2019 මාර්තු 23 වන සෙනසුරාදා

පරිවර්තනයේදී කෑලි හල හලා යන්න බැහැ

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 94

දිලීප ජයකොඩි විවිධ පරිවර්තන කෘති රැසක්ද ස්වතන්ත්‍ර නවකතා දෙකක් ද පළකල ප්‍රවීණ ලේඛකයෙකි. සිංහල පාඨකයාට චේතන් බගත්ගේ ජනප්‍රිය කෘති හඳුන්වා දුන්නේ ඔහුය. ඔහුගේ නවතම පරිවර්තනය මේරි හිඟින්ස් ක්ලාක්ගේ කෘතියකි. එය ලයිල ලයිල ලා නමින් මියුසස් ප්‍රකාශනයක් ලෙස ලබන සතියේ නිකුත් වීමට නියමිතය.

ලයිල ලයිල ලා මොන වගේ නවකතාවක්ද?

ලයිල... ලයිල... ලා.... අයිති වෙන්නෙ ත්‍රිලර් ෂානරයටයි. මානසික විකෘතිතාවයක් නිසා තරැණියන් මරා දමමින් යන මිනීමරුවකු අන්තිමට නීතියේ රුහැනට හසුවෙන හැටි තමයි මෙයින් කියවෙන්නෙ. සාමාන්‍යයෙන් ඒ වගේ කතාවක අවසානයෙදී සිද්ධවෙන්නෙ කොහොමත් ඒක තමයි. නමුත් එය ඉදිරිපත් කරන නාට්‍යමය ආකාරය සහ අවසානය වන තෙක්ම නියම මිනීමරුවා කවුරුන්ද කියන එක හිතාගන්න බැරිවීම තමයි මෙහි තියෙන විශේෂත්වය හැටියට මා දකින්නේ.

ඔබ මෙයට පෙරත් මේරි හිඟින්ස් කලාක්ගේ කෘති පරිවර්තනය කර තිබෙනවා නේද?

ඔව්.. මීට පෙරත් මේරි හිඟින්ස් ක්ලාක්ගෙ පොත් දෙකක් මා අතින් පරිවර්තනය වුණා. ඉන් පළමුවැන්න තමයි The Silent Night කියන පොත. එය මගේ අතින් පරිවර්තනය වුණේ අහා හැඩයි මේ රෑ නමින්. ඊටපස්සෙ ඇගේ අතිශය ජනප්‍රියතාවයට පත්වුණු Where Are The Children ? කියන පොත මම &(UN)  හැපි බර්ත් ඩේ* නමින් පරිවර්තනය කරන්නෙ. මේ මම ඇගේ පොතක් පරිවර්තනය කරන තෙවෙනි අවස්ථාවයි. ලයිල...ලයිල...ලා.... ඇගේ තවත් අතිශය ජනප්‍රිය කෘතියක් (Loves Music Loves to Dance) ඒ වගේම තව දෙයක්. මේරි හිඟින්ස් ක්ලාක් සිංහල පාඨකයාට හඳුන්වා දීමට මට හැකිවීම ගැනත් තියෙන්නෙ නිහතමානී සතුටක් බව කියන්න ඕනෙ.

චේතන් බගත්ගේ කෘති පරිවර්තනයෙන් පසු දිලීප ජනප්‍රිය සරල කෘති පරිවර්තනයට වැඩිපුර යොමුවෙලා වගේ පේනවා?

ඔබ කියන කතාවේ ඇත්තක් තියෙනවා. මම සරල බවට ආසයි. මමත් බොහොම සරල මනුස්සයෙක්. සමහරවිට ඒ හින්ද වෙන්න ඕනෙ ඒක සිද්ධ වෙන්නෙ. ඒත් වැදගත්ම දේ තමයි ඒ කෘතිවල කතා රසයක් තිබීම. මම විශ්වාස කරනවා අපි පාඨකයාට යම් රසයක් ලබාදිය යුතුයි කියන එක. ආනන්දයෙන්, ප්‍රඥාවට කියල කියද්දී එයින් කියවෙන්නෙ නැහැ දාර්ශනික මට්ටමේ කෘතීන්වලින් පමණක්ය ප්‍රඥාව ලබාගත හැක්කේ කියන කාරණාව. ප්‍රඥාව පැමිණෙන්නේ ආනන්දයට පසුවයි. එහෙනම් පාඨකයා පළමුවෙන් ආනන්දයට නෙවෙයි, අමන්දානන්දයට පත් කිරීමයි නිර්මාණකරුවකුගේ වගකීම.

