2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

අවුරුද්දත් දැන් ඩිජිටල්!

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:31 286

කොහා හඬලනකොට, එරබදු පිපෙනකොට අවුරුද්ද ළඟ එන බව ඉස්සර අපේ අය දන්නවා. අටු කොටු සරු වුණ මේ කාලේ ගෙවල් දොරවල් අලුත් කරලා බරටම අවුරුදු කන්නයි ලකලෑස්තිය. ඒ කාලේ අවුරුද්දට බඩු මුට්ටු ගන්න යන එක හරිම අපූරු වැඩක්. ඔක්කොටම ඉස්සර ගමේ නැකැත් රාලගෙන් හරි පන්සලේ හාමුදුරුවන්ගෙන් හරි නැකැත් සීට්ටුව ගන්න අමතක කරන්නෙ නෑ. එහෙම වුණත් පොළට ගිහින් බඩු අරන් එනකොට අවුරුදු ලිතක් අරන් එන්නත් අපේ අය අමතක කරලා නෑ. නමුත් දැන් අපි ඉන්නේ වෙනම ලෝකෙක. නැකැත් බැලිල්ල අලුත් ඇඳුම් ගැනිල්ල ඉඳලා අවුරුදු සැණකෙලි, ගිනිකෙලි දර්ශන සඳහාත් දැන් හැමෝම අතට ගන්නේ තමන්ගේ ෆෝන් එක, ලැප් එක, ටැබ් එක. මුළුමනින්ම අවුරුදු සංග්‍රහ සැණකෙලි සියල්ල තමන් වෙනුවෙන් සංවිධානය කරලා අත ළඟටම ගෙනැත් දෙන අය දැන් වැහි වැහැලා. විවිධ ඇප් හරහා විවිධ සේවා ලබා ගන්න එක හරිම පහසුයි. අවුරුද්දත් දැන් එක එක ඇප්වලට  සින්න වෙලා හමාරයි. මේ නිසා දැන් අවුරුද්දත් වෙනස් වෙලා. කොටින්ම දැන් ඇත්තේ මුළුමනින්ම ඩිජිටල් වූ අවුරුද්දක්.

අවුරුදු කාලේ වැදගත්ම තැන ලැබෙන්නේ නැකැත්වලටයි. දැන් ඒ සඳහා පහසුකම් සලසන ඇටවුම් නැත්නම් ඇප් ඕනෑ තරම්. ඒ අතර එක ඇප් එකකට දී ඇති නම නැකැත් රාළ.

අප රටේ සිංහල - හින්දු අලුත් අවුරුද්ද මහා උත්සවශ‍්‍රීයෙන් සමරා ඇත්තේ මහනුවර යුගයේදී  කියලයි කියන්නේ. පැරණි පොතපතට අනුව එකල දෙවන භාගයේදී පමණ මෙරට දක්ෂිණ භාරතීය හින්දු සිරිත් විරිත් තදින්ම පැතිරිලා තිබුණා. ඒ අනුව රජවාසල තොරණ ආදියෙන් සරසා උත්සවශ‍්‍රීයෙන් බැබළවූ අයුරු පැරණි වාර්තාවලින් හෙළි වනවා. වෙළෙඳුන් තම වත්කම්වලින් රජ වාසලට යම් කොටසක් ගෙවූ අයුරැත්, වෙනත් ප‍්‍රභූන් තුටු පඬුරු රැගෙන මහවාසලට රොක් වූ අයුරුත් විස්තර වනවා. මෙම උත්සවයේ වැඩි රාජකාරියක් ඉටු කොට ඇත්තේ රාජකීය ගණිතයා හෙවත් නැකැත් රාළයි. එකල කාලය මැනීම සඳහා භාවිතා කළ උපකරණ පෑ තැටියයි. ඉන් කාලය මැන අවුරුදු සංක‍්‍රාන්ති කාලය නියම කරනු ලබන්නේ එකී නැකත් රාළයි. මීට අමතරව නැකත් වට්ටෝරු පිළියෙල කිරීම අවුරුදු ලබන නැකත දැක්වීම, නානු මුර මංගල්ලය සඳහා වේලාව දැක්වීම. අනුභවය සඳහා වේලාව දැක්වීම, වැඩ ඇල්ලීම සඳහා වේලාව දැක්වීම සහ ඉහත සාදන ලද නැකත් රජුට පෙන්වීමට වේලාව නියම කිරීම ආදිය ඔහුගේ රාජකාරි අතර තිබුණ කාරණායි. මුළු අවුරුදු උත්සවයම රඳා පවතින්නේ මේ නැකැත් මතයි. අවුරුදු ලැබූ බව සැලවන්නේ මහනුවර නාථ දේවාලයේ හේවිසි වැයීමෙනුයි. මෙම සියලුම චාරිත‍්‍ර රජතුමා සහ ඇමති මණ්ඩලය රජමැදුරේදී ඉටු කරනවා. පළමු නැකතේ රජු ඇමතිවරු පිරිවරා සිංහාසනාරෑඪ වන අතර දෙවැනි නැකතේදී රජුට හිසතෙල් ගා ආශිර්වාද කරනවා. රජු සහ ඇමතිවරු මෙසේ රජ මාලිගයේ චාරිත‍්‍ර ඉටු කරද්දී රට වැසියෝ ද අවුරුදු චාරිත‍්‍ර ඉටු කොට අනතුරුව කා - බී ප‍්‍රීති වනවා. ආගමික වතාවත් ද ඉටු කරමින් තමන් දුක් මහන්සියෙන් උපයා ගත් භව භෝග රැකදෙන මෙන් හිරු දෙවියන්ගෙන් ඉල්ලමින් ඔවුහු එකල අවුරුදු සැමරුවා. නැකැත් රාළ දුන් නැකැත්වලටයි මේවා සිදුවුණේ.

