2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

ත්‍රිවිධ හමුදා බක්මහ සැණකෙළි

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:31 244

බක්මහ සිරියෙන් රටම ඇලලී ගිය අපූරුව අවුරුදු උදාවට මත්තෙන්ම පෙනෙන්නට විය. අලුත් ඇඳුම් ආයිත්තම් බඩුමුට්ටු මිලට ගැනීමට වෙළෙඳසල් අභියස රැස් වූ ජනතාව බොහෝය. ගමක් පාසා සංවිධානය කෙරෙන බක්මහ සැණකෙළි නැතිනම් අවුරුදු උත්සව පිළිබඳ දැනුම්වත් කරන පුවරැය. ඊට එක්වන ලෙස ප්‍රදේශවාසීන්ට කෙරෙන විවෘත ආරාධනාය. ඒ අතර කවුරුත් ගෙදරදොර අලුත්වැඩියා කරමින්  එළැඹි සිංහල දෙමළ අලුත් අවුරුද්ද පිළිගන්නට බලා සිටියෝය.

ගම්දොරේ යනෙන හැසිරෙන කිසිවකුටත් මේ කාරණා අරුම නැත. එහෙත් ගමෙන් පිට රස්සාවට ගිය රට ජාතිය වෙනුවෙන් කැපවී දේශයේ මුර දේවතාවුන් මෙන් යුද ගුවන් සහ නාවික හමුදාවන්හි විසිහතර පැයේම රාජකාරියේ නිරත රණවිරුවන්ට අවුරුදු සිරිය අත්විඳින්නට හෝ නව අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරන්නට අවස්ථාවක් තිබේද ගැටලුවකි. පවතින ගැටලු හෝ රාජකාරිවල කාර්යබහුලත්වය කෙසේ වෙතත් ලැබෙන අවස්ථාවේ හැකි උපරිමයෙන් ඒවාට දායක වන්නට රණවිරු සෙබළ සෙබළියෝ කටයුතු කරති.

උදා වූ 2019 සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව වෙන් වෙන් වශයෙන් සංවිධානය කරන බක්මහ උළෙල හා ඊට සමගාමී ප්‍රසංග ද පවත්වති. මෙවර අලුත් අවුරුද්ද සමරන ශ්‍රී ලංකා නාවික හමුදාව ඔවුන්ගේ ප්‍රධාන අවුරුදු උත්සවය වැලිසර නාවික හමුදා කඳවුර පරිශ්‍රයේදී පැවැත්වීය. නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ආරාධනයට ප්‍රධාන ආරාධිත වශයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් සිරිමෙවන් රණසිංහ සමග සන්ධ්‍යා රණසිංහ මහත්මිය සහභාගී වූවාය.

ඉකුත් 10 වැනිදා පැවැත්වූ අවුරුදු උත්සවයට සමගාමීව වාර්ෂිකව සංවිධානය කරන අවුරුදු පොළ මගින් සහන මිලට විවිධ ගෙදර දොර භාණ්ඩ ආහාර ද්‍රව්‍ය හා නිමි ඇඳුම් මිලදී ගැනීමට අවස්ථාව සලසා තිබිණි. ඒ සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකය මැදිහත්ව තිබිණ. අවුරුදු දිනයට නිවැසියන් සමඟ ගතකිරීමට නොහැකි නාවික හමුදා සෙබළුන්ට නැකත් චාරිත්‍ර අනූව ඥාතීන් සඟග ආහාර අනුභවයට අවස්ථාව සලසා තිබිණ. ගම හරහා දිවීම, කඹ ඇදීම, කොට්ට පොරය, රබන් ගැසීම ඇතුළු ජන ක්‍රීඩා රැසකින් උත්සවය සමන්විත විය. අවුරුදු උත්සවය අවසානයේ රාත්‍රිය පුරා ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ  සංගීත ප්‍රසංගයකි. ඒ අතර නාවික හමුදා බටහිර තූර්ය වාදක කණ්ඩායම ඉදිරිපත් කළ විචිත්‍රවත් ප්‍රසංගයකි. මේ අවස්ථාව සඳහා නාවික හමුදා සෙබළුන්ගේ හා සිවිල් පිරිසගේ මාපියන් දුවාදරුවන් ඇතුළු ඥාතීන් සහභාගි වී සිටියහ. නාවික හමුදාව ඔවුන් සඳහා ප්‍රවාහන පහසුකම් සපයා දීම ද විශේෂිතය.

