2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

ලේ බැලිල්ල

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 147

මේ දිනවල අප නිවස ඉදිරිපස තාර පාර පළල් කිරීමේ වැඩ සිදුකෙරෙයි. ගමේ කීපදෙනෙක් ද අනියම් කම්කරුවන් ලෙසින් එහි සේවය කරති. ඉන් කෙනකු වන සූරපාල, පසුගිය දිනෙක මහත් කලබලයෙන් මෙන් මා හමුවීමට ආවේය.

පාරේ වැඩ කරන මිනිස්සුන්ගෙ ලේ පරීක්ෂා කරන්ඩ යනවා කියන්නෙ ඇත්තක්ද සර්?

“ඔව්, එහෙම ආරංචියක් තියෙනවා. ඒත් ඒ සූරපාලලගෙ නෙවෙයි. අධිවේගී මාර්ගවල වැඩ කරන්න ඇවිත් ඉන්න පිටරට උදවියගෙ. ඒගොල්ලො බෝවෙන රෝග අරන් ඇවිත් ඉන්නවද කියල පරීක්ෂා කරන්නයි යන්නෙ.”

ඒක මිසක්.*

සූරපාල සැනසුම් සුසුමක් හෙළුවේය.

“අනික් අතට සර්, අපේ එවුන්ගෙ ඇඟවල්වල බාගෙට බාගයක් තියෙන්නෙ ලේ නෙවෙයි ඇල්කොහොල්නෙ.”

සූරපාල සිනාසුණේය.

“සූරපාලත් බයවුණේ ඒ නිසාද?”

“අනේ නෑ සර්... මම නෑ ඒවට. මම බයවුණේ මගෙ ඇඟේ තියෙන ලෙඩ රෝග අහුවෙලා, මගෙ ජොබ් එක ගහලා යයිද කියලා. මගෙ ලෙඩ නං බෝවෙන ජාතියෙ ඒවා නෙවෙයි, පරම්පරාවෙන් එන ඒවා.”

“එහෙම බැලුවොත් අපි කවුරැත් ලෙඩ්ඩු තමයි සුරේ,”

සූරපාල මට ස්තූති කොට යන්නට ගියේය.

අධිවේගී මාර්ගයන්හි සේවයට එන විදේශිකයන්ගේ රුධිර පරීක්ෂාවක් කළ යුතුය යන තීරණය ගෙන ඇත්තේ සෞඛ්‍ය ඇමැතිවරයා විසිනි. එය ඉතා හොඳ අදහසක් වන්නේ, මෙරටට ගෙන්වන හාල් ඇටයේ, අර්තාපල් ගෙඩියේ පවා මිනිස් සිරුරට අහිතකර වස විස තිබෙන බවට සැක පහළ වී ඇති බැවිනි.

රුධිර පරීක්ෂණ පිළිබඳව මා අසා ඇති සිනා කතාවක්, මේ මොහොතේ මතකයට නැඟෙයි.

මානසික රෝහලක සිටින රෝගීන් දෙදෙනෙක් පරීක්ෂණයක් සඳහා යොමු කරනු ලැබූහ. එක් රෝගියෙක් එක්වරම හඬන්නට ගත්තේය. ඔහු අසල සිටි උපස්ථායකයා මෙසේ ඇසුවේය.

“මොකද තමුසෙ මේ අඬන්නෙ?”

“මගේ ලේ පරීක්ෂා කරන්නය කියලා, ඇඟිල්ලක් කපන්න යනවා.”

ඒ ඇසූ අනෙක් රෝගියා ද මහ හඬින් හඬන්නට ගත්තේය.

“ඒ පාර තමුසෙ මොකද මේ අඬන්නෙ?”

උපස්ථායකයා ඇසීය.

“මාව ගෙනාවෙ මුත්‍රා පරීක්ෂාවකට!”

රෝගියා, බියේ ගැහෙමින් කීවේය.

හැම බැම්මකටම වඩා ලේ බැම්ම් ශක්තිමත් යැයි කියමනක් ඇත. ලේ නෑයන්ට මුල්තැන දීම හැම සංස්කෘතියකම දක්නට ලැබෙන ලක්ෂණයකි. දැන් එය දේශපාලන සංස්කෘතියට පවා බෝ වී තිබේ. බොහෝ ඇමැතිවරුන්ගේ ලේකම් ලේ නෑයෙකි.

නිකං රිලේෂන්ස්ලාට වඩා බ්ලඩ් රිලේෂන්ස්ලා ලොකුවන අතරම, “බ්ලඩ් ඊස් තිකර් දෑන් වෝටර්” (Blood is thicker than water) යනුවෙන් ප්‍රකට කියමනක් ද ඇත්තේ එහෙයිනි.

ලංකාව, ඉන්දියාව වැනි රටවල, නෑදෑයන්ට යාන වාහන, ඉඩකඩම්, කොන්ත්‍රාත් හා රැකියාවන් ලබාදීමට යාම නිසා, හිරේ විලංගුවේ වැටුණු දේශපාලනඥයන්ද බොහෝය. සමහරු මෙය ඥාති සංග්‍රහය ලෙසින් නම් කරති. තවත් සමහර දේශපාලනඥයන් “ෆැමිලි ට්‍රී” (Family Tree) වගා කරනා බවටද චෝදනා නැඟේ. එහෙත් මෙතනදී සිදුවන්නේ, රටට ජාතියට වඩා නෑදෑකම් ලොකු කර ගැනීම බව අප තේරුම් ගත යුතුය.

