2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

අවුරුදු ගමන් එපා කරවන බස් - කෝච්චි රස්තියාදුව

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:31 207

විශේෂ දුම්රිය සේවා මෙවරත් ක්‍රියාත්මකයි
දුම්රිය සාමාන්‍යාධිකාරී - ඩිලන්ත ප්‍රනාන්දු

කොළඹ සිට යාපනය, මහනුවර, බදුල්ල, බෙලිඅත්ත යන ප්‍රදේශ සඳහා විශේෂ දුම්රිය සේවාවක් යොදවා තිබෙනවා. ජනතාව මේ බලාපොරොත්තු වන ආකාරයට දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කරනවා ජනතාවගේ පහසුකම් සඳහා තමයි අපි මේ සියලුම දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කරලා තියෙන්නේ. මෙවර අවුරුදු සමයේදී ජනතාව බොහෝ දෙනෙක් දුම්රිය මගින් ගමනාගමන කටයුතුවල යෙදෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

අනිසි බියක් ඇති කරගත යුතු නැහැ
සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත්

ජනතාවගේ ගමනාගමන පහසුව වෙනුවෙන් අපි අපගේ ධාවන කටයුතු කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම තමයි ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයේ කිසිම වැඩකටයුත්තක් අපි සිදුකරන්නේ නැහැ. ඒ නිසා ජනතාව මෙවර උත්සව සමයේදී ඒ පිළිබඳව අනිසි ආකාරයේ බයක් ඇතිකර ගතයුතු නැහැ. සැමවිටම ජනතාවගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් අපි පෙනී සිටිනවා.

මගී ජනතාවට අපෙන් හොඳ පහසුකම් 
පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න

මෙවර උත්සව සමයේදී ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම සඳහා අපි විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයේ කිසිම වැඩ කටයුත්තක් අපි සිදු කරන්නේ නැහැ. පසුගිය අවුරුදු සමයන්වලදී ක්‍රියාත්මක කෙරූ ආකාරයටම මෙවරත් අපි ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමුකර ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සපයන්න සූදානම් වෙනවා. ඒ වගේම අවුරුදු නිවාඩුවෙන් පස්සේ ගම්බිම් බලා ගිය ජනතාවට නැවත රැකියාවලට පැමිණීම සඳහාත් අපි විශේෂ වැඩපිළිවෙළක් සකසා තිබෙනවා.

ගමන්වාර වැඩි කිරීමට ලංගම පියවර ගත්තා
ලංගම ධාවන කටයුතු පිළිබඳ සාමාන්‍යාධිකාරී පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් මෙවරත් අවුරුදු සමය වෙනුවෙන් බස් රථ විශාල සේවා වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. අදියර දෙකක් යටතේ ජනතාවගේ පහසුව තකා මෙම වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා. එහිදී සාමාන්‍ය ධාවනය යටතේ බස් රථ 1350ක් සහ අතිරේක බස් රථ 1500ක් ජනතාවගේ දෛනික ගමනාගමනය වෙනුවෙන් යෙදවීමට සැලසුම් කරලා තියෙනවා. එමෙන්ම මෙවර අවුරුදු සමයේ දී අනෙකුත් අවුරුදුවලට සාපේක්ෂව බස්රථවල ගමන්වාර පිළිබඳව අපි සැලකිලිමත් වෙනවා. අධිවේගී මාර්ගවල බස්රථවලද ගමන්වාර වැඩිකර තියෙනවා. ලබන 22 වැනිදා දක්වා මේ  සේවාව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළේදී මුල් අදියරේ කොළඹ සිට බැහැරගත ප්‍රධාන නගර දක්වා ධාවනය කරන්න බලාපොරොත්තු වෙනවා. යාපනය, හැටන්, ගාල්ල, මාතර වගේ ප්‍රදේශවලට බස් රථ ධාවනය කරන්න බලාපොරොත්තු වෙනවා. මගී ජනතාවගේ ගමනාගමන පහසුකම් සඳහා දිනකට බස් රථ 250ක් පමණ ක්‍රියාත්මක කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

එළඹෙන්නා වූ අලුත් අවුරුද්දත් සමඟ ගම්බිම්වල සිටිනා බොහෝ දෙනා නගරය වෙත ඇදී එන්නේ ඇවිස්සුණ කඩි ගුලක් ආකාරයෙනි. අවුරුද්දට අවශ්‍ය කරනා රෙදිපිළි බඩුභාණ්ඩ ආදිය මිලදී ගැනීමට එන මිනිසුන්ගෙන් රට පුරාම ප්‍රධාන නගරයන් පිරී පවතින බව අපි සියලුදෙනාම දැක ඇත්තෙමු.

