2019 මාර්තු 30 වන සෙනසුරාදා

රටම අඳුරට දැමූ පවර් කට්එක

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:31 156

මහ දවල් පවා විදුලි බුබුළු දල්වමින් අනවශ්‍ය ලෙස විදුලිය පරිහරණය කරන රජයේ කාර්යාල, පෞද්ගලික ආයතන අපි කොතෙකුත් දැක ඇත්තෙමු. ඇතැම්විට මහා මාර්ගයන්හි සවිකර ඇති විදුලි බුබුළු ද රැයක් දවාලක් නැතිව දැල්වෙන අවස්ථා පවතී. එහෙත් රජයේ කාර්යාලයක හෝ වෙනත් ආයතනයක හෝ නිවෙසක විදුලි බලය මෙසේ අනවශ්‍ය ලෙස පරිහරණය කිරීමෙන් සිදුකෙරෙන්නේ මුළු දිවයිනේම අනාගතය කෙරෙහි අහිතකර බලපෑමකි.

විදුලිබල අර්බුදය දැනටමත් ඇරඹී ඇත. මේ වනවිට පවතින මෙම විදුලි අර්බුදය සඳහා කිසියම් විසඳුමක් නොගතහොත් ඉදිරි මාස කිහිපය තුළ රටට මහත් දුෂ්කරතා රැසකට මුහුණපෑමට සිදුවනු ඇත. මහජන උපයෝගීතා කොමිසමේ වාර්තාවලට අනුව සෑම වර්ෂයකම මෙරට තුළ මෙගාවොට් 150-200කින් විදුලි පරිභෝජනය වැඩි වේ. එයට හේතුව වී ඇත්තේ රටේ ආර්ථික වේගය වැඩි වීමයි. එම නිසා සෑම වර්ෂයකම විදුලි අවශ්‍යතාවය 5%කින් පමණ වැඩි වේ. එලෙස බැලූවිට සෑම වර්ෂයකම රටේ ආර්ථික වර්ධන වේගයට සාපේක්ෂව විදුලි පරිභෝජනය ඉහළ යාම සාමාන්‍ය සිදුවීමකි. දිවයිනේ විදුලිබල අවශ්‍යතාවය වැඩිදියුණු වූ අන්දම පිළිබඳ දශක කිහිපයක දත්ත විමසීමේදී ඒ බව පැහැදිලිව අවබෝධ කරගත හැකිය.
1939 දී දිවයිනේ උපරිම විදුලිබල අවශ්‍යතාවය වී තිබුණේ මෙගාවොට් 35කි. එසේම 1977 වර්ෂයේදී මෙගාවොට් 402ක්ද, 1980 දී මෙගාවොට් 422ක්ද, 1982 දී මෙගාවොට් 522ක්ද, 1985 දී මෙගාවොට් 949ක්ද, 1986 දී මෙගාවොට් 1065ක්ද, 1990 දී මෙගාවොට් 1208ක් සහ 2007 වර්ෂය වනවිට මෙගාවොට් 1758ක් ලෙස විදුලි ඉල්ලුම සියයට 7 සිට 10 දක්වා වැඩිවී තිබේ. එසේම ලංකා විදුලිබල මණ්ඩලයේ තක්සේරුවට අනුව ඉදිරි වසර 20 ඇතුළත මෙරට විදුලි ඉල්ලුම සියයට 7 සිට 10 දක්වා ප්‍රමාණයකින් ඉහළ යනු ඇත.