එවැනි ජනප්‍රිය පොත් පරිවර්තනයට යොමුවුණේ වැඩිපුර විකිණෙන නිසාද?

මේකත් කලින් ප්‍රශ්නයටම සම්බන්ධයිනෙ. මම එවැනි පොත් පරිවර්තනය කරන්නේ ඒවා වාණිජමය අතින් සාර්ථක නිසා නෙවෙයි. කලින් කිව්වා වගේම මම මුල්තැන දෙන්නෙ කතා රසයට එතැනදි සිද්ධවෙන්නෙ මෙහෙම දෙයක්. මම යම් විදෙස් කෘතියක් කියවලා රසයක් වින්දද, ඊටපස්සෙ මට දැඩි අවශ්‍යතාවයක් ඇතිවෙනවා මම විඳපු ඒ රසය අනිත් අයත් එක්ක බෙදාහදා ගන්න. 

විශ්ව සාහිත්‍යයේ තවත් විශිෂ්ට කෘති රැසක් තිබෙනවා, සිංහල පාඨකයන්ට කියවීමට නොලැබුණු. ඒවා පරිවර්තනයට අදහසක් නැද්ද?

ඔය කියන කාරණාව වැදගත්. ඇත්තටම මමත් ඒ ගැන හිතනවා. ඒ අතරෙ මෙහෙම දෙයකුත් වෙනවා. දිගින් දිගටම ඒකාකාරී කෘතින් පරිවර්තනය කරගෙන යද්දී මටම ඒවා ඇතිවෙන ස්වභාවයක් තියෙනවා. මගේ පරිවර්තන ගමන්මඟ බැලුවොත් ඔබට මෙය පැහැදිලි වේවි. මැදපෙරදිග හිංසනයට ලක්වුණු කාන්තාවන් පිළිබඳ කෘතීන් පෙළ, අපචාරයට ලක්වුණු දරුවන් පිළිබඳ කතා පෙළ, බිහිසුණු හොරර් ෂානරයේ කතා පෙළ ආදී වශයෙන් ඒවා පෙළ ගස්වන්න පුළුවන්. අනික මම නිරන්තරයෙන්ම නව මානයන් සොයා යනවා. ඒ නිසා ඔබ ඔය කියන විදිහේ පරිවර්තන ඉදිරියේදී මගේ අතින් සිදු කෙරේවි.

අපේ පර්වර්තන සාහිත්‍යය අද ඔබත් ඇතුළු තරුණ පරිවර්තකයන් රැසක් අතට පත්වෙලා. නමුත් සමහර අය පරිවර්තනයේදී තමන්ට අවශ්‍ය පරිදි පෙළ වෙනස් කර පරිවර්තනය කරන අතරම කොටස් අතහැර පරිවර්තනය කරන බවට චෝදනා එල්ල වෙනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

පරිවර්තනයකදී එහි මුල් කෘතියේ කොටස් අතහරින්නට පරිවර්තකයාට අයිතියක් නැහැ. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. සමහරවිට අපට හම්බවෙනවා කිසිසේත්ම අපේ සමාජයට අදාළ නැති, අපේ ජනතාවට අණ්ඩරදෙමළ වගේ දැනෙන කොටස්. ඒ වගේ තැන්වලදී මම නම් පුළුවන් තරම් උත්සාහ ගන්නවා එය යම් තරමකට හෝ තේරැම් කර දෙන ගමන් ඒ කොටස් පරිවර්තනය කරන්න. එයත් ඵල රහිත බව දැනෙනවා නම්, ඒ වගේ තැන් කෙටි කිරීමක් සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් සමහර පොත්වල ඔවුන් පැරණි චිත්‍රපට පැරණි නළු නිළියන් ගැන කියනවා. නමුත් ඒ නම්වලින් හඳුන්වන්නේ කවුරැන්ද? ඒවා මොනවාද? කියා අපේ පාඨකයන් නොදන්නා බව හොඳින්ම දැනෙන අවස්ථාවකදි, එක්කෝ අපි ඒ ගැන පරිබාහිර විස්තරයක් කරන්න ඕනෙ. එහෙම නැත්තම් ඒ විදිහටම පරිවර්තනය කරන්න ඕනෙ

ඔබ වාසනා දිනේකි මේක ලිව්වාට පසු ස්වතන්ත්‍ර නවකතාවක් ලිව්වේ නැහැ නේද?

ඔව්. ඊටපස්සෙ ස්වතන්ත්‍ර කෘතියක් ලිව්වේ නැහැ. ඒත් මේ වසරේදී ස්වතන්ත්‍ර නිර්මාණයක් මගේ පාඨකයින්ට ලබාදෙන්නයි මගේ අරමුණ. දැනටමත් මම එහි යෙදී සිටිනවා. ඇත්තෙන්ම කිව්වොත් පරිවර්තනයට වඩා ස්වතන්ත්‍ර නිර්මාණයක් කිරීම අසීරැ කරුණක්. ඉදිරියේදී මම වැඩිපුර ස්වතන්ත්‍ර නිර්මාණයන්ට යොමු වේවි යැයි මට හිතෙනවා. මම කලින් සඳහන් කළා වගේ නව මානයන් සොයායන්නට මම නිතරම උනන්දුයි.

සිංහල පාඨකයන් ස්වතන්ත්‍ර නවකතාවලට වඩා වැඩිපුර පරිවර්තන නවකතා කියවීමට පෙළඹී ඇති බවයි පේන්නේ.  මේකට හේතුව ඔබ දකින්නේ කෙසේද?

මට හිතෙන විදිහට පාඨකයා පරිවර්තන සොයාගෙන යන්නේ මම කලිනුත් කීව රසය යන කාරණාව සොයාගෙනයි. ඒක මම තවත් පැහැදිලි කරන්නම්. පරිවර්තන පොත් විවිධ ෂානරයන් යටතේ ලියවී තිබෙනවා. ඇඩ්වෙන්චර්, ත්‍රිලර්, හොරර්, කොමඩි, ට්‍රැජඩි රොමෑන්ස්, ඩිටෙක්ටිව්, සයිකොලොජිකල් මේ ආදී වශයෙන්. නමුත් අපේ ස්වතන්ත්‍ර නිර්මාණ බොහෝවිට ආදරය පසුබිම කරගත්තු ඒවා. එහෙමත් නැත්තම් දේශපාලනය ගෙඩි පිටින් වමාරන ඒවා. එහෙමත් නැත්තම් පාඨකයා කරකවලා අතඅරින වර්ගයේ ඒවා. එතකොට පාඨකයාට ඒකාකාරී බවක් දැනෙනවා. මම විශ්වාස කරන්නේ නම් පාඨකයන් බොහෝ දෙනෙක් පරිවර්තනයන්ට යොමුවෙන්නෙ විවිධ රස භාවයන්ගෙන් සංතෘප්ත වීමට කියලයි. නමුත් දැන් දැන් අපේ තරැණ ලේඛකයන් විවිධ ෂානර ඔස්සේ ස්වතන්ත්‍ර නිර්මාණ කරනවා පෙනෙනවා. ඒක සතුටට කාරණාවක්. ඉදිරියෙදි එය වඩාත් වේගයෙන් වර්ධනය විය යුතුයි කියලයි මම හිතන්නෙ.

- කුසුම්සිරි විජයවර්ධන

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00