එමෙන්ම මේ ඇරඹෙන උත්සව සමයත් සමඟම මගීන්ට ගම්බිම් බලා යාම සඳහාත් නෑගම් යාම සඳහාත් බොහෝ දෙනකු තවමත් භාවිත කරන්නේ පොදු ප්‍රවාහන සේවයයි. පසුගිය අවුරුදු සමයන්හි මෙන්ම මෙවරත් සිය අවුරුදු සමයේදී ජනතාවට සේවය සැපයීම සඳහා මෙරට පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර ඇත. කොතෙකුත් ප්‍රවාහන පහසුකම් තිබුණද ජනතාවට තමන්ගේ ප්‍රවාහන සේවාවේදී සිදුවන ගැටලු සම්බන්ධව බොහෝ දෙනකු තවමත් කතා කරන්නේ නොසතුටු සිතිනි.

ප්‍රවාහන පහසුකම් අඩුයි
තිස්ස - ගම්පොල

දැන් මේ උත්සව සමය ආරම්භ වෙලා තියනවා. නමුත් හරියට ප්‍රවාහන පහසුකම් නැහැ. එහෙම නිසි ආකාරයට ප්‍රවාහන පහසුකම් තියනවා නම් මේ ජනතාවට මේ ආකාරයට රස්තියාදු වෙන්නේ නැහැ. මීට වඩා රටේ බලධාරින් මේ ප්‍රවාහන සේවාව පිළිබඳව සැලකිය යුතුයි. අප්‍රේල් පළවෙනිදා ඉඳන් බොහෝ ජනතාව මේ ගම්මානවලින් නගරයට ඇදී එන්නේ තමන්ට ඕන කියන අවශ්‍ය බඩු භාණ්ඩ ගන්න. නමුත් හරිහමන් ප්‍රවාහන සේවාවක් නැහැ. මගීන් බොහෝම දුෂ්කරතාවලට මුහුණ පානවා ඇත්තටම අවුරුදු කාලයේදී මීට වඩා රටේ ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු විය යුතුයි. මේ දැන් තියන පොදු ප්‍රවාහන සේවාව පිළිබඳ අපිට කිසිසේත්ම සතුටු වෙන්න බැහැ.

ගිය අවුරුදුවලට වඩා මේ පාර හොඳයි
උපුල් - මොරටුව

පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර අවුරුදු සමයේ පොදු ප්‍රවාහන සේවාවල දියුණුවක් තියෙනවා මොකද මීටවඩා දුෂ්කරතා තිබුණු පසුගිය අවුරුදුවල. නමුත් මේකේ හරියට පොදු ප්‍රවාහන සේවයක්වත් නිසි ආකාරයට ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් අද ජනතාවට ඒ සියලුදේම ඒ විදිහට වෙනවා. මෙවර අවුරුද්දට කිසිම ආකාරයකින් ජනතාවට ප්‍රශ්නයක් නැතුව ගමන්බිමන් ගමට පුළුවන් ඒ නිසා මෙවර ජනතාවට වෙන මොන ප්‍රශ්නයක් තිබුණත් පොදු ප්‍රවාහන පහසුකම් වැඩියි කියලා තමයි අපිට හිතෙන්නේ.

ජනතාව පෝලිම්වල රස්තියාදු වෙනවා
අමරේ - රාජගිරිය

මේ පොදු ප්‍රවාහන සේවාව අවුරුදු කාලයට විතරක් නෙවෙයි අනෙක් කාලයටත් දියුණු කරන්න ඕන. නමුත් මේ ජනතාව බස් රථ පෝලිම්වල කෝච්චි පෝලිම්වල රස්තියාදු වෙන ආකාරය දැක්කානම් පොදු ප්‍රවාහන පහසුකම් පිළිබඳව මීට වඩා බලධාරින් උනන්දු වෙනවා. නමුත් මම දුටුව ආකාරයට පොදු ප්‍රවාහන සේවාවේ වැඩිවීමක් වෙලා නැහැ. අවුරුදු සමය තුළ අපිට වෙනදා දකින්නට නොලැබුණු ආකාරයේ ජනතාවක් මෙවර දකින්න ලැබුණා. ඒවගේම තවමත් දකින්න ලැබෙනවා. මේ ඉන්න සෙනඟ තව ඉස්සරහට වැඩි වෙනවා ජනතාවට ගම්බිම්වල ගමට මීට වඩා හොඳ තත්ත්වයක් ක්‍රියාත්මක කළයුතුයි. මේ පොදු ප්‍රවාහන සේවාව තවත් දියුණු විය යුතුයි.