1950 සිට 1990 දක්වා දශක හතරක කාලය තුළ විදුලි උත්පාදනය කිසිදු අර්බුදයකින් තොරව පවත්වාගෙන යෑමට හැකිවූයේ ප්‍රමාණවත් ලෙස ජලවිදුලි බලාගාර පැවති නිසාය. එහෙත් ජලවිදුලි බලාගාරයක් ඉදිකර ක්‍රියාත්මක තත්ත්වයට පත්කිරීම සඳහා අවම වශයෙන් වසර 5ක පමණ කාලයක් ගතවුවත් ඉඩෝර සමයේදී ජලය සිඳී යාමෙන් අපේක්ෂිත විදුලි බලය නිපදවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් විදුලි හිඟයක් ඇතිවේ. මෙම විදුලි අර්බුදයේ පළමු ගැටලු සහගත තත්ත්වය ඇතිවූයේ මහවැලි විදුලි බලාගාරය නිර්මාණය කරන අවස්ථාවේදීය. එවකට රජයට විශේෂඥයන් ලබාදුන් උපදෙස වූයේ විදුලිබල මණ්ඩලයේ විදුලි පද්ධතිය යහපත් ලෙස ක්‍රියාත්මක වීම සඳහා ජලවිදුලි බලාගාර සහ ගල්අඟුරු විදුලි බලාගාර ඒකාබද්ධ විය යුතු බවයි. එයට හේතුව හේතුව වියළි කාලවලදී ජලාශවල ජලය සිඳී ගියහොත් ගල්අඟුරු බලාගාරවලින් එයට විසඳුම් සෙවීමට හැකි වීමයි.

මේ වනවිට ඇතිවී තිබෙන අධික විදුලි ඉල්ලුම හමුවේ ලංකා විදුලිබල මණ්ඩලවය විසින් රට පුරා විදුලිය කපා හැරීමේ කාලසටහනක් නිවේදනයට පත්කර තිබේ. එය මෙසේය.

ඉරිදා සහ අනෙකුත් රජයේ නිවාඩු දිනයන්හි විදුලිය විසන්ධි කිරීමක් නොමැත.

කොළඹට කපන්නෙ නෑ

රට පුරා සියලු ප්‍රදේශවල විදුලිය විසන්ධි කෙරුණද කොළඹ නගරයේ විදුලිය කැපීමක් සිදුනොවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. පෞද්ගලික ආයතන හා කර්මාන්තශාලාවල තිබෙන විදුලිජනන යන්ත්‍ර භාවිත කර විදුලිය ජනනය කරන්නැයි විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කර තිබෙන අතර එමගින් වොට් 50ක පමණ විදුලිජනනයක් සිදුවන බවද, එම නිසා කොළඹ නගරයේ විදුලිය කැපීමක් සිදුකිරීමට අවශ්‍ය නොවන බවද ලංවිම ප්‍රකාශකයෙක් පැවසීය. පෞද්ගලික විදුලිජනන යන්ත්‍ර ක්‍රියාත්මක කර විදුලිය ජනනය කරන ආයතනවලට ඒකකයට රුපියල් 36 බැගින් ගෙවීමටද ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කරයි.

දිවයිනේ මහා පරිමාණයේ විදුලි යෝජනා ක්‍රම ඇරැඹිය හැකි ජල සම්පත් 60%කටත් වඩා ඇත්තේ මහවැලි ගඟ ආශ්‍රිතවය. කැලණි ගඟ ආශ්‍රිතව ඉදිකළ හැකි විදුලි බලාගාරද 95%කට වඩා නිමකර ඇත. කුඩා විදුලිබල ව්‍යාපෘති 90ක් පමණ මේ වනවිට ක්‍රියාත්මක මට්ටමේ පවතී. ඉන් මෙගාවොට් 200ක් පමණ ලැබේ. මීට අමතරව වතු ආශ්‍රිතව කුඩා ජල ව්‍යාපෘති 40ක් පමණ ගණන් බලා ඇත. එහි ධාරිතාව මෙගාවොට් 1ට වැඩි නොවේ. මෙලෙස බැලූවිට ජලවිදුලිය පැත්තෙන් ඊට වඩා යමක් බලාපොරොත්තු විය නොහැක.

කෙසේ වෙතත් මෙම විදුලිබල අර්බුදය සඳහා මූලිකම හේතුව වනුයේ වසරින් වසර ඉදිරිපත් කරනු ලබන එකදු සැලැස්මක් හෝ නියමාකාරයෙන් ක්‍රියාත්මක නොකිරීම බව විදුලි ඉංජිනේරැවන්ගේ මතය වී තිබේ.

