2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

ඒ කාලෙ පෙට්ටගම් මේ කාලෙ පැන්ට්‍රි කබඩ්!

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:31 377

මානව ශිෂ්ඨාචාරයේ මග සළකුණු කියන සිහිවටන සංරක්ෂණය කර ගැනීම මානවයාගේ වගකීමකි. සියවස් ගණනක් මානවයා වන්දනාමාන කරන දේවස්ථානයක් පවා දෙවියන් සංරක්ෂණය කොට දෙන්නේ නැත. ඊයේ පෙරේදා ගිනි ජාලාවක් බවට පත්වූ ඓතිහාසික නොත්‍රිදාම දේවස්ථානය අපට එය කියා දෙයි. සංස්කෘතියේ මංසළකුණුවල අගය නොදන්නා ශිෂ්ඨාචාරයේ මංකොල්ලකරුවන් අතින් ඉරාකයේ කෞතුකාගාර විනාශයට පත්විය. මානව ශිෂ්ඨාචාරයේ සිහිවටනවල අගය නොදන්නා ම්ලේච්ඡයන් අතින් බාමියන් බුදු පිළිම පවා විනාශයට පත්විය. ඒවා සංරක්ෂණය කිරීමේදී ඒවායේ අනුහස් කෙරේ විශ්වාසය නොතබා මානවයා තම විචාර බුද්ධිය කෙරේ විශ්වාසය තැබිය යුතුය. විනාශ කරන්නට හෝ විකුණන්නට පෙර පැරැණි සෑම දෙයකම නිවැරදි තක්සේරුවක් මිනිසා තුළ තිබිය යුතුය. මන්දයත් අනාගතය ගොඩ නැගීමේදී අතීතයේ අලගිය මුලගිය තැන් ගැන අවබෝධයක් තිබිය යුතුය.

ගෙවල්වල, කාර්යාලවල අනවශ්‍ය දෑ ගොඩ ගසාගෙන නොසිට එස් 05 ක්‍රමය උපයෝගී කරගෙන ඵලදායීතාව නංවාගැනීම ඉතා වැදගත්ය. එහෙත් අනවශ්‍ය දෑ ඉවත් කිරීමේදී ඒවා ගැන හරි තක්සේරුවක් තිබිය යුතුය. යමක අටෝපයට හෝ පිට පෙනුමට හෝ දළ පෙනුමට රැවටිය යුතු නැත. හරි තක්සේරුවකින් අනවශ්‍ය දෑ ඉවත් නොකළහොත් විනාශ වන්නේ සංරක්ෂණය කළ යුතු දේය.

සේරිවාණිජ ජාතකයේ එන මිත්තණිය විචාර බුද්ධිය පාවිච්චි නොකළේ නම් මිනිපිරිය කපටි සේරිවාණිජ වෙළෙන්දාට අහු වෙනවාය. එම ජාතක කතාව අනුසාරයෙන් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර නිර්මාණය කළ කදා වළලු නාට්‍යයෙන් ඒ අත්දැකීම අපට හොඳින් විඳගන්නට  හැකිවේ. එහි සටකපට සේරිවාණිජ එන්නේ සුන්දර ගීතයක් කියාගෙනයි.

“අතට වළලුද පයට ගිගිරිද
ලා ගනී කිඳු රඟන සොබනා
තවනේ සිඳමුවො කඩා මල් පෙති
වරළ සරසා ගනිති නිතිනා”

අවංක කච්ඡපුට මාර ගෙම්බර්ය. ඔහු සතයක් අඩු නොකරන බව කියයි. “වළලු වළලු” යැයි හඬ නගන්නේ “උඹලට ඕනෑ නම් ගනියව්” කියන්නා සේය. එහි කපටියා සුන්දරය. අවංක වෙළෙන්දා රළුය. දැලි බැඳුණු රන් තලිය තඹයක් නොවටිනා බව සේරිවාණිජ කියයි. කච්ඡපුට තමා ළඟ තිබුණු සියලු දෑ රන්තලිය වෙනුවෙන් දෙයි. එහි හරි වටිනාකම නිවැරදිව ගෙවන බව පොරොන්දු වෙයි.

වටිනා වස්තුවක අගය හෝ වටිනා පුද්ගලයකුගේ අගය මැනිය යුත්තේ බාහිර ස්වරූපයෙන් නොවන බව “කදා වළලු” නාට්‍ය අපට කියා දෙයි.

පැරැණි දෑ බැහැර කොට අලුත් දෑ වැළඳ ගැනීමේදී අප නිසි අවබෝධයකින් ක්‍රියා කොට ඇත්තේ ද යන්න හොඳින් විමසා බැලිය යුත්තකි. බැහැර කොට ඇත්තේ අනවශ්‍ය දේද, වැළඳගෙන ඇත්තේ අත්‍යාවශ්‍ය දේද යන්න අතීතය ආශ්‍රයෙන් මතකයට නගා ගනිද්දී ඇතැම් ගිය දෑ ඇතුන් ලවා අද්දවන්නට සිතේ. (කච්ඡපුටෝ රන්තලිය දියෝ) කියා කෑ ගසන්නට සිතේ.

පසුගිය දශක කිහිපයේ අපි උන්හිටි තැන් වෙනස් කරගෙන ඇත්තෙමු. උපභෝග පරිභෝග වස්තු පරිහරණය වෙනස් කරගෙන ඇත්තෙමු. නවීකරණයේදී අප නුවණින් ක්‍රියා කොට ඇතත් ඉඳහිට මෝඩකම් ද කර නැතුවා නොවේ.
මේ දවස්වල කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සමහර උදවි විදුලි පංකාවලින් උණුහුම් පවන් සලාගෙන මුදුන් වූ ඉරට පළු යන්නට දෙස් තබති. හැට හැත්තෑ ගණන්වල ගෙවල් ඉදිරියේ දිස් වූ විවෘත ඉස්තෝප්පු දැන් පෙනෙන්නට නැත. එම ඉස්තෝප්පුවල කොට තාප්ප තුන් පැත්තකින් තිබුණි. එම  ඉස්තෝප්පුවල ඉඳගෙන අමුත්තන් සමඟ සාමීචියේ යෙදීම එකල සුලභ දෙයකි. ගෙදර උදවිය පවා ඉස්තෝප්පුවේ කොට තාප්පයේ ඉඳගෙන එකිනෙකා සමඟ දොඩති. ඇතැම් අය උදේට දත් මැද්දේ ද ඒවායේ ඉඳගෙනයි. පාරේ ගිය හිතවතකු සමඟ ඇතැම්විට කොට තාප්පයේ ඉඳගෙන ඉන්නා අයෙක් හඬ නගා කතා කළේය.

“උදේම කොහෙද යන්නේ?”

විවෘත ඉස්තොප්පුවල ඉඳගෙන එවැනි දෑ ඇසුවේ යන දිහා දැනගන්නට නොවේ. අසල්වාසීන් සමඟ සුහදතාව ගොඩනගා ගන්නටය. හතර වටින් සුළං පහර වදින ඉස්තෝප්පු කොට තාප්පයේ ඉඳගෙන ඉන්නා අයකුගේ ගතට දාඩිය නැගුණේ කලාතුරකිනි.

දැන් දිවා කාලයේ පවා දොර ජනෙල් වසාගෙන ඉන්න කොළඹ හා තදාසන්න ප්‍රදේශවල බහුතරය රාත්‍රියට මදුරුවන්ට බයේ ඒවා වසාගෙන දුක් විඳිති.

කොළඹ අලුතෙන් තැනුණු ගෙවල් අනුකරණය කොට තැනුණු ගම්වල අලුත් ගෙවල් ද හතරවටින් ආවරණය කෙරුණු ඒවාය. ඒ අයට වී ටික, පොල් ටික, පුවක් ටික වියලා ගත් කරාබු තබාගන්නට ගබඩාවක අවශ්‍යතාව තිබුණ ද අලුත් ගෙවල්වල ඒවා සාදා නොගත්තේ ගෙවල් හදාගන්නට ඕනෑ වූයේ අලුත් පන්නයට නිසාය. ටික කලක් යනවිට සාලය මැද්දේ වී ටික, පොල් ටික සහ වත්තෙන් නෙලාගත් ඇතැම් දේ ගොඩගසාගෙන සිටිනු පෙනුණි. වත්තෙන් ඉරා ගත් ගසක ලෑලි ඇතැම්විට ඉහට උඩින් බාල්කවල ඔවුහු අතුරා ගත්හ.

