2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

කරුවලගස්වැව දේශීය වී ගොවියෝ හද්ද අමාරුවේ

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 85

මහ කන්නය වී වගා කර නෙලා ගන්නා වී අස්වනු දෙවියන්ට පුද පූජා කිරීම සඳහා වෙන් කිරීමෙන් පසුව අ‍ෙලවි කර ගන්නා ගොවියෝ සිංහල අවුරුදු සැමරීමට කීයක් හෝ ඉතිරි කර ගැනීමට උත්සාහ කරති. මාස ගණනක් සිහින මවමින් නොයෙක් දුෂ්කරතා මැද සිදුකරන වගාබිම් අස්වැද්දීමෙන් පසු අ‍ෙලවි කර ගැනීමට නොහැකි වන අවස්ථාවලදී ගොවියාගේ බලාපොරොත්තු සිහිනයක් බවට පත්වේ.

අවුරුදු සැමරීම පසෙක තබා ගොවිතැන් කිරීමට වූ ණය පියවා ගැනීමට වෙහෙසවීමට ගොවියාට සිදුවේ. එවන් අවස්ථාවලදී අසරණ වන ගොවියාට සිදුකිරීමට ඇත්තේ අඩු මුදලට හෝ තම අස්වනු අලවි කිරීමයි. රටේ ප්‍රධාන ආහාරය බත් වුවද වී ගොවියා රටේ ප්‍රධාන කර්මාන්තකරුවා බවට පිළිගන්නට කිසිවකු නොසිටීම වී ගොවියාට සිදුවූ අසාධාරණයක් යැයි කිව හැකිය. ගොවියා රජා යැයි කියමනක් තිබුණ ද වර්තමානයේ ගොවියා හිඟන්නෙකි. අතීතයේදී ගොවියාට තිබූ ස්ථානය ඉහළ මට්ටමක පැවතිය ද වර්තමානයේදී එය කොතරම් සෘණාත්මක වී තිබේද යන්න පැහැදිලිය.

රජයේ රුකියා ඉල්ලා උද්ඝෝෂණ උපවාස නොකර ගිනියම් අව්වේ මහ වරැසාවේ මහපොළව සමඟ ගැටෙන ගොවියාගේ ඉරණම කුමක්වේද යන්න සිතන්නට හෝ දෙයක් ඉතිරි වී තිබේද යන්න ප්‍රශ්නාර්ථයකි. එයට හොඳම නිදසුන කරුවලගස්වැව දේශීය ගොවියා අද වනවිට මුහුණ දෙන ගැටලු සහගත තත්ත්වයයි. දේශීය වී නිෂ්පාදනය මෙරටින් තුරන් වී යන කාල වකවානුවක කර්මාන්තය රුක ගැනීමට වෙහෙස වෙමින් වගා කළ දේශීය වීවලට සිදුවන්නේ කුමක්දැයි සිතා ගන්නට නොහැකිව ගොවීහු මැසිවිලි නගමින් සිටිති.

දේශීය වී ගොවියා වළපල්ලට යවමින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරැමය වැනසී යමින් තිබෙන යුගය අතීතයේ මතක සටහන් යළි ඉස්මතු කරමින් දේශීය වී නිෂ්පදනය ඉහළ නැංවීමේ දැවැන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක වීය. ඒ අතරින් වැඩිපුර කතා බහට ලක්වූයේ ශ්‍රී ලංකාවෙන් වැනසී යන දේශීය වී නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳවයි. ඉහළ දේශපාලන පුටුවල ඉඳ කැරකෙමින් තින්දු තීරණ ගන්නා දේශපාලනඥයෝ දේශීය වී නිෂ්පාදනය ඉහළ නංවා රටේ නිරෝගිමත් ජනතාවක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය යහපත් බව පසක් කරමින් පාර්ලිමේන්තුවේ ද දේශීය වී නිෂ්පාදනය ඉහළ නැංවීම පිළිබඳ කතා බහට ලක් කරන්නට වූහ.