අප දුන් සැලැස්මට වැඩ කළා නම් මේ අර්බුදය නෑ
මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ

“මහජන උපයෝගීතා කොමිසම විදියට අපි 2017 ජූලි මාසයේ 19 වැනිදා 2018-2037 යන වසර 20 සඳහා අවශ්‍ය විදුලි බලාගාර ඉදිකිරීමේ ජනන සැලැසුමක් අනුමත කළා. ඒ ජනතා සැලැසුමේ වැඩිපුරම තියෙන්නෙ ස්වාභාවික බලශක්තිය උපයෝගී කරගෙන විදුලිය නිපදවිය හැකි බලාගාරයි. ඒ කියන්නෙ සූර්ය ශක්තිය, සුළං බලාගාර වගේ ඒවා. ඒ සැලැසුමට අනුව බලාගාර ඉදිකළා නම් ලංකාවේ විදුලිබල අර්බුදයක් ඇතිවෙන්නෙ නැහැ. මේ සැලසුම් අනුමත කිරීමේදී මහජන උපයෝගීතා කොමිසම මහජනතාවගෙන්, රාජ්‍ය නිලධාරීන්ගෙන් මෙන්ම ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගෙන් පවා අදහස් විමසුවා. මේ සැලැසුමට අනුව පසුගිය 2018 වර්ෂය තුළ මෙගාවොට් 480ක විදුලි බලාගාර පද්ධතියකට අනුමැතිය හිමිවෙලා තිබෙනවා. මේ වසර වනවිට මෙගාවොට් 450ක නව විදුලි බලාගාර ඉදිවෙන්න ඕන. ඒ බලාගාර හදන එක විදුලිබල මණ්ඩලයේ වගකීමක්. අපි අනුමත කළ සැලසුම් අනුව 2021 සිට 2026 දක්වා ස්වාභාවික වායු විදුලි බලාගාරයක් හදන්න වැඩ ආරම්භ කරලා තියෙනවා. ඒ බලාගාරය හැදුවොත් 2026 දී ජාතික විදුලි සැපයුමට මෙගාවොට් 1350ක් එකතු වෙනවා. ඒත් විදුලිබල අර්බුදය ඇතිවෙලා තියෙන්නෙ 2017, 2018 සහ 2019 යන වසර තුළ වැඩ නිමවිය යුතු විදුලි බලාගාර හදපු නැති නිසා. අපි 2015 වසරේදී බලාගාර 21ක් සඳහා අනුමැතිය ලබා දුන්නා. ඒවා 2020 වනවිට අවසන් වෙන්න ඕන. ඒත් ඒවා ඉදිවුණේ නැති නිසා තමයි මේ ගැටලු ඇතිවෙලා තියෙන්නෙ. මේ තත්ත්වය දිගටම පැවතියහොත් ඉදිරියේදී පෞද්ගලික අංශයෙන් විදුලි මිලදී ගැනීමක් වෙනුවෙන් රජයට රුපියල් බිලියන 50.62ක් පමණ වැයවන බව අපි ඇස්තමේන්තු කරලා තියෙනවා.”

ලංවිමට වසර 50යි: නිශ්චිත වැඩපිළිවෙළක් තවම නෑ
ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල්