පරම්පරාවෙන් ලැබුණු වීදුරු පිඟන් බඩු ආදිය පැරුණි ගෙවල්වල පෙට්ටි ගමේ තිබුණේය. ගෙදර අමුත්තන්ට සංග්‍රහ කිරීමක්, උත්සවයක් පවත්වන විට ඒවා ඉවත ගෙන පරිහරණය කෙරිණි. පැරැණි පෙට්ටගම්වලටත්, ඒවායේ තිබූ පැරැණි පිඟන් බඩුවලටත් දැන් මහත් වූ කෞතුක වටිනාකමක් එක් වී තිබේ. කෙසේ වුවද පෙට්ටගම සාලයේ ප්‍රදර්ශනය වූවක් නොවේ.

හැත්තෑ, අසූ ගණන්වල දීග ගිය ළඳුන් පළමුව මිලට ගත්තේ කැබිනට්ටුවකි. අලුතෙන් මිලට ගත් පිඟන් වීදුරු භාණ්ඩ කැබිනට්ටුවේම අරන් තියා ගැනුණි. කැබිනට්ටුව තිබුණේ සාලයේය. අමුත්තකු පැමිණි විට ඔහුට සංග්‍රහ කරන්නට අවශ්‍ය වීදුරු භාණ්ඩ කැබිනට්ටුව ඉදිරියේ දණ ගසාගෙන ඉවත ගැනුණේ ඔහු ඉදිරියේමය. එම වීදුරු පිඟන් භාණ්ඩ අලුත් ගෙවල්වල නවීන කුස්සියේ පැන්ට්‍රි කබඩ්වලට යාම නම් ඉස්සරට වඩා හොඳය.

බොහෝ ගෙවල්වල නවීන පැන්ට්‍රි කබඩ් සහිත මුළුතැන් ගෙය කෑම පිසින්නනට භාවිතා නොවන්නකි. ඒ සඳහා තරමක් පැරණි ආකාරයට භාවිතා කළ හැකි රළු කුස්සියක් ඇත. එයට දැන් දුම් කුස්සිය කියාද කියති. ඉස්සර දුම් කුස්සිය කියා එක්ක නොතිබුණේ දුමෙන් කුස්සියේ වැඩගත් නිසාය. තවමත් බොහෝ නිවෙස්වල නවීන පැන්ට්‍රි කුස්සිය ප්‍රදර්ශනාගාරයකි.

දැන් ගෙවල්වල පිඟන් භාණ්ඩ ගොඩ ගසා ගැනීමක් සිදු නොවේ. එසේ කිරීම දැන් අවශ්‍ය නැත. ගෙදර දානයක්, උත්සවයක්, සාදයක් පැවැත්වෙතොත් දැන් (කේටරින්) ආයතනයෙන් ඒ සියල්ල සැපයේ.

මේ නවීකරණ නිසා පැරැණි පිඟන් බඩු, කුස්සියේ භාවිත වූ වංගෙඩි, මොල් ගස්, පං මලු ආදිය සංස්කෘතියේ මං කියාපාන සංරක්ෂණය කළ යුතු භාණ්ඩ බවට පත්ව තිබේ. එස් 05 ක්‍රමය යොදා ගැනීමේදී අප ඒ ගැනත් සිතා බැලිය යුතුය.

සමහර පැරුණි පොත්පත් එකතු පවත්වාගත් ආයතන සහ පුද්ගලයෝ ඒවා ඉවත් කොට විනාශ කිරීමට පෙර කැමති පොත් තෝරා ගන්නට පාඨකයන්ට ඉඩ දුන්හ. එවැනි අවස්ථාවල නොමිලේ ලබාගත් අගනා කෞතුක භාණ්ඩ හා සමාන පොත් පත් අප සතුව ඇත.