දේශීය වී නිෂ්පාදනය තුළින් නිරෝගීමත් පරපුරක් බිහි කිරීම මෙන්ම ගොවියාගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීමට හැකි බව කියමින් ගොවියා දිරි ගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පසුබට නොවීය.
පෙර රජ දරැවන්ගේ පාලන සමයේදී දේශීය වී සඳහා ඉල්ලුමක් පැවතිය ද 1977 වසරේදී විවෘත ආර්ථිකයත් සමඟ මෙරටට හඳුන්වා දුන් සම්බා, දෙමුහුන් වී වැනි වී වගාව වැඩි වර්ධනයක් වීමත් සමඟ දේශීයත්වය වැනසී යන්නට මුල පිරෙන්නට විය.
දැඩි ලෙස පොහොර සහා කෘමිනාශක යොදමින් වැඩි අස්වැන්නක් ලබා ගන්නා වී වර්ග මෙරට වර්ධනය වීමත් සමඟ දේශීය වී නිෂ්පාදනය නැත්තටම නැති වන්නට පටන් ගැනුණි. ඒ බව වටහා ගත් පසුගිය රජය බතලගොඩ කෘෂි පර්යේෂණ ආයතනය මැදිහත් කර දේශීය වී නිෂ්පාදනය ඉහළ නැංවීමට දැවැන්ත කාර්යභාරයක් සිදු කළේය. මෙරට වගා කරන දෙමුහනුන් සම්බා වැනි වී කිලෝ එකක මිල මෙන් තෙගුණයක ඉහළ මිලක් දේශීය වී වගා කිරීමෙන් ලැබිය හැකි බව ගොවින්ගේ මනසට ඇතුළු කර දේශීය වී නිෂ්පාදනය ඉහළ නැංවීමට රජය පියවර ගැනීමත් සමඟ පුරන් කුඹුරු ද අස්වද්දමින් දේශීය වී වගාව කිරීමට ගොවින් පෙළඹිණි.

එහි සාර්ථකත්වය 2015 වසරේ යහපාලන රජයේ දින 100 කාලය තුළ ගොවියාට ලැබෙන්නට විය. යම් තරමකට රාජ්‍ය මැදිහත්වීමක් තුළින් දේශීය වී කිලෝ එකක් රුපියල් 95/ 100 අතර මිලකට අලවි කර ගැනීමට ගොවියාට හැකිවිය. ඒ සාර්ථකත්වය දුටු බොහෝ ගොවීහු සම්බා දෙමුහුන් වැනි වී වගාව අතහැර ඒ වෙනුවට දේශීය වී වගාව සිදු කිරීමට උනන්දු වූහ. එහෙත් වර්තමානය වන විට සාර්ථකත්වය කොතරම්ද යනු දේශීය වී කිලෝ ලක්ෂ ගණනක් ගෙවල්වල ගොඩ ගැසී තිබේ. දේශීයත්වයේ වටිනාකම හඳුනා නොගත් රාජ්‍ය පාලනාධිකාරියට දේශීය වී ගොවියා මුහුණදී සිටින අර්බුදයට පිළියම් සෙවීමට කතාබහක් හෝ කිරීමට ඉදිරිපත් නොවීම රටට බත සපයන ගොවියා අතැහැර දැමීමකි.