පුතාට රජකම දීම, රජාගේ සිරිතය. පුතාට ඒ සඳහා තිබිය යුතු උරුමය, ලේ උරුමයම පමණි.
රජා ප්‍රමාද වන විට, පුතා රජා මරාදමා උරැමය ලබාගැනීම ඉතිහාසය පුරාවට දක්නට ලැබෙන සිරිතකි. සහෝදරවරුන් සම්බන්ධයෙන්ද මෙය පොදුය. ඔවුන්ටද ඇත්තේ එකම ලෙයින් උපදින සහෝදර කැක්කුමය.

උදේ අවදි වූ මොහොතේ සිටම ලේ පිච්චෙමින්, ලේ වතුර වෙමින්, ලේ කැකෑරෙමින් දවස ගෙවන ජනතාවක් වෙසෙන මේ රටේ තරම් ලේපරිත්‍යාගශීලීන් ලෝකයේ වෙනත් කිසිම රටක දක්නට නොවීම ද පුදුමයට කාරණයකි.

ඉන්දියාව වැනි රටවල, තමන්ගේ ලේ විකිණීම සුලබව කෙරෙන්නකි. පෞද්ගලික රෝහල් අසල සිටින තැරුව්කරුවෝ, ලේ පයින්ටුවකට වැඩි මිලක් ලබාදීමට ඉදිරිපත් වෙති. ඉන් ඔවුනට කොමිස් මුදලක් ලැබෙයි. ලේ මාපිලුන් හා මේ තැරුව්කාර “මිනිසුන්” අතර ඇති වෙනස එපමණකි.

ඉන්දියාවේ සිනමා ශාලා අසල දක්නට ලැබෙන දිගු පෝලිම්වල සිටින චිත්‍රපටලෝලීන් නිතර සිහි නැතිව වැටීම පිළිබඳව කළ පරීක්ෂණයකදී හෙළිදරව් වූයේ, ඔවුන් චිත්‍රපටය නැරඹීමේ ආශාවෙන්, ලේ විකුණා එන අය බවය! එබඳු සිනමා රසිකයන්ද ලොව කොහේවත් නැත.

ශ්‍රී ලංකාවේ නම් ලේ දෙන්නේද පිනටය. “ලේ බැංකුවක්” තිබුණද කිසිවකුත් ඉන් පොලී බලාපොරොත්තු නොවෙති. ලේ බැංකුව රාජ්‍ය බැංකුවක් ලෙසද නොසැළකෙන බැවින්, එයට මහ බැංකුව හෝ මහා භාණ්ඩාගාරය සමඟ ඇයි හොඳයියක් නැත. ලේ බැංකු සේවකයෝ වැඩි පඩි හෝ වැඩි ලේ ඉල්ලා සටන් නොකරති. ලෙයට ලෙයක් නොඉල්ලති.
රටේ තිබෙන අනෙක් බැංකු රැකියාවලට යාමට තරම් තරගයක්, ලේ බැංකුවට යාමට ඇත්තේ ද නැත. (තරුණ පරපුර අතර එය ජනප්‍රිය බැංකුවක් නොවන බැවිනි.)

මෑතකදී පැවති නව නිපැයුම් තරගයක් සඳහා, තරුණ ඉංජිනේරුවෙක් අමුතුම යන්ත්‍රයක් ඉදිරිපත් කළේය. එයට ලේ සාම්පලයක් ඇතුල් කළ විට, එම පුද්ගලයාගේ ලේ වර්ගය, වයස, රැකියාව, විවාහක අවිවාහක භාවය වැනි කරුණු අනාවරණය කරගත හැකිය.

කර්මාන්ත ප්‍රදර්ශනයක් විවෘත කිරීමට පැමිණි නවක ඇමැතිවරයකුට, ඉහත කී පරීක්ෂණ යන්ත්‍රය ගැන ලොකු උනන්දුවක් ඇතිවිය. ඔහු තම ලේ සාම්පලයක් ලබා දී වාර්තාවක් ඉල්ලීය.

වාර්තාවේ බොහෝ කරුණු නිවැරදි වුවත්, ලේ වර්ගය වෙනස් බව ඇමැතිට පෙනුණි.

“මගේ බ්ලඩ් ග_ප් එක ඕ පොසිටිව්නෙ. මොකද මේ “ඩී” කියල වැටිලා තියෙන්නෙ?”

“ඔබතුමා පාර්ලිමේන්තුවට යන්න කලින් ඕ පොසිටිව් වෙන්නැති ඒත් දැන් “ඩී” ග_ප් එකට වැටිලා.”

“ඒ මොකද?”

“ඩී කියන්නෙ ඩ්‍රැකියුලා! ජනතාවගෙ ලෙයින් යැපෙන කාණ්ඩය.”

කපිල කුමාර කාලිංග 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00