ඉතිහාසයේ යම්කිසි යුගයක් ගැන තොරතුරු කියාපාන ගොඩනැගිලි, ගෙවල්, සිහිවටන ආදිය සංවර්ධන කටයුතුවලදී සංරක්ෂණය ගැන හැඟීමක් නොමැති නිසා විනාශ වී ගියේය. කොළඹ කොටුවේ පැරැණි ඕලන්ද නිවාස දෙක තුනකට වඩා දැන් ඉතිරි වී නැත. විශේෂ ව්‍යපෘතියකට පින්සිදුවන්නට ගාල්ලේ කොටුව ඇතුළත පැරැණි නිවාස දැන් සංරක්ෂණය වී තිබේ. ඒවා නරඹන්නට එන්නේ විශේෂ රසඥතාවක් ඇති සංචාරකයන්ය. පැරණි වලව් යනු පොදු ජනයා පෙලූ රදළයන් වාසය කළ නිවාස විය හැකියි. එහෙත් ඒවා මෙරට වැඩවසම් යුගයේ තොරතුරු කියාපාන සිහිවටනයන්ය. ඒ නිසා ඒවා සංරක්ෂණය කර ගැනීම වැදගත්ය.

පැරණි ගෘහ භාණ්ඩ හා විසිතුරු භාණ්ඩ එකතු කරන්නෝ ඒවායේ අගය හොඳින් දනිති. ඒ නිසාම දේශීය හා විදේශීය පැරැණි කෞතුක භාණ්ඩ එකතු කරන්නෝ ඒවාට හොඳ මිලක් ගෙවති. මේ ගැන දන්නා ඇතැම් වංචනිකයෝ කෞතුක භාණ්ඩ නිපදවති. සතියක් දෙකක් මඩේ ඔබා පරණ කළ වෙස් මුහුණු ආදිය සංචාරකයන්ට විකුණන සාප්පුවක (we make new antiques) කියා පුවරුවක් ප්‍රදර්ශනය වූ බව කියති.

අපේ කාලයේදී ගෘහ භාණ්ඩ අලෙවි කරන වෙළෙඳ දැන්වීම් ආඩම්බරයෙන් සඳහන් කළ වැකියකි “පරම්පරා ගණනාවක් යනතුරු පාවිච්චි කරන්නට” නැතහොත් ජීවිත කාලයක් පුරා පරිහරණය කරන්නට” යන්න. එහෙත් වර්තමානයේ අප පරිහරණය කරන භාණ්ඩවල මෝස්තර නිතිපතා වෙනස් වෙයි. ඒවා භාවිත කළ හැක්කේ කෙටි කාලයකි. ඒ නිසාම දෝ ඒවා ඉක්මනින් අතීතයට එක් වෙයි. යුගයක් ගැන කියාපාන කෞතුක ගුණයක් ඒවායේ අඩංගු වන්නේ මඳ වශයෙනි. ජනතාව දුරකථන ගනිති. පසුගිය අවුරුදු 25කට පෙර ගඩොල් භාගයේ හැඩය ඇති ජංගම දුරකථනයේ සිට ස්මාර්ට් ජංගම දුරකථනය දක්වා කොතෙක් නම් මෝස්තර භාවිතයට පැමිණ ඇත්ද? අසූ ගණන්වල තිබූ රූපවාහිනී යන්ත්‍ර නිවා දැමූ පසු ඉතිරිවන උණුසුම නිසා ඒ මත බළලාට වුවද වක ගසාගෙන නිදාගත හැකි විය. දැන් රූපවාහිනියේ ඝනකම අඟලකට වඩා නැත. බළලා කෙසේ ඒ මත ලගින්නද? කෙටි කාලයකදී මෝස්තරය අදහාගත නොහැකි ලෙස වෙනස් වී තිබේ. නූතන පරිහරණ භාණ්ඩ අතීතයට එක්වීම කඩිනම් වෙයි.

කාලය අලුත් වෙද්දී අනවශ්‍ය දෑ බැහැර කිරීම වැදගත්ය. මානව සංස්කෘතියේ මංසළකුණු කියාපාන දෑ සංරක්ෂණය කර ගැනීම ද ඒ තරමටම වැදගත්ය. වෙනස් වන මානව ජීවන රටා ගැන අකුරැවලින් හෝ වචනයෙන් හෝ හඬින් කිව නොහැකි දේ ඒවායේ සටහන්ව ඇත්තේය.

 සමන් පුෂ්ප ලියනගේ

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00