2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

පාලන මිල පොතේ වෙළෙන්දෝත් ජනතාවත් අතරමං

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 397

 

රටේ ජනතාවට දරාගත නොහැකි තරමට භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යමින් තිබේ. සහල්, සීනි, පොල් සහ එළවළු ආදී එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය ආහාරපාන මිල ගණන් අහස උසට නැග තිබේ. මේ නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින අතර මේ හේතුවෙන් ජනතාවට එළවළුවක් දෙකක් සමඟ එදාවේල සරිකර ගැනීමට අපහසු තත්ත්වයක් මේ වනවිට රටපුරා ඇතිවෙමින් පවතී.මේ ආකාරයට එකවර සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යෑමට වැට් බද්ද සෘජුවම බලපා තිබේ. රජය මගින් වැට් බදු වැඩිකිරීම හේතුකොට ගෙන ඇතැම් සමාගම් මෙන්ම වෙළෙඳුන්ද මිල ගණන් හිතුමතයේ ඉහළ නැංවීම නිසා මේ වනවිට පොදුවේ සියලු ක්ෂේත්‍රවල භාණ්ඩ මිල ඉහළ යෑමක් සිදුවි තිබේ. මේ සියලු මිල වැඩි කිරීම්වල බර අවසානයේ දරන්නට සිදුවී ඇත්ත් සාමාන්‍ය ජනතාවටය. එය මේ වනවිට සාමාන්‍ය ජනතාවට දරන්නට නොහැකි බරක් බවට පත්වී ඇත.

වත්මන් වෙළෙඳපොළෙහි සහල්, එළවළු, පොල් සහ පොල්තෙල් ඇතුළු අතවශ්‍යය භාණ්ඩවල මිල අහස උසට නැග තිබුණද එම මිල වැඩිවීමේ වාසිය ගොවියාටද ලැබී නැත. අද ගොවීන් සිටින්නේද සාමාන්‍ය ජනතාව මෙන් දිළිඳුකමේ අසීරු අඩියකය. මේ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් අසාමාන්‍ය ලෙසත් කෘත්‍රීම ලෙසත් ඉහළ යෑම වැළැක්වීම සඳහා ජනතාවට වඩාත්මක අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයකම මිල පාලනයක් ඇතිකිරීමට රජය පියවර ගත්තද තවමත් සාමාන්‍ය වෙළෙඳපොළට එම නීති රෙගුලාසිවල බලපෑමක් සිදුවී නැත. 

මේ වනවිට භාණ්ඩ කිහිපයක මිල පාලනය කිරීම සඳහා රජය තීරණය කර ඇති අතර දැන් එහි ප්‍රතිඵලය ලෙස පෙනෙන්නට තිබෙන්නේ වෙළෙඳපොළෙහි එම භාණ්ඩ වර්ගවල හිඟයක් ඇතිවෙමින් පවතින බවය.

එළවළු මිල මීට සති කීපයකට පෙර පහළ වැටී තිබුණද මේ වනවිට එම මිල ගණන් ඉහළට නගිමින් තිබේ. එළවළු මිල දැන් ඉහළ මට්ටමක පවතී. බොහෝ එළවළුවල වර්ග කිලෝවක මිල රුපියල් දෙසියයක් දෙසිය පනහක් අතර අගයක් ගනී. මේ මිලට ගොවි නිෂ්පාදන අලෙවි  වන්නේ නම් අද ගොවියා සිටිය යුත්තේ රජවරැන් මෙනි. එහෙත් එසේ සිදුවන බවක්ද නොපෙනේ. 

ඉදිරියේදී සීනි හිඟයක්ද ඇතිවිය හැකි බව අප සිදුකළ වෙළෙඳපොළ සංචාරයේදී වෙළෙන්දෙක් පැවසීය. ලෝක වෙළෙඳපොළේ හා අනෙකුත් වියදම් එක්කළ විට සීනි කිලෝවක් කොළඹට ගෙන ඒම සඳහා වැයවන මුදල රුපියල් සියයක් එකසිය පහක් අතර මිලක් බවත් කොළඹින් සීනි මිලදී ගෙන පිටපළාත්වලට ගෙනගොස් විකිණීමේදී ප්‍රවාහන වියදම් අනෙක් වියදම්ද ඇතුළුව සිල්ලර වෙළෙඳුන් ලාභය ඇතුව විකිණිය යුත්තේ රුපියල් 110ක් වැනි මිලට බව වෙළෙන්දෝ පවසති. එහෙත් වත්මන් රජය සීනි සඳහා නියමකර ඇත්තේ රුපියල් 93ක මිලකි. ඊට වැඩි මිලට විකුණන වෙළෙඳුන් පාරිභෝගික අධිකාරිය විසින් අල්ලා අධිකරණයට ඉදිරිපත් කෙරේ. මේ පාඩුව දරාගෙන අඩුමිලට සීනි විකිණිය නොහැකි නිසා මේ වනවිට ආනයනකරුවන් සීනි ගෙන්වීමට මැලිකමක් දක්වන බවද වෙළෙඳපොළ ආරංචිමාර්ග පවසයි. මේ හේතුවෙන්ද මහත් අපහසුතාවයට පත්වන්නේ මහජනතාවය.

