරෙන ප්‍රථම වතාව මෙයයි. මෙය කොළඹ නගර සභාව දියත් කරනවා. කොළඹ නගරයට දිනකට විශාල ප්‍රමාණයක් එනවා. යනවා. මේ නිසා කොළඹ නගර සභා සීමාවේ එකතුවන කුණු ප්‍රමාණය ඉතා විශාලයි. මේ කුණු අවම කිරීම සඳහා විවිධ වැඩසටහන් මේ වනවිටත් කොළඹ නගර සභාව ක්‍රියාත්මක කරනවා. ඒ බොහොමයක් ඉතා සාර්ථක ව්‍යාපෘති වෙනවා. ඒ අතරේ තවත් ඉතා සාර්ථක ව්‍යාපෘතියක් ලෙස කුණු කසළවලින් විදුලිය නිෂ්පාදනය කිරීමේ මෙම ක්‍රියාවලිය හඳුන්වන්නට පුළුවන්. යැයි කොළඹ මහ නගර සභාවේ ඝන කසළ කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු, වයි. සිල්වෙස්ටර් මහත්මිය දේශයට පැවසීය.

කොළඹ නගර සභා ජනගහනය පන් ලක්ෂ පනස් දහසක් පමණ වෙයි. එමෙන්ම දිනකට හය ලක්ෂයකට අධික ප්‍රමාණයක් විවිධ රාජකාරි කටයුතු උදෙසා කොළඹ නගරයට පිවිසෙති. වෙළෙඳ මධ්‍යස්ථාන බොහොමයක් පිහිටා ඇති කොළඹ නගරයේ වෙළෙඳ සංකීර්ණවලින් තුළින් දිනකට කුණු ටොන් 18ක පමණ කුණු කසළ ඉවත් කෙරෙයි. කොළඹ නගරයේ පිහිටා ඇති මැනිං පොදු වෙළෙඳ සංකීර්ණයෙන් කුණු ටොන් 35-38ක් පමණ දිනපතා කුණු කසළ එකතු වෙයි. මේ සියල්ලෙහිම එකතුවෙන් දිනකට කුණු ටොන් විශාල ප්‍රමාණයක් කොළඹ නගරයෙන් එකතු වෙයි.

කොළඹ නගරයේ නිවාස, ආයතන මෙන්ම දිනකට විවිධ රාජකාරි කටයුතු කර ගැනීම සඳහා බොහෝ දෙනකු කොළඹට පැමිණෙනවා. රැකියාවල් සඳහා කොළඹට එන බොහෝ දෙනා ගෙන එන කෑම පැකැට්ටුවේ ඉතිරිවන කෑම පවා එකතු වෙන්නේ කොළඹ නගරයේමයි. මේ නිසා මේ ගැටලුවට මුහුණ දෙන්නේ කොළඹ පදිංචිකරුවන් විතරක් නෙමේ. මේක කොළඹට පමණක් සීමාවුණු ප්‍රශ්නයක් නෙමේ. මේ නිසා කොළඹ නගරය තුළින් මෙම කුණු කසළ එකතු වෙන්නට නොදී පාවිච්චි කිරීමේ අවම ව්‍යාපෘතියක්ද, නැවත යම් යම් දෑ නිෂ්පාදනය කිරීමට හැකිවන දෑ එකතු කිරීම ආදී ව්‍යාපෘති ද අපි දියත් කළා. ඊට අමතරව කුණු කසළ මගින් විදුලිය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් කොළඹ නගර සභාව දියත් කිරීම තුළින් කසළ කළමනාකරණයට මුල්තැනක් ලබාදීමට හැකියාව ලැබෙනවා. යැයි වී. සිල්වෙස්ටර් මහත්මිය වැඩිදුරටත් පැවසීය.

2017 වසරේ අවුරුද්ද සැමරීමත් සමඟ මීතොටමුල්ල ප්‍රදේශවාසීහු කුණු කන්දට යට වූහ. මව්පියන්ට දරුවෝ අහිමි වූහ. දරැවන්ට මව්පියන් අහිමි විය. පවුල් සීසීකඩ විසිරැණි. කිරිබත් ආහාරයට ගෙන අවුරුදු සැමරූ මීතොටමුල්ල ජනතාව 2017 වසරේදී එක පොදියට අවසන් හුස්ම හෙලූහ. ජීවිත ගණනාවක් හිත්පිත් නැති කුණු කන්දට බිලි විය. මෙවැනි අමිහිරි මතකයන් අතරේ කුණු කසළ කළමනාකරණය වඩා විධිමත් කරමින් එම කුණු කසළවලින් විදුලිය නිෂ්පාදනය කිරීමේ නව බලාගාරයක් මේ වනවිට කෙරවළපිටියේ දී ඉදිවෙමින් පවතී.

කොළඹ කුණු ගොඩගැසීමට කොළඹ නගර සීමාව තුළ විශාල ඉඩ ප්‍රමාණයක් නොතිබුණි. මේ නිසා කොළඹ නගර සභාව නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් කුණුවලින් විදුලිය නිපදවීමේ ක්‍රියාවලිය සඳහා උත්සාහ කරන ලදී. මෙය කුණු කසළ ගැටලුව මෙන්ම විදුලිය ගැටලුවට ද සාර්ථක විසඳුමක් ලබාගැනීම අරමුණු කරගෙන ඇත.

මීතොටමුල්ල කුණු කන්දෙන් මිනිස් ජීවිත ගණනාවක් බිලිගැනීමට ප්‍රථමව මෙවැනි ව්‍යාපෘතියක් දියත් කිරීමට කොළඹ නගර සභාව උත්සාහ ගෙන තිබිණි. ඒ සඳහා 2009 වසරේදී ටෙන්ඩර් ද කැඳවනු ලැබීය.

මේ වනවිට රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ වෙස්ටන් පවර් ආයතනය මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ආයෝජනය සිදුකරයි. කසළවලින් විදුලිය නිපදවීම සඳහා පෞද්ගලික අංශයේ සහාය ද ඇතිව ගොඩනැංවෙන නව බලාගාරය කෙරවළපිටියේ අක්කර දහයක භූමි ප්‍රදේශයක මේ වනවිට ඉදිවෙමින් පවතී.

මෙම නව ව්‍යාපෘතිය මගින් කොළඹ නගරය වඩාත් සුන්දර නගරයක් වීම මෙන්ම විදුලිය ලබාගැනීමේ හැකියාව ද පවතී. ලෝකයේ බොහෝ රටවල් භාවිත කරන, ලෝකය පිළිගත් තාක්ෂණය යොදාගනිමින් මෙම බලාගාරය ඉදිවෙමින් පවතී
කොළඹ නගර සභාව මගින් දිනකට එකතු වන කුණු කසළ මෙම බලාගාරයට නොමිලේ ලබාදීම ඉදිරියේදී සිදුවනු ඇත. අද වනවිට එම විදුලි බලාගාරයේ වැඩ කටයුතු 50%කින් අවසන් වෙමින් පවතී. බොහෝ විට මේ වසරේ ඔක්තෝබර් මාසයේ දී එම ව්‍යාපෘතිය ඇරැඹීමට බලාපොරොත්තු වන අතර කොළඹ නගර සභාව වසර 20ක කොන්ත්‍රාත්තුවකට අත්සන් කර තිබේ.

විශේෂ ස්තූතිය
කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස්
වී.කේ.ඒ. අනුර මහතාට

 දිශානි ජයමාලි කරුණාරත්න

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00