2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

සංගමන්කන්ද The Widest Point In Eastern Cost රට වටේ යන අයට අපූරු ගමනාන්තයක්

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 356

සංගමන්කන්ද තුඩුව පිළිබඳ ලංකාවේ ගොඩක් දෙනෙක්ට තියෙන්නේ බොහොම අඩු අවබෝධයක්. දිවයිනේ උතුරු දකුණු කෙරවළ වුණ පේදුරුතුඩුව සහ දෙවුන්දර තුඩුව ගැන තමා හැමෝම කතා කරන්නේ.

අම්පාර දිස්ත්‍රික්කයේ මනරම් කෝමාරි කලපුව ආසන්නයේ තමයි සංගමන්කන්ද පිහිටලා තියෙන්නේ. පොතුවිල් කල්මුණේ මාර්ගයේ හරියටම පොතුවිල්වලට වගේම බොහොම ප්‍රසිද්ධ ආරුගම්බේ වෙරළට කිලෝමීටර් 32ක් දුරින්. මෙතැන ඉඳන් මීටර් සීයක් දුරින් පෙනෙන මානයේ නැගෙනහිර වෙරළ හමුවෙනවා.

මෙතැන තියෙන වැඩියෙන්ම කැපී පෙනෙන ස්ථානය තමයි සංගමන්කන්ද ප්‍රදීපාගාරය. එය ඉදිවුණේ 1947 දී අඩි විසිපහක් උසට. ඒත් පසුගිය සුනාමි ව්‍යවසනය හේතුවෙන් ප්‍රදීපාගාරය විනාශ වුණා. දැන් ඉතිරිවෙලා තියෙන්නේ එහි අඩි පහළොවක පමණ කොටසක්. මේ පෙදෙස ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් නම් නෙවෙයි. නමුත් රටවටා සැරිසරන සංචාරකයන්ට මෙය අපූරු ගමනාන්තයක්.

සංගමන්කන්ද අවට ගම්මානය සුන්දරත්වයෙන් අනූනයි. ඒත් එය සංචාරක ආකර්ෂණයට නම් ලක්වෙලා නෑ. ආසියාවේ Surfing වල හොඳම රළ තියෙන ස්ථානයක් විදිහට මේ වෙරළ සැලකෙනවා. ඒ නිසාම සංචාරකයන්ගේ අවධානය මේ දෙසට යොමු නොවීම පුදුමයක්. Guest House නම් කිහිපයක් පමණයි මේ අවට තියෙන්නේ. ප්‍රදේශයේ බොහෝදෙනාගේ විශ්වාසයක් තියෙනවා සංගමන්කන්ද සංචාරක ආකර්ෂණය තියෙන තැනක් බවට පත්කරන්න පුළුවන් කියලා. දැනට මෙහි පදිංචිකරුවන් බොහෝදෙනාගේ ජීවිත කෘෂිකර්මාන්තය ධීවර කර්මාන්තය එක්ක බැඳිලා තියෙන්නේ.

බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන බොහොමයක් සංගමන්කන්දට නුදුරේ පිහිටලා තියෙනවා. දීඝවාපිය රජමහා විහාරය, විහාරමහාදේවි පුවතට සම්බන්ධ පොතුවිල් මුහුදු මහා විහාරය, කුඩුම්බිගල, ලාහුගල මගුල් මහා විහාරය ඒ අතරින් ප්‍රධානයි. තවත් හින්දු කෝවිල් කිහිපයක්ම මේ අවට පිහිටා තියනවා.

සනත් වීරසූරිය 
සේයාරූ - ශාන් බන්දු වීරසිංහ