2019 මාර්තු 23 වන සෙනසුරාදා

බක්කි කරත්තෙන් කෝරළේ ගෙදරට අන්දරවැව Forest of Garden Resort

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 661

අනුරාධපුරය ලංකාවේ පාරම්පරික සිංහල බෞද්ධ නගරයකි. එය මෙරට ප්‍රධාන පෙලේ සංචාරක ගමනාන්තයක්ද වෙයි. ප්‍රතිසංස්කරණ කරන ලද පුරාණ බෞද්ධ වෙහෙර විහාර, වැව් අමුණු, පුරාණ නටබුන්, දෙස් විදෙස් සංචාරකයන්ට ආකර්ෂණයට හේතු වී තිබේ. අනුරාධපුරය ආශ්‍රිතව නිර්මාණය වූ නුවර කලාවිය දහනව නව සියවස මුල් භාගයේදී ඇති කරන ලද ජනාවාසයකි. නුවර වැව, කලාවැව සහ පදවිය වැවෙන් පෝෂණය ලබන මෙය ඉපැරුණි සාම්ප්‍රදායික ගම්මානයක ලක්ෂණ පෙන්නුම් කෙරෙන ස්ථානයකි. මෙහි නව උප සංස්කෘතියක් ගොඩනගන ලද්දේ නුවර රාජධානියෙන් පැමිණි මිනිසුන්ය. ඒ අනුව කන්ද උඩරට බ්‍රිතාන්‍ය පාලනයෙන් පීඩාවට පත්වී පලා ආ ජනතාවගෙන් නුවර කලාවිය නිර්මාණය වී තිබේ.

දැනට අභාවයට යමින් ඇති ඉපැරැණි සංස්කෘතිකාංගයක් වන නුවර කලාවියේ “පුරාණ ගම්මානය” දැන් නොච්චියාගම ප්‍රදේශයේදී නව සංචාරක ආකර්ෂණයක් බවත් පත්ව ඇත. අක්කර අටක භූමි ප්‍රදේශයක නිර්මාණය කර ඇති පුරාණ ගම අන්දරවැව Forest of Garden Resort නිර්මාණය කරමින් රන් සම්මානය පවා ලැබූ බී. චන්ද්‍රසිරි මහතාගේ අදහසක් අනුව කෙරුණු නිර්මාණයකි. (පුරාණගම) 2018 ජූලි මස විවෘත කරනු ලැබීය. එය ඉපැරැණි සිංහල ගමක සංස්කෘතිය ලක්ෂ දැක්වෙන පරිදි නිර්මාණය කළ සංචාරක නිකේතනයකි.

“අපි මේ ගම්මානය හැදුවේ පිටරටින් එන අයට වගේම, ලංකාවෙන් එවැනි අත්දැකීමක් නැති අයට ගම්මානයක ජීවන කටයුතු කෙරෙන ආකාරය ගැන වැටහීමක් ලබාදෙන්න.” පුරාණ ගම ව්‍යාපෘතිය කළමනාකාර අධ්‍යක්ෂ බී. චන්ද්‍රසිරි මහතා මෙම නිර්මාණය අරමුණ එලෙසින් පහදයි. මෙම පුරාණ ගම සතුව සම්ප්‍රදායික නිවාස 12ක් තිබේ. කෝරලේ ගෙදර , ආරච්චි ගෙදර ගොවි ගෙදර, ගුරු ගෙදර ආදී නම්වලින් ඒවා හඳුන්වයි. මෙම සෑම නිවසකටම කාමර දෙකක් බැගින් තිබෙන අතර සියලුම නවීන අංගෝපාංගවලින් සමන්විතය. වායුසමීකරණය සහිත නවතම නාන කාමර ආදියෙන් මේවා සමන්විතය.

