2019 මාර්තු 23 වන සෙනසුරාදා

ලෝක උරුමයට යන ත්‍රිපිටකය

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 251

ශ්‍රී ලංකාවේ තැන් තැන්වල බෞද්ධ කොඩි රැගත් පෙරහර, පිණ්ඩපාත චාරිකා යන අන්දම පසුගිය දිනවල දැකගත හැකිවිය. සුපිරිසිදු ථෙරවාදී දහම ආරක්ෂා වී පවතින එකම රටේ හිටිගමන් බෞද්ධ ප්‍රබෝධයක් පැන නැගුණේ ඇයි? පසුගිය ජනවාරි 5 දා ජනාධිපතිවරයා විසින් ජාතික උරැමයක් ලෙස ප්‍රකාශයට පත් කළ ත්‍රිපිටකය ලෝක උරැමයක් වශයෙන් ප්‍රකාශ කිරීමට යුනෙස්කෝ සංවිධානය දැනුවත් කිරීමට එම ආගමික වැඩසටහන් පැවැත්වෙන බව පැවසේ.

මේ වනවිට ශ්‍රී ලංකාවේ යුනෙස්කෝ ලෝක උරුම 8ක් පවතී. පුරාණ පොළොන්නරුව නගරය (1982), සීගිරිය (1982), දඹුල්ල ලෙන් විහාරය (1991), ගාලු කොටුව (1988), අනුරාධපුර නටබුන් නගරය (1982), මහනුවර පූජනීය නගරය (1988), මධ්‍යම කඳුකරය (2010), සිංහරාජ වනාන්තරය (1988) ආදී වශයෙනි. මේ අතරින් මුලින්ම සඳහන් කළ ස්ථාන හය සංස්කෘතික ලෝක උරුම වශයෙන්ද මධ්‍යම කඳුකරය සහ සිංහරාජය ස්වභාවික ලෝක උරුම වශයෙන් ද නම්කර තිබේ.

ඉහත ප්‍රකාශිත ලෝක උරුමවලට අමතරව සේරුවිල මංගල රජමහා විහාරය සහ සේරැවිල සිට ශ්‍රී පාදයට මහවැලි ඉවුර දිගේ පැවති වන්දනා මාර්ගය ද ලෝක උරුම පොරොත්තු ලේඛනයට ඇතුළත් කර තිබේ. රටේ මහ උත්සව පවත්වා විශාල මුදලක් වැය කළද ත්‍රිපිටකය තවමත් යුනෙස්කෝ ලෝක උරුම පොරොත්තු ලේඛනයේ (Tentative List) වත් නැත.  ලෝක උරුම වශයෙන් නම් කළ යුතු ස්ථාන යුනෙස්කෝ ලෝක උරුම මධ්‍යස්ථානයට යෝජනා කළ පසු ඒවා ගැන සලකා බලා පොරොත්තු ලේඛනයට මුලින්ම ඇතුළත් කිරීම සිදුවේ. ලෝක උරුමයක් ලෙස ප්‍රකාශ කරන්නේ තවදුරටත් සලකා බැලීමෙන් අනතුරුවය.


ඒ නිසා රට පුරා පිංකම් පැවැත්වූවාටනම් ඒවා ලෝක උරුම බවට පත්වේදැයි සිතිය නොහැකිය. මක්නිසාද යත් යුනෙස්කෝ සංවිධානය සලකා බලන්නේ අදාළ උරුමයේ විශ්වීය වශයෙන් ලෝක ප්‍රජාවට ඇති වටිනාකම මිස රට තුළ පවත්වන පිංකම් නොවේ.

කෙසේ වුවත් පාලි ත්‍රිපිටකය අප සතු විශිෂ්ට ජාතික උරුමයක් බව නම් සත්‍යයකි. ඒ නිසා එය ලෝක උරුමයක් විය යුතු බවද සැබෑවකි. එහෙත් එයට දේශපාලනමය ක්‍රියාවලියක් ඈදා ගැනීම නම් අනුමත කළ නොහැකිය.

බුදුන් වහන්සේ අංගුත්තර නිකායේ සඳහන් කර ඇත්තේ “මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හා විනය විවෘත වූයේ බබලයි. වැසුණේ නොබබලයි” යනුවෙනි. ත්‍රිපිටකයේ අසූහාර දහසක් ධර්මස්කන්ධය ඇතුළත් බව බෞද්ධ ප්‍රජාව විසින් සැලකේ.

බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රථම ධර්ම සංගායනාවේදී ආනන්ද මහරහතන් වහන්සේ ඇතුළු පන්සියයක් මහ රහතන් වහන්සේලා සංගායනා කරන්නට යෙදුණු ධර්මය එලෙස ත්‍රිපිටකය ලෙස හැඳින්වේ.

බුද්ධ පරිනිර්වාණයෙන් ශත වර්ෂ කීපයකට පසු ත්‍රිපිටකය පාලි භාෂාවෙන් ලියැවී ලංකාවේ හා ගිනිකොණදිග ආසියාවේ ප්‍රමුඛත්වය ඉසිලීය. එතෙක් මුඛ පරම්පරාගතව පැවති පාලි ත්‍රිපිටකය ග්‍රන්ථාරෑඪ කළේ වලගම්බා රජු දවස මාතලේ අළු විහාරයේදී බව පිළිගැනේ. ත්‍රිපිටකය පුස්කොළ පොත්වල ලියැවී පැවැති අතර 1950 දශකයේදී බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ග්‍රන්ථ මාලාව මගින් එම කෘති පෙළ සිංහල පරිවර්තනය ද සහිතව මුද්‍රණය කෙරිණි. එයට පොත් 57ක් අඩංගු වේ. විනය පිටකයට පොත් 9ක් ද, සූත්‍ර පිටකයට පොත් 35ක් ද අභිධර්ම පිටකයට පොත් 13ක් ද වශයෙනි. අද දක්වා භාවිත කෙරෙන්නේ මෙම කෘති මාලාවයි.


ත්‍රිපිටකය අස්පර්ශ්‍ය උරුම ගණයට අයත් වේ. එනම් ස්පර්ශ කළ නොහැකි සංස්කෘතික උරුමයක් වශයෙනි. එවැනි උරුම 504ක් මේ වනවිට යුනෙස්කෝ ලෝක උරුම බවට පත්ව තිබේ. ඉන්දියාවේ ලඩාක්හි බෞද්ධ ගායනා, යෝග, කුම්භ මේලා සිරිත් ඒ අතරින් කිහිපයකි.

රජය මාර්තු 16 – 23 දක්වා කාලය තුළ ත්‍රිපිටකාභිවන්දනා සතියක් ප්‍රකාශයට පත් කළ අතර එම කාලය තුළදී නිවෙස්වල හා කාර්යාලවල බෞද්ධ කොඩි එසවීම, විහාරස්ථානවල ශබ්ද පූජා, පිංකම්, පිණ්ඩපාත චාරිකා, දහම් පාසල් ගොඩනැගිලි පරිත්‍යාග කිරීම් ආදිය කටයුතු සිදු කෙරිණි. මෙම උත්සව මාලාව අවසන් වන්නේ මාර්තු 23 සෙනසුරාදා මහනුවර දළදා මාලිගය ඉදිරිපිට මහමළුවේ පැවැත්වෙන ත්‍රිපිටකාභිවන්දනා මහෝත්සවයෙනි.

ස්වදේශ කටයුතු අමාත්‍යංශය, බුද්ධ සාසන අමාත්‍යංශය, නිවාස හා ඉදිකිරීම් සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ආණ්ඩුකාර කාර්යල මෙම උත්සව සංවිධානයට එක්ව සිටියේය.

ත්‍රිපිටකය දැනටත් ලෝකයේ බෞද්ධ රටවල උරුමයකි. සියලු බුදු දහම අඩංගුව පවතින්නේ එහි බැවිනි. ඒ අතරම ශ්‍රී ලංකාව තුළද ත්‍රිපිටක ධර්මය විකෘති කරමින් දේශනා පවත්වන පිරිස් සිටිති. බොහෝ අනුගාමිකයෝ ද ඒ පසුපස යති. ත්‍රිපිටකය ගැන පිංකම් පැවැත්වීමට වඩා ත්‍රිපිටකය විකෘති කරන පිරිස්වලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම අද දවසේ අත්‍යවශ්‍ය වේ. එමෙන්ම ධර්ම කරැණු සිත් තුළට කාවද්දා අධර්ම අදහස් තුරන් කිරීමට රජයට පෙරමුණ ගත හැකිනම් එය විශාල ධර්ම සේවයක් ද වේ.

කුසුම්සිරි