පරිප්පු සඳහා පාලන මිල කිලෝවකට රුපියල් 169ක් වනවිට පරිප්පු කිලෝවක් ගෙන ඒමට වැයවන මුදල රුපියල් 180ක් බව කියති. උළුදු කිලෝවක පාලන මිල රුපියල් 300ක් වනවිට මෙරටට උළුදු කිලෝවක් ගෙන්වීමට වැය වන මුදල පාලන මිල මෙන් දෙගුණයකට මඳක් අඩුය. සාමාන්‍ය වෙළෙඳපොළෙහි මෙන්ම ඇතැම් සුපිරි වෙළෙඳ සංකිර්ණ තුළ පවා මේ වනවිට අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් පවතී. පාලනමිල නියම කිරීමට පෙර තිබූ සමහර භාණ්ඩ පාලන මිල නියම කිරීමත් සමඟ අතුරුදන් වී ගොසිනි. එම භාණ්ඩ ලැබෙනා තුරු මහජනයා නිරතුරැවම කඩපිල්වල රස්තියාදුවන අයුරු අපට දැකගත හැකිවිය. 

ලංකාවේ ඈත අතීතයේදී සිට සෑම නිවෙසකම තුන් වේලටම බත්පත නොවැරදිණි. නමුත් අදවනවිට සහල් මිල අහස උසට නැග ඇති නිසා බොහෝ නිවෙස්වල බත්පත එක වේලකට හෝ දෙවේලකට සීමා වෙමින් තිබේ. සාමාන්‍ය සම්බා කිලෝවක මිල රුපියල් අනූවකි. තරමක් හොඳ සම්බා කිලෝවක මිල රුපියල් 125කට වඩා වැඩිය. සාමාන්‍ය සුදු හාල් කිලෝවක මිල දැක්වෙන්නේ රුපියල් 75ක් ලෙසිනි. මෙලෙස සහල් සඳහා පාලන මිලක් පැනවුවද වී ගොවියාගෙන් පෞද්ගලික අංශය වී මිලදී ගන්නේ රැපියල් විස්සත් තිහක් අතර මිලකටය. මෙලෙස ගොවීන්ගෙන් කුණු කොල්ලයට වී ලබාගෙන තොග රුස්කර සහල් අධික මිලට විකිණීමෙන් මහා පරිමාණ මෝල් හිමියෝ අධික ලාබ උපයති. ඒ තරමට සහල් මාෆියාව බලවත් වී තිබේ.

සුපිරි වෙළෙඳසැල් තුළද ඇතැම් අවස්ථාවල අදවනවිට ලබා දෙන්නේ එක් පුද්ගලයකුට සහල් කිලෝ පහක් පමණක් වනබව පාරිභෝගිකයෝ පැවසූහ. ඇතැම් වෙළෙඳසැල් තුළ ඇත්තේ සහල්වල පාලන මිල දර්ශකය පමණි. සහල් අතුරුදන් වී ගොසිනි. පාරිභෝගිකයන් ඒ පිළිබඳව විමසූ විට වෙළෙන්දන් පවසන්නේ රටතුළ සහල් හිඟයක් ඇති බවය. නමුත් රජයේ මැති ඇමැතිවරුන් මාධ්‍ය හමුවලට එක් වෙමින් පුන පුනා කියා සිටින්නේ රටතුළ එවැනි සහල් හිඟයක් නොමැති බවය.

පොල් ත්‍රිකෝණයකට හිමිකම් කියන ලංකාවේ පොල් මිල ඇසූ විට පාරිභෝගිකයාට එලොව පොල් පෙනෙන තරමට මිල වැඩිය. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල අදවනවිට පොල්ගෙඩියක මිල රුපියල් 80ක් පමණ අගයක් ගනී. අද පොල් ග්‍රෑම් ගණන්වලින් පවා වෙළෙඳපොළ තුළ මිලදී ගැනීමට තිබේ. අදවනවිට පොල් ග්‍රෑම් සියයක මිල රුපියල් 20ක් ලෙස දැක්වේ. ඈත අතීතයේ ගැමියන් තුළ ප්‍රකට කියමනක් වූයේ නිකම් නියඟයක් ආවත් බත් සමඟ පොල් සම්බෝල කා ජීවත් විය හැකිබවය. නමුත් අප කළ වෙළෙඳපොළ සංචාරයේදී මහජනතාව පැවසුවේ පොල් සම්බෝල සමඟ බත් කෑමට අදවනවිට රුපියල් 200ක් පමණ වැයවන බවය.