කෝරලේ ගෙදර දෙමහල් නිවසක් වන අතර අනෙක් නිවාස තනි තට්ටුවේ නිවසය. ගම් නායකයාගේ ගෙදර පමණක් කාමර තුනකින් සමන්විත වේ. මෙම කාමර සකස්කර ඇත්තේ ලංකාවේ සම්ප්‍රදායික නිවාස සාදන ආකාරයට බිත්තිවලට මැටි පිළියම් කරමිනි. තවද සෑම නිවසක්ම සකසා ඇත්තේ එහි හිමිකරුගේ ජීවන රටාවට ගැලපෙන අයුරිනි. මෙම තොරතුරු අපට පැවසුවේ පුරාණගම කළමනාකරු ප්‍රියන්ත උදය කුමාර මහතාය. වඩු ගෙදර, හෙට්ටි ගෙදර, බද්දරාල ගෙදර, වෙලේ ගෙදර, රෙදි ගෙදර, දෙවොල් ගෙදර, යක් ගෙදර සහ නැකත් ගෙදර කාමර දෙක බැගින් තිබෙන සෙසු නිවාස වේ. ඒ අනුව මුළු ගම්මානයටම සුඛෝපභෝගී කාමර විසිහතක් අන්තර්ගතය.

“අපේ නිලධාරී මණ්ඩලය අඳින්නේ සාම්ප්‍රදායික ඇඳුම් රෙදි හැට්ට සරම් ආදිය. මෙහි එන ආගන්තුකයන්වත් අපි උනන්දු කරනවා සරම් ආදී සම්ප්‍රදායික ඇඳුම් අඳින්න. අපි ආගන්තුකයන්ව ගම් දොර ළඟදී පිළිඅරගෙන බක්කි කරත්තයක නංවාගෙන තමා ගමට අරන් එන්නේ. ”පුරාණ ගම කළමනාකරු ප්‍රියන්ත මහතා තවදුරටත් විස්තර කරයි. ප්‍රධාන අවන්හල කඩේ නමින් නම් කර ඇත. රොටි කඩේ සහ බත් කඩේ ස්වභාවධර්මයට විවෘත වහළක් නොමැතිව ඉදිකර තිබේ. ඊට අමතර කමත, කඩ මණ්ඩිය, පිං තාලිය සහ පන්සල ආදී ගමක තිබෙන සියලු සාම්ප්‍රදායික අංග මෙහි තිබෙනවා. අවන්හල සහ ආහාර ගැනීමට සකසා ඇති සිය අංගෝපාංග සියල්ල සකසා ඇත්තේ මැටිවලින්. ඒ වගේම ගමේ පොළ, මාලු වෙළෙඳසැල, තේ කඩේ ආදිය නිර්මාණය කරලා තියෙන්නේ සාම්ප්‍රදායික ගම්මාන අදහස ආගන්තුකයන්ගේ හිතට එන විදිහට.” ඔහු කියයි.

“අපි පිළිගන්වන්නේ ශ්‍රී ලංකාවේ ඉපැරැණි කෑම වර්ග. මට විශ්වාසයි මේ සමහර කෑම වර්ග ලංකාවේ අයත් රසවිඳලා නෑ කියලා. වැව් මාලු සමඟ කුරක්කන් තලප සහ පිට්ටු. සම්ප්‍රදායික බත් පොළොස් ඇඹුල කොළ වර්ග මෙහි දකින්න පුළුවන් ආහාර වර්ග. අපේ අරමුණ වෙලා තියෙන්නේ ස්වභාවික සම්ප්‍රදාය ගම්මාන පිළිබඳ අදහස රැකගැනීම. අපේ උත්සාහය අනාගත පරපුර තුළ ඇති කිරීමයි.” 

පුරාණ ගම පිළිබඳ අත්දැකීම ලැබීමට අමතරව වටපිටාවේ ඇති ඓතිහාසික හා ආගමික ස්ථාන නැරඹීමේ හැකියාවක්ද පවතී. විල්පත්තු මින්නේරිය සහ කවුඩුල්ල වන උද්‍යානවල සිට මිනිත්තු 40 ත් 60ත් අතර කාලයක දී පුරාණගම වෙත ළඟාවිය හැකිය. කලාවැව, අවුකන, රිටිගල ආදී ස්ථානවලටත් මිනිසුන්ට මිනිත්තු 60ක් වැනි කාලයකදී මෙහි සිට ළඟාවිය හැකිය. මෙහි ඇති විශේෂ සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස මැදවච්චිය හිසින් බැස්ස ගල හැඳින්වීමට පිළිවන.

♦ සනත් වීරසූරිය