දැන් ඒ පැරැණි නැකැත් රාලගේ තැනට ඇවිත් තියෙන්නේ, මේ “නැකත් රාළ” ඇප් එකයි. ඒකත් හරියට ඩිජිටල් නැකත් රාළ කෙනෙක් වගේමයි. නව සඳ බැලීමේ ඉඳන් රැකී රක්ෂාවලට පිටව යාම වෙනකම් තියෙන සේරම නැකත් ටික හරි අපූරුවට මේකේ සඳහන් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ හැම නැකතක්ම උදා වෙන්න තියෙන තව ඉතුරු වෙලා තියෙන කාලය ගැන කියන කවුන්ට් ඩවුන් එකකුත් මේකේ අඩංගු වෙනවා. අනික නැකත උදා වෙද්දීම ෆෝන් එකට නොටිෆිකේෂන් නැතිනම් දැනුම්දීමක් එහෙමත් එනවා. සිංහල, ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම මේ විස්තර බලාගන්න පුළුවන් නිසා තවත් ලේසියි.

අලුත් අවුරුද්ද කියන්නේ කවුරු වුණත් ෂොපින් කරන්න යන කාලයක්නෙ. මේ දවස්වල ඉතින් කොහේ හරි ඩිස්කවුන්ට් එකක් දැක්කත් සනීපයි. නැත්තන් ඕවයේ ගණන්වල හැටියට ඇඳුමක් තියා ඇඳුම් කෑල්ලක්වත් ගන්න බැහැනේ. දැන් මේ සේල් පොළවලුත් ඩිජිටල් වෙලා. සියයට 60, 70, ඩිස්කවුන්ට් සමහර බැංකු කාඩ්වලට දෙන තැන් තියනවා. දැන් කාලේ කියන තාලෙට පට්ට වාසියි. හැබැයි ඒවා ගන්න පුළුවන් ඔවුන්ගේ ඇප් එකකට රෙජිස්ටර් වුණොත් තමයි එතකොට අවුරුදු සාප්පු සවාරිය පට්ට වාසියි. ඇප් එක ක්‍රියාත්මක කරගෙන බඩු අරන් බිල ගෙව්වාම ඩිස්කවුන්ට් එක බැංකු කාඩ් එකට නිකම්ම එකතු වෙනවා.

මෙන්න මේ වගේ ඩිස්කවුන්ට් විස්තර බලාගන්න පුළුවන් නියම ඇප් එකක් තමයි Bigbon. ඇඳුම් කඩ ද විතරක් නෙවෙයි, රෙස්ටෝරන්ට්, සැලෝන්, හොටෙල් ආදී හැම තැනින්ම, එක එක බැංකු කාඩ්වලට දෙන ඩිස්කවුන්ට් මේ ඇප් එකේ දක්වලා තියෙනවා. GPS ඔන් කරගත්තම තමන්ගේ වටේ පිටේ තියෙන කඩවල්වලින් ගන්න පුළුවන් ලට්ට ලොට්ට ඩීල්ස් සේරම බලාගන්න පුළුවන්. කාලෙන් කාලෙට විස්තර අප්ඩේට් වෙන නිසා, අලුත් අවුරුද්දට විතරක් නෙවෙයි, මේක නම් අවුරුද්දේ ඕනේම කාලෙක වුණත් පාවිච්චියට හොඳයි.