“මේ පෑවිල්ල ස්වාභාවික දෙයක් තමයි. නමුත් විදුලිබල මණ්ඩලයට අවබෝධයක් තිබිය යුතුයි පායන කාලය මොකක්ද? වහින කාලය මොකක්ද? සුළං හමන දිශාව මොකක්ද? යනුවෙන්. මොකද, මේ විදියට නියං තත්ත්වයක් රටට එනවිට ඒකට විසඳුමක් ලෙස බලශක්තිය විසන්ධි නොකර පවත්වා ගැනීමේ ක්‍රියා පටිපාටියක් රජයට තිබිය යුතුයි. යම් හෙයකින් පෞද්ගලික අංශයෙන් විදුලි මිලදී ගැනීමක් සිදුකළහොත් ඒකෙන් සිදුවන පාඩුව පියවා ගැනීමට සිදුවෙන්නෙත් මේ මහජනතාවගෙන්. එහෙම නැත්නම් විදුලි පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයන්ගෙන්. දැන් පසුගිය නියං සමයන්වලදී මේ රජයන් කියපු දෙයක් තමයි “කැබිනට් මණ්ඩල හමුවේදී විදුලි බලය වෙනුවෙන් විශාල මුදලක් වැය කළා. නැවත රට අඳුරේ තබන්නේ නැහැ. විදුලි පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කරන්නේ නැහැ” කියලා. නමුත් මේ වෙනකොටත් පසුගිය දින කිහිපය පුරාවටම මණ්ඩලය කිසිදු දැනුම් දීමකින් තොරව විදුලිය කප්පාදු කරනවා. මෙම වසරේදී විදුලිබල මණ්ඩලයට වසර 50ක් සම්පූර්ණ වෙනවා. නමුත් තවමත් නිශ්චිත වැඩපිළිවෙළක් මණ්ඩලය සතුව නැහැ, මෙවැනි නියං කාලයන් තුළදී විදුලිය විසන්ධි කිරීමකින් තොරව ජනතාවට විදුලිය ලබාදිය හැකි ආකාරයක් පිළිබඳව. ඇත්තටම මෙලෙස සේවාව සපයා ගැනීමට නොහැකි නම් විදුලිබල මණ්ඩලය මේ පිළිබඳ ඉක්මන් තීරණයක් ගත යුතුයි.”

දැනුම් නොදී විදුලිය කැපීම වැරදියි
ආයතනික සන්නිවේදන - මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජයනාත් හේරත්

“ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කරන්නේ ලංකා විදුලිබල මණ්ඩලයට නිකුත් කරලා තියෙන බලපත්‍ර අනුව. මෙලෙස විදුලිය බිඳවැටීම්වලදී හදිසි විදුලිබල බිඳවැටීමක් හැර නඩත්තු කටයුත්තක් කරනවා නම් හෝ විදුලිය විසන්ධි කරනවා නම් එය ජනතාවට දැනුම් දිය යුතුයි. ඒ වගේම එලෙස දිගුකාලීනව විදුලිය විසන්ධි කරනවා නම් එය මහජන උපයෝගීතා කොමිසමට දැන්විය යුතු වෙනවා. ඒක තමයි නීතිය. මෙලෙස විදුලිය විසන්ධි කරන විට පාරිභෝගිකයා දැනුවත් කළ යුතුයි. මොකද, ජනතාවට මෙවැනි අවස්ථාවලදී කල් තියා සූදානම් වීමට. එසේ නැතිවන විට බොහෝ ජනතාවට මෙම විදුලි බිඳවැටීම්වලදී නිසි ආකාරයෙන් සූදානම් වීමට හැකිවන්නේ නැහැ. ඒ වගේම තමයි මෙම මස 18 වැනිදා සිට සිදුවූ විදුලි අත්හිටුවීම් කළ ආකාරය පිළිබඳ සෑහීමකට පත්වෙන්න බැහැ. ඒ නිසාම පසුගිය 25 වැනිදා මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දුන්නා නිවේදනයක් මගින් එලෙස විදුලිය විසන්ධි කිරීමෙන් යම් අපහසුතාවයකට මුහුණදුන්නා නම් ඒ පිළිබඳ දැනුම් දෙන්න කියලා.”

ජලාශ ජල මට්ටම් බැහැලා: ඉල්ලුම වැඩිවෙලා
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති - එම්. ගුණවර්ධන