කිරිපිටි සමාගම්ද මේ වනවිට කිරිපිටි මිල වැඩි කිරීමට ඉල්ලීම් කර තිබේ. ආනයනික කිරිපිටි සඳහා කිලෝවකට රුපියල් 225ක බද්දක් රජය විසින් අයකරනු ලබයි. ඊට අමතරව ජාතික ගොඩ නැගීමේ බද්ද සියයට හතරකි. වරාය සහ ගුවන් තොටුපොළ බද්ද සියයට හතරහමාරකි. මේ සියල්ල අතරේ අමෙරිකානු ඩොලරයක මිල ලංකා ඉතිහාසයේ පළමු වරට රුපියල් 150 පසුකර තිබේ. මේ නිසා කිරිපිටි සමාගම්ද ඉක්මණින්ම මිල වැඩි කිරීමේ අපේක්ෂාවෙන් සිටී.

තිරිඟුපිටි මිල ඉහළයාම නිසා බේකරි නිෂ්පාදනද මේ වනවිට ඉහළ ගොස් ඇත. පෙතිකපන ලද විශේෂ පාන් සහ ක්ෂණික ආහාර වර්ගවල මිල මෙලෙස ඉහළ නංවා ඇත. බේකරි හිමියන් පවසන්නේ බේකරි නිෂ්පාදන වලට යොදා ගන්නා සියලු ද්‍රව්‍ය ජාතික ගොඩ නැගිමේ බද්ද ඉහළ යාමෙන් තමන්ට අමතර පිරිවැයක් දැරීමට සිදුවී ඇති බවය. මේ නිසා අවසානයේ මේ සියලු බර දරන්නට සිදුව ඇත්තේද පාරිභෝගිකයාටය. ලොව දියුණු රටවල ජීවන වියදම වැඩි වුවත් එම රටවල ජනතාවගේ ආදායම් තත්ත්වයද ඉහළ බැවින් එය ඒ රටවල ජනතාවට දරාගත හැකිය. නමුත් අද මෙරට පාරිභෝගික ජනතාව පවසන්නේ තමන්ට නිසි ආදායම් මාර්ග නොමැති බවය. අද වනවිට නව සංවර්ධන යෝජනා ක්‍රම පවා ඇනහිටීම නිසා ජනතාව අතර මුදල් සංසරණය කිරීමේදී අඩුවක් දක්නට ඇත.

සෑම උද්ඝෝෂණයකදිම පෙරමුණ ගන්නා සිවිල් සංවිධාන ජනතාවගේ මෙම ප්‍රධාන ප්‍රශ්න ගැන කතා නොකර නිහඬව සිටීම අද ජනතාවටද ප්‍රශ්නයක් වී ඇත. අපේ රටේ ජනතාවට රුකියා සපයන්නේ දේශීය ව්‍යාපාරිකයා බැවින් ඔවුන් රුකගෙන ඔවුන්ගේ නිෂ්පාදන පුළුල්කර නව රැකියා ඇතිකරන්නටත් භාණ්ඩවල සේවාමිල අඩුකරන්නටත් රජය නොපමාව පියවර ගැනීම අවශ්‍යය.

මෙලෙස රටේ පාරිභෝගික ජනතාවගේ ජීවන වියදම ඉහළ යාම ඕනෑම ආණ්ඩුවක් අසීරැ තත්ත්වයට අද දැමීමකි. පසුගිය රජයද ජනතාවගේ මේ ජීවන වියදම් ප්‍රශ්නයට විසඳුම් ලබානොදීම ඔවුන්ගේ පරාජයට එක් මූලික හේතුවක් විය. වර්තමාන රජයද හැකි විගසින් මෙම ජනතාවගේ ජීවන බර අඩු කිරීමට වහා ක්‍රියාමාර්ගයක් ගත යුතුය.

පාලන මිලක් නියම කළ පමණින් වෙළෙඳපොළෙහි අත්‍යශ්‍ය භාණ්ඩවල මිල අඩුවීමක් වන්නේ නැත. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල වැඩි මිලට බඩු අලෙවි කරන වෙළෙඳුන් සොයා අධිකරණයට ඉදිරිපත් කළ හැකිය. නමුත් කොළඹින් එපිටට යන විට මේ ප්‍රශ්නය වෙනස්ය. මේ මිල දර්ශක දැකගත හැක්කේද සුපිරි වෙළෙඳ සැල්තුළ පමණි. ගමේ සිල්ලර කඩයේ මෙලෙස හාල්, එළවළු, පොල්වලට මිල දර්ශක නොමැත. වෙළෙන්දා පවසන ආකාරයට ජනතාව ආහාර ද්‍රව්‍ය මිලදී ගත යුතුය. එසේ නොමැති වුවහොත් ජනතාවට සිදුවන්නේ කුසගින්නේ සිටීමටය. රජය කළ යුත්තේ ජනතාවගේ ජීවන බර අඩුකරලීමේ ක්‍රියාවලිය වචන හෝ බෝඩ් ලෑලිවලට සීමා නොකොට ප්‍රායෝගික විසඳුම් ලබාදීමය.

 හසිත් අංජන
සේයාරූ l සමන්ත ප්‍රදීප් විල්තෙර

වෙළෙඳපොළ සංචාරයකින් පසුව