අවුරුදු කාලේ තවත් රසවත් වෙන්නේ මේ දවස් ටිකේ හැදෙන අවුරුදු රසකැවිලිවලින්. කිරි රස බේරෙන කිරිබත කන්න උම්බලකඩ, රතු ලූණු දාලා හදන කට්ට සම්බලයක් ඕනෙමයි. කට්ට සම්බලේ සැර ගතිය කපන්න තමයි අපි කැවුම්, කොකිස්, අලුවා, ආස්මී වගේ රසකැවිලි හදන්නේ.

ඉතින් මේ කෑම හදාගන්න විදිය දන්නේ නැත්තන් දැන් බය වෙන්න දෙයක් නෑ. ඔය අවුරුදු කැවිලි රෙසිපි සේරම එකතු කරපු නියම ඇප් ඔනෑ තරම් තියෙනවා. ඉන් එකක නම “ඉවුම් පිහුම්”. ඕනේම අවුරුදු කැවිල්ලක් හදාගන්න විදිය සරලව, පියවරෙන් පියවර හරි ලස්සනට මේකේ විස්තර කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අවුරුදු කෑම මේසේ තවත් රසවත් කරන්න පුළුවන් විදියේ කේක් වර්ග, තල බෝල, වගේ ඒවයේ රෙසිපිත් මේ ඇප් එකේ අඩංගුයි.

අලුත් අවුරුද්දට ගෙදරට එන නෑදෑ හිතවතුන්ට කටට රසට කෑම වේලක් දෙන්න බලාගෙන ඉන්න උදවියට මේකෙන් උදව් ගන්න පුළුවන්. මොකද කෑම වට්ටෝරු බර ගාණක් මේකේ ඇතුළත් කරලා තියෙනවනේ. මේකේ රෙසිපිවලින් ලංකාවේ ස්ටයිල් එකට විතරක් නෙවෙයි වෙන රටවල්වල කෑමත් හදාගන්න පුළුවනි.

නිරෝගී ජීවිතයක් ගෙවන්න නම්, අපි කෑම බීම ගන්න විදිය ගැනත් පොඩ්ඩක් හිතන්න ඕනේ. මේවට සම්බන්ධ කාරණාත් මේ ඇප් එකේ දාලා තියෙනවා. කෑම උයද්දී වැදගත් වෙන ටිප්ස් එහෙමත් එකතු කරලා තියෙනවා. මේ වගේම රෙසිපි දාපු තව ඇප් රැසක්ම  තියෙනවා.

අවුරුදු උත්සව කියන්නේ අලුත් අවුරුදු කාලෙට සුලබව දැකගන්න ලැබෙන තවත් දෙයක්. කොළඹ ඉන්න අයට නම් ගොඩක් වෙලාවට මේවා දකින්න ලැබෙන්නේ ටීවී එකෙන් තමයි. ක්‍රිකට්, ෆුට්බෝල් බලලා කොච්චර හුරේ දැම්මත්, කොට්ට පොරේකට ගිහින්, කඹ ඇදලා, කණා මුට්ටියක් බිඳලා එන ගැම්ම ගන්න ඔය කොයිකෙන්වත් බැහැ.

“අවුරුදු ගේම්ස්” කියන්නේ ඔය අවුරුදු සෙල්ලම් කීපයක් ගහන්න පුළුවන් විදියේ ඇප් එකකට. අලියට ඇහැ තැබීම, කණා මුට්ටිය බිඳීම, අලියට ඇහැ තැබීම, කඹ ඇදීම, කැට ගැසීම, පැපොල් ගෙඩියේ ඇට ගණන් කිරීම වගේ සෙල්ලම් හයක් මේ ඇප් එකේ තියෙනවා. අවුරුදු උත්සවේකට ගිහින් මේ සෙල්ලම් කරනවා තරම් සුන්දරබවක් මේකේ නැති බව හැබෑව. ඒ වුණාට පොඩ්ඩෙක්ට හරි අපේ පැරැණි සාම්ප්‍රදායික කෙලි සෙල්ලම් වූ මේවා ගැන කියලා දෙන්න අවුරුදු ගේම්ස් ඇප් එක හොඳයි.

අපි ගෙවන මේ කලබල ජීවිතත් එක්ක, අඩු තරමේ අවුරුද්දට කැවිල්ලක් හදන්න වෙලාවක් නැතිවෙන්න පුළුවන්. අන්න එහෙම වෙලාවට කැවිලි ටිකක් ඕඩර් කරලා ගෙන්න ගන්න දැන් පුළුවන්. මේ ඇප් එකේ නම “අවුරුදු කැවිලි”. කැවුම්, කොකිස්, දොදොල්, අලුවා, වැලිතලප වගේ අවුරුදු කැවිලි කීපයක්ම මේ ඇප් එක හරහා ඕඩර් කරන්න ඇහැකි. රුපියල් 20 ඉඳන් ඉහළට මේවයේ ගණන් වෙනස් වෙනවා.

ඩිජිටල් කාලෙට ගැලපෙන ඩිජිටල් තාලේ අලුත් අවුරුදු ලිතක්‌ හඳුන්වා දීලා තියනවා. අලුත් අවුරුද්දේ සියලු නැකැත් සඳහන්ව තිබෙන මෙම ලිත නම් කර ඇත්තේ 'අවුරුදු සොබා ලිත' හැටියටයි. ශ්‍රී ලංකාවේ වැඩි දෙනෙක්‌ අතර භාවිත වන්නේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වන නිසාවෙන් මෙය නිර්මාණය කර ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක්‌ හැටියටයි.

අප්‍රේල් මාසය පුරා විසිරී තිබෙන විවිධ නැකැත් මෙම ඩිජිටල් ලිත හරහා දැනගැනීමටත් ඒ කිසිදු නැකතක්‌ මඟ නොහැරෙන ආකාරයටත් මෙය නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.  මෙම ඩිජිටල් ලිත මඟින් අලුත් අවුරුදු නැකත් පිළිබඳ දැනුමක්‌ අවබෝධයක්‌ ලබාදීමට ද කටයුතු කර තියෙනවා. සෑම නැකතකම තේරුම හා වැදගත්කම වෙන් වෙන් වශයෙන් පැහැදිලි කර දී තියෙනවා. ඉතින් එය සාම්ප්‍රදායික නැකත් චාරිත්‍රවලට පසුබිම් වූ කරුණු කාරණා දැනගැනීමටත් හරිම වැදගත්. මෙම ඩිජිටල් ලිතෙහි තවත් සුවිශේෂී ලක්‌ෂණයක්‌ වන්නේ, සෑම වසරක්‌ පාසාම යාවත්කාලීන වීමයි.

ඩිජිටල් වෙච්ච ලෝකේ අවුරුදු සුබ පැතුම් පමණක් නෙමේ ගිනිකෙළි පවා ඩිජිටල් වී හමාරයි. සුබපැතුම් ග්‍රැෆික් මෙන්ම වීඩියෝ ආදියත් මේ දිනවල වැහි වැහැලා. ඒ වගේම   එළියට ගිහින් රතිඤ්ඤා පත්තු කරන ගිනිකෙලි බලන්න නොහැකි අයට පරිගණකයෙන්  ජංගම දුරකතනයෙන් ඒ අපුරුව සජීව ලෙස විඳින්න පුළුවනි. හැබැයි සැර ගාණක් ගෙවන්න වෙනවා.

අලුත් අවුරුදු කුමරිය, අලුත් අවුරුදු කුමරා, කොට්ට පොරය, කනා මුට්ටි බිඳීම, බනිස් කෑම, ගෝනි රේස්, බිත්තර ඇල්ලීම, කඹ ඇදීම ඇතුළු අපූරු අවුරුදු ජන ක්‍රීඩා රැසක් සහිත  ඩිජිටල් සහෘදයන්ගේ අවුරුදු උළෙලක් ගැනත් කාලයක සිට වාර්තා වෙනවා. ඩිජිටල් ලෝකයේ අන්තර්ජාලයේදී හමුවෙන මිතුරන් සැබෑවට මුණ ගස්සන මෙය නම්කර  ඇත්තේ “ෆේස්බුක් අපේ අවුරුදු උළෙල” 2019 හැටියටයි. මේක පේජ් ඇඩ්මින් මඩුල්ල එක්ව සංවිධානය කරනු ලබන වැඩක් හැටියටයි හඳුන්වා දී ඇත්තේ.

- සුගත් පී. කුලතුංග ආරච්චි