බස්ගමන් වාර මීට වඩා වැඩිවිය යුතුයි
ජයසේන - මාතර

දැනට ගමන් බිමන් යාමට බස් රථ තියනවා. නමුත් තව බස් රථ වාර කිහිපයක් දැම්මානම් හොඳයි කියලා තමයි අපි හිතන්නේ. මොකද ජනතාවට මේ විදියට හැමදාම අවුරුද්දක් එන්නේ නැහැ. වසරකට එකවරයි එන්නේ. මේ වගේ නිවාඩු කාලයක් හම්බවෙන්නෙ නැහැ. ඒ නිසා මේ ප්‍රවාහන සේවාව තවදුරටත් දියුණු විය යුතුයි. මේ විදියට ජනතාව රස්තියාදු නොවී ඉක්මනින් ගම්බිම් බලායාමට පහසුකම් සලසනවා නම් ඒ පිළිබඳව බලධාරින්ට ස්තූතිවෙනවා නමුත් තවමත් හරියට මේ ප්‍රවාහන සේවාවේ දියුණුවක් නැහැ.

කියන තරමට දියුණුවක් නෑ
ප්‍රේමතිලක - මහනුවර

මේ ප්‍රවාහන පහසුකම් අලුත් අවුරුද්දට මීට වඩා දියුණු වුණානම් ඉතාමත් හොඳයි. මොකද ජනතාව ගම්බිම් බලා යන්න ඕන. ඒවගේම තමයි අපි දුටුවා මේ දිනවල බොහෝමයක් ජනතාව බස් රථ පෝලිම්වල ඉන්නා ආකාරයක්. ඒ වගේම තමයි දුම්රිය සේවාවෙන් උපරිම පහසුකම් ගම්නගර බලා යාමට දෙනවා කිව්වත් මේ වෙනකොටත් බොහෝ නගරවලට ගන්නා සුඛෝපභෝගී දුම්රියවල ටිකට් ඉවරයි. ප්‍රවාහන පහසුකම් ඔය කියන ආකාරයට සැලසුවා නම් එහෙම වෙන්න විදියක් නැහැ. ඒ වගේම තමයි බොහෝ දෙනා කතා වෙනවා බස් රථ වර්ජනයක් පිළිබඳවත්. ඒ නිසා එහෙම දෙයක් සිදුවුවහොත් මේ අලුත් අවුරුද්දෙදී ජනතාවට අපහසුතාවයට පත්වෙන්න තමයි වෙන්නෙ.

අවුරුදු කාලේ අපි හැමදාමත් මහ පාරේ
ශ්‍රියානි - කුරුණෑගල

අද මේ කොළඹ එන්න කුරුණෑගල අපි පැය ගණනක් රස්තියාදු වුණා. නිසි ආකාරයට ප්‍රවාහන පහසුකම් සපයා දීමක් සිදුවෙලා තිබුණා නම් මේ විදියට රස්තියාදු වෙන්න වෙන්නෙ නැහැ. සාමාන්‍ය දිනවල ප්‍රවාහන සේවාවක් මීට වඩා බලාගන්න පුළුවන්. නමුත් මේ අවුරුදු කාලෙදී තමයි මේ ආකාරයට රස්තියාදු වෙන්නෙ. ඒ නිසා බලධාරීන් කියනවා බස් රථ පහසුකම් පොදු ප්‍රවාහන පහසුකම් තියෙනවා කියලා. නමුත් මේ විදියේ ගමනක් එන්න වුණාම තමයි කිසිම ඔය කියන ආකාරයේ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ කියලා දකින්නේ. ජනතාවට ඒ ආකාරයෙන් පහසුකම් ලැබීමක් සිදුවෙන්නෙ නැහැ. අවුරුද්දෙන් පස්සෙ නෑගම් යන්න මේ ආකාරයටවත් පහසුකම් ලැබෙයි කියලා අපි විශ්වාස කරන්නෙ නැහැ.

 සටහන - හසිත් අංජන

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00