2019 මාර්තු 23 වන සෙනසුරාදා

කෝටියක කේ.ජී. ඇල්ලූ නාවික හමුදාවේ වෙරළ මෙහෙයුම

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:31 120

ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු නාවික විධානයට අනුයුක්ත උසස් නිලධාරියකුට ඉහත තොරතුරු ලබා දී තිබුණේ හිතවත් ඔත්තුකරුවකු විසිනි. නාවික හමුදාවට ලද තොරතුරු සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ද දැනුම්වත් කර තිබුණි. මාර්තු 17 වැනිදා අලුයම සිදුවනවා යැයි කී සිද්ධියේ තොරතුරු නාවික හමුදාව වෙත ලැබී තිබුණේ ඊට පෙර දින එනම් පැය කීපයකට පෙරාතුව 16 වැනිදාය.

අදාළ ප්‍රදේශයේ එළිමහන් මාර්ගයත් ජනාවාසයත් නිසා ආරක්ෂක අංශ නිලධාරීන්ට රහසිගත වැටලීමක නිරත වීම අසීරුය. ප්‍රදේශය පිළිබඳ මනා අවබෝධයකින් මෙන්ම ඔවුන්ගේ තොරතුරුකරුවන් ද ගැවසෙන ස්ථානයක වැටලීම සූක්ෂමව සිදුකළ යුතුය. මේ නිසා නාවික හමුදා විශේෂ බලගණය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිලධාරීහුද සමඟ සූදානම්ව සිටියහ. ප්‍රදේශවාසීන්ට හෝ නොදැනෙන අයුරින් ආවේෂණ රාජකාරියේ නිරතව සිටි නිලධාරීහු 17 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තික්කම් වෙරළ තීරයේ රැකවලලා සිටියහ.

එදින අලුයම 3.00ට පමණ වෙරළ තීරයට පැමිණි යාත්‍රාවක් පාර්සල් කීපයක් විසිකර දමා එසැණින් පිටත්ව ගොස් තිබුණි. එම පාර්සල් බාර ගැනීම සඳහා පැමිණි දෙදෙනකු අත්අඩංගුවට ගනු ලැබුවේ ඉන් අනතුරුවය. තික්කම් වෙරළ ඔස්සේ ධීවර රැකියාව සඳහා පිටත්ව යාමට පැමිණි ධීවර කාර්මිකයෝ රාශියක් මේ අවස්ථාවේ වෙරළේ රැඳී සිටියහ. ඔවුන් නාවික හමුදා නිලධාරීන් සිදුකළ වැටලීම දෙස බලා සිටි අතර ඒ සමඟ තොරතුරු ප්‍රදේශය පුරා ව්‍යාප්ත වී තිබිණ.

අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රථමයෙන් නාවික හමුදා කඳවුරට රැගෙන ගොස් පොලිස් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන අතරතුර මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිලධාරීන් පාර්සල පරික්ෂා කර එහි කේරළ ගංජා ඇති බවට අනාවරණය කරගෙන තිබුණි.

එහිදී නිලධාරීන් හඳුනාගෙන තිබුණේ පාර්සල් තොගයේ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 91ක් ග්‍රෑම් 561ක් ඇති බවය. එහි වටිනාකම රුපියල් එක්කෝටි තිස්තුන් ලක්ෂය ඉක්මවන බවද නිලධාරීහු අවධාරණය කළහ.


පළමුව අත්අඩංගුවට ගත් පුද්ගලයා 47 හැවිරිදිය. ඔහු ගංජා තොගය රට පුරා බෙදා හැරීමට සූදානමින් සිට ඇත. ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබුණේ ගංජා තොගය ඉන්දියාවේ සිට බෝට්ටුවක ආධාරයෙන් ගෙන්වාගෙන ඇති බවය. ඒ වනවිටත් කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු ගම්වාසීන්ට ආරංචි වී තිබූ බැවින් ප්‍රදේශවාසීන් ඒ පිළිබඳ සෝදිසි කර ඇත. එහිදී ඔවුනට ලද තොරතුරු මත පුද්ගලයකු තමන්ගේ ග්‍රහණයට හසුකරගෙන තිබුණු අතර ඔහු 60 හැවිරිදි අයෙකි.

පේදුරුතුඩුව තික්කම් ප්‍රදේශයේදී ගම්වාසීන් අල්ලාගනු ලැබූ පුද්ගලයා විදුලි කණුවක ගැටගැසූ පිරිස ඒ බව උතුරු නාවික විධානයේ නිලධාරීන්ට දැනුම් දී ඇත. ඒ අනුව නාවික හමුදාව සහ පොලීසිය එම ස්ථානයට යනවිටත් ප්‍රදේශවාසීන් සැකකරුගෙන් ප්‍රශ්න කරමින් සිට ඇත.

“ඒගොල්ල කාටහරි දෙන්න කියලා කියනවා. ඒ නිසා අපි ගිහින් දෙනවා. නන්දන් එක්ක එකතු වෙලා තමයි කරන්නේ. ඉන්දියාවෙන් ඩීල් එක කරන්නේ මම. ගෙනාපු බෝට්ටුවනම් ගුණේගෙ යාලුවෙක්ගේ”

ආදී තොරතුරු සැකකරු ගම්මුන් හමුවේ ප්‍රකාශ කර තිබිණි. අනතුරුව පොලීසියේ අත්අඩංගුවට පත්වූ සැකකරු ප්‍රදේශයේ ධීවරයෙක් බවට අනාවරණය විය. සිද්ධිය සම්බන්ධයෙන් පේදුරැතුඩුව පොලීසිය මගින් වැඩිදුර විමර්ශනය ක්‍රියාත්මකය.

මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළට නාවික හමුදාව ද සක්‍රීයව දායක වී සිටියි. මෙම වැටලීමත් එවැනි සාර්ථක එකකි. එම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ පිළිබඳ දැනුම්වත්ව සිටින ජනතාව අතරින් ඉදිරිපත් වූ පිරිසක් මෙසේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහාය වීම හා තොරතුරු ලබාදීම පිළිබඳව නාවික හමුදාව සිය ස්තූතිය පළකරයි.

උතුරු නාවික විධානයේ නිලධාරීන් සමඟ මුලකොවිල් පොලීසිය හා කිලිනොච්චිය ආහාර ඖෂධ පාලන මණ්ඩලයේ නිලධාරීන් ඒකාබද්ධ සිදුකළ වැටලීමකදී මත්පෙති 168ක් සමඟ සැකකරුවෙක් 17 වැනිදා දිනයේම අත්අඩංගුවට ගනු ලැබීය. එදිනම උතුරු නාවික විධානයේ නිලධාරීන් පිරිසක් අධියකච්චි ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී ගංජා කිලෝ 10කට වැඩි ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර දකුණු නාවික විධානයේ නිලධාරීන් පිරිසක් වැලිගම විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව වැලිගම - වල්ගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ගංජා ග්‍රෑම් 440ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සමත්ව සිටියේය. 

මේ ආකාරයට 2019 වර්ෂයේ මේ දක්වා නාවික හමුදාව මගින් සිදුකළ වැටලීම්වලදී කේරළ ගංජා කිලෝ 770කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරැ සූරියබණ්ඩාර පැවසීය.

►සමන්ත ප්‍රදීප් විල්තෙර
සේයාරූ - නාවික හමුදා මාධ්‍ය ඒකකය

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00