මේ පිළිබඳ අදහස් දැක්වූ ගොවි මහතකු වූ නිමල් අධිකාරී:

අපි හීනෙකින්වත් හිතුවේ නැහැ මෙහෙම වැඩක් වෙයි කියලා. අපේ ගෙවල්වල තිබුණු බඩු මුට්ටු එළියට දාලා ගෙවල් ඇතුළේ වී පුරවලා. මේ ප්‍රදේශයේ දේශීය වී කිලෝ  ලක්ෂ දහයක් විතර අලෙවි කර ගන්න බැරුව ගෙවල්වල පුරවලා තිබෙනවා.
දෙමුහුන් හරි සම්බා හරි වගා කළා නම් මෙලහකටත් විකුණලා ඉවරයි. ඒ වී අක්කරයකින් කිලෝ තුන්දාහක් ගන්නකොට දේශීය වී කිලෝ දාහයි ගන්න පුළුවන්. අපි අපේකම හිතලා අපේ දේ වගා කළාට රටේ වග කිවයුත්තන්නට ඒවා තේරෙන්නේ නැති නම් අපි මේ කරන දේ වැඩක් නැහැ. මහ ලොකුවට රජයෙන් කිව්වා දේශීය වී වගා කරන්න කියලා. අද අපි අසරණ වෙලා ඉන්නකොට ඒ ගැන කතා කරන්න කවුරුවත් නැහැ.

මගේ මෝලක් තිබෙනවා අඩුවට හරි කොටලා විකුණන්න ත්‍රි ෆේස් විදුලිය ගන්න සල්ලි බැඳලා මාසයක් වුණා. තවමත් විදුලිය දුන්නෙ නැහැ. පුත්තලම විදුලිබල මණ්ඩලයෙන් අහපුවාම කියනවා ත්‍රි ෆේස් මීටර් නැහැ කියලා. කබලෙන් ළිපට වැටුණා වගේ තමයි වෙලා තිබෙන්නේ. සති දෙකෙන් විදුලිය දෙනවා කියලා සල්ලි ගත්තා විදුලිය නැහැ. ඒ නිසා මෝල කරගන්නවත් විදිහක් නැහැ. දැන් අපි පාඩුවට හරි වී අඩු මිලට දෙන්න බලන්නෙ. අපි ගොයම් කපලා වී වේලාගන්නෙ ගිනි අව්වේ මහ පාරෙ දාලා. එහෙම කරලත් වැඩක් නැති එක තමයි දුක.

අපේ රටේ නායකයා ගොවියෙක් අපි ජනාධිපතිතුමාට කියනවා වස විස නැති ආහාර වේලක් රටට සපයන්න දේශීය ගොවියා රකින්න කියලා.

පවතින ගැටලුව පිළිබඳ පුත්තලම දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර එස් පී පාලිත සේනාධීර මහතාගෙන් විමසීමක් කළෙමු.

ඔය ගැටලුව මීට පෙරත් තිබුණා. ඒ වෙලේ වේ අපි මැදිහත් වෙලා පුද්ගලික අංශයට කතා කරලා වී විකුණලා දුන්නා. කරුවලගස්වැව සහා අවට ප්‍රදේශවල දේශීය වී නිෂ්පාදනය ඉහළම තත්ත්වයෙන් සිදු වෙනවා. ඒ සඳහා වෙළඳපොළක් නැහැ කියන එක මමත් පිළිගන්නවා. එහෙම කියලා නිකම් ඉන්නේ නැහැ. මම දිසාපතිතුමත් එක්කත් කතා කළා. පෞද්ගලික අංශයට මම කියලා තිබෙනවා ගොවින්ගේ වී මිලදී අරගෙන උදවු කරන්න කියලා තවම මට ප්‍රතිචාරයක් නැහැ. අවුරුදු එනවා. ගොවියගේ වී ගෙදර තියාගෙන ඉඳලා බැහැ කියලා ඒ අය කියන කතාව ඇත්ත අවුරුදු කන්න පුළුවන් වෙන්නේ වී ටික විකුණගත්තොත් තමයි. ඔබ අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න වෙන්නෙ ඒවා ඇත්ත කියලා තමයි. මම කියන්නෙ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ට මැදිහත් වෙලා අපට උදවු කරන්න කියලා ඔබ ලියන ලිපිය ඒ සඳහා උපකාරයක් වෙයි කියලා හිතනවා.

 කතාව හා ‍සේයාරූ I රෝවන් පෙරේරා පුත්තලම

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00