නාවික හමුදා ප්‍රධාන අවුරුදු උත්සවයට අමතරව සියලුම නාවික හමුදා විධානයන් මගින් ද අවුරුදු උත්සව සංවිධානය කර ඇත. නාවික හමුදා සියලු ආයතනවලට අමතරව නාවික නෞකාවන්හි අණදෙන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් අලුත් අවුරුදු නැකත් අනුව චාරිත්‍ර වාරිත්‍ර ඉටුකිරීමට කටයුතු සංවිධානය කර තිබේ.

රට රකින ජාතිය ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ සංකල්පයක් අනුව "සිරිසර අවුරැදු 2019" ජාතික අලුත් අවුරුදු උත්සවය පදවි ශ්‍රීපුර කොළොන්ගොල්ල වැව අසලදී පසුගිය 6 වැනිදා පැවැත්වීය. මෙයට සමගාමීව යුද හමුදාව ප්‍රතිසංස්කරණය කළ කොළොන්ගොල්ල වැව ජනසතු කිරීම සිදුකෙරිණ. "වන අරණක" කණ්ඩායම සමඟ යුද හමුදාව වන අරණක අවුරුදු උදාව තේමාවෙන් පැවැත්වූ උළෙලට ආරාධිත අමුත්තා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහභාගි විය.

එහිදී පැවැත්වූ කාන්තා හා පිරිමි ගම හරහා දිවීමේ තරගයට තරගකරුවෝ රැසක් සහභාගී වූහ. විකට ඇඳුම් තරගය, ලිස්සන ගසේ නැගීම, කොට්ට පොරය, කණා මුට්ටි ඇතුළු ජනක්‍රීඩා රැසක් ද පවත්වනු ලැබීය. මෙහිදී ආදිවාසීන්ගේ සම්ප්‍රදායික කිරිකොරහා නර්තනය ඉදිරිපත් කළේය.

යුදහමුදාව සංවිධානය කරන ප්‍රධාන අවුරුදු උත්සවය මෙවර පනාගොඩ ඉංජිනේරු සේවා බලකා ක්‍රීඩාංගනයේදී පසුගිය 10 වැනිදා පැවැත්වීය. එහිදී සංවිධානය කෙරුණු තරග ඉසව් හා ජනක්‍රීඩා රැසකි. මීට සමගාමීව පසුගිය 9 වැනිදා ආරක්ෂක සේනා මූලස්ථානය කිලිනොච්චිය විසින්  පැවැත්වූ අවුරුදු උත්සවයකි. වව්නියාව ආරක්ෂක සේනා මූලස්ථානය මගින් සංවිධානය කළ අවුරුදු උත්සවය අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී ඉකුත් 10 වැනිදා පවත්වනු ලැබීය. මේ හැර දිවයින පුරා පිහිටි යුදහමුදා කඳවුර පරිශ්‍රවලදී සම්ප්‍රදායික නැකත් චාරිත්‍ර විධි පැවැත්වීමට කටයුතු කර තිබේ.

ගුවන් හමුදාව අවුරුදු උත්සවය සැමරීමට පෙරාතුව ගුවන් හමුදා මූලස්ථාන පරිශ්‍රයේ අවුරුදු පොළක් පවත්වා තිබිණ. අනතුරුව උත්කර්ෂවක් ලෙස පැවැක්වූ බක්මහ උළෙලකි. ගුවන් හමුදා කඳවුර රත්මලාන විසින් සංවිධානය කළ අවුරුදු උත්සවය පසුගිය 9 වැනිදා එම කඳවුර පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස පවත්වනු ලැබීය. කටුනායක ඒකල හිඟුරක්ගොඩ ත්‍රීකුණාමලය ඇතුළු ප්‍රධාන හා සෙසු කඳවුරුවලදී එහි සෙබළ සෙබළියන්ගේ සහභාගීත්වයෙන් විවිධ මට්ටමේ අවුරුදු උත්සව සංවිධානය කොට තිබිණ. එම සෑම කඳවුරකදීම නැකත් චාරිත්‍ර විධි අනුගමනය කරමින් සම්ප්‍රදායික සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට පියවර ගෙන තිබුණි.

►සමන්ත ප්‍රදීප් විල්තෙර