“අධික විදුලි ඉල්ලුම හමුවේ විදුලිය ලබාදීමට නොහැකි නිසා දිනකට පැය 04ක කාලයක් විදුලිය අත්හිටුවීමට පසුගිය 25 වැනිදා සිට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව දහවල් කාලයට පැය 03ක් සහ රාත්‍රී කාලයට පැයක් ලෙසින් විදුලිය විසන්ධි කිරීමක් සිදුකෙරෙනවා. ඉරිදා සහ අනෙකුත් රජයේ නිවාඩු දිනයන්හි මෙලෙස විදුලිය අත්හිටුවීමක් සිදුකරනු ලබන්නේ නැහැ. විදුලි බලය නිෂ්පාදනය කෙරෙන ජලාශවල ජල මට්ටම 40% දක්වා අඩුව පැවතීමත් නොරොච්චෝල තාප විදුලි බලාගාරයේ විදුලි නිෂ්පාදනය මෙගාවොට් 800ක් දක්වා පහත වැටීමත් නිසා තමයි මේ ආකාරයෙන් විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කළේ. මේ තත්ත්වය හැකි ඉක්මණින් යථා තත්ත්වයට පත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”

දවස් 71න් කොහොමද ප්‍රශ්න විසඳන්නේ
ඇමැති රවි කරුණානායක

විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගියදා උතුරු කොළඹ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් විදුලි බලය අත්හිටුවීම පිළිබඳ මාධ්‍යයට කරුණු පැහැදිලි කළේ මෙසේය.

“පවතින අධික උෂ්ණත්වය මත විදුලි ඉල්ලුම 15%කින් වැඩිවෙලා. එමෙන්ම බලාගාරයන්හි දෝෂ සහගත තත්ත්වය නිසා යම් අභියෝගාත්මක වකවානුවකට විදුලි ක්ෂේත්‍රය පත්වෙලා තියෙනවා. අප්‍රේල් මැද වෙද්දී මේ තත්ත්වය සමනය වෙයි. අපි තාවකාලික නව ජනන සැලැස්මකට යනවා. තමන් විදුලිය අරපිරිමැස්මෙන් පරිහරණය කරනවා නම් විදුලි කප්පාදුවකට නොයා ඉන්න පුළුවන්. සමහරු අහනවා විදුලිය කප්පාපු කිරීමේදී ඇයි කියන්නෙ නැත්තේ කියලා. අමාත්‍යාංශයක් බාර අරගෙන දින 71කින් ඒ අමාත්‍යාංශයේ ඇතිවන ගැටලුවලට කොහොමද පිළියම් හොයන්නේ? මේ පාරත් මට ලැබුණේ යටිතල පහසුකම් අතින් අමාරැම අමාත්‍යාංශයක්. නමුත් මාස 02ක් 03ක් ඇතුළත ශක්තිමත් අඩිතාලමක් මත කටයුතු කරලා තවත් අමාත්‍යවරයකුට මේ වගේ ප්‍රශ්න කවදාවත් ඇතිනොවන විදියට කටයුතු කරනවා. ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීලා නැහැ මේ තාක් කාලයකට. දැන් තමයි අපි ඒ තත්ත්වය ගොඩනගාගෙන යන්නෙ. නමුත් අපි හදිසි විදුලිය මිලදී ගැනීමකට යන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඊට වඩා යෝග්‍ය දීර්ඝ ජනතා සැලැස්මකයි අපි යන්නේ.”

ඉක්මනින් වැස්සොත් ප්‍රශ්නය විසඳේවි
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු

“මේ වනවිට මෙරටට දැඩි නියං තත්ත්වයක් තියෙනවා කියලා අපි කවුරුත් දන්නවා. මේ පෑවිල්ලත් සමඟ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම පහත වැටී තිබෙනවා. ඒ වගේම තමයි ජල මට්ටම ඉහළ යනතුරු වරින්වර රට පුරා මෙලෙසින් විදුලිය විසන්ධි කිරීමට සිදුවෙනවා. මේ පිළිබඳව අපි පසුගියදා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා හරහා විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දීමක් සිදුකළා. මේ වෙනකොට විදුලිබල මණ්ඩලය විසින් විදුලි බලය අත්හිටුවීම පිළිබඳව, එම වේලාව පිළිබඳව දැනුම් දීමක් මහජනතාව වෙත නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. හැකි ඉක්මණින් වර්ෂාව ලැබුණොත් මෙම තත්ත්වය ඉක්මණින්ම විසඳා ගැනීමට හැකියාවක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා.”

 සටහන:- හසිත් අංජන

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00