2019 මාර්තු 16 වන සෙනසුරාදා

වැලිත් පිටරටින්!

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 243

නිවාස ගොඩනැගිලි ඇතුළු සියලු ඉදිකිරීම් සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය අතර වැලි ප්‍රධාන වේ. නිතිපතා ඇති වැලි ඉල්ලුමට සැපයුම වශයෙන් දිවයින පුරා පිහිටි ඇළ, දොළ, ගංගා ආශ්‍රිතව වැලි ගොඩදැමීම සිදුකෙරෙයි. එහෙත් සැපයුම ප්‍රමාණවත් නොවේ. රජයේ කඩිනම් සංවර්ධන ව්‍යාපෘති අතර වරාය නගර ව්‍යාපෘතිය විශාල එකකි. මෙවැනි සංවර්ධන කටයුතු සඳහා වන අධික වැලි ඉල්ලුමත් සමග ගංඟා ආශ්‍රිත අක්‍රමවත් වැලි කැණීමෙන් ඉවුරු ඛාදනය පරිසර දූෂණය හා මිල ඉහළ යාම සමඟ විවිධ පරිසර හානි සිදුවන බැව් වාර්තා වී තිබේ.

කඩිනම් සංවර්ධන ව්‍යාපෘතිවලට ඇති දැවැන්ත වැලි ඉල්ලුම සපුරාලීම අපහසුය. එවැන්නක් සිදුකිරීමේදී සිදුවන පරිසර දූෂණය ඇතුළු නොයෙක් අක්‍රමවත් කාරණා අවම කිරීමේ අරමුණින් ආණ්ඩුවේ මහා පරිමාණ සංවර්ධන ව්‍යපෘති සඳහා අවශ්‍ය වැලි විදේශවලින් ආනයනය කිරීමට සැලසුමක් පවතින බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය කියයි. පෝර්ට් සිටි ඇතුළු මහා පරිමාණ ඉදිකිරීම් කීපයක අවශ්‍යතාව අනුව මේ පිළිබඳව ලැබී ඇති ඉල්ලීම් සලකා බලා එවැනි පියවරක් ගන්නේ ලංකාවේ ප්‍රථම වතාවට බව කැණීම් අංශ අධ්‍යක්ෂ ඉංජිනේරු සජ්ජන ද සිල්වා මහතා පැවසීය.

“අවශ්‍ය ප්‍රමාණයට වැලි සැපයුම නැති වුණොත් ඉදිකිරීම් ක්‍රමවත්ව කරන්න බැරිවෙනවා. මේකෙදී පරිසරය ආරක්ෂා කරන්නත් ඕන. ව්‍යපෘතිය කෙරෙන්නත් ඕන. පරිසර අමාත්‍යංශ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පහළොස් දෙනකුගෙන් පමණ සමන්විත කමිටුවක් රැස්වෙලා මේ පිළිබඳව සාකච්ඡා කළා. මෙහිදී අදහස් කරන්නේ විශේෂ ව්‍යපෘති කීපයකට පමණක් වැලි ගෙන්වීමටයි. ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණය ඇස්තමේන්තු ගතකරලා ගෙන්වීම ප්‍රමාණවත්. ඒ හැර මේ වැලි රට තුළ විකිණීමක් කෙරෙන්නේ නෑ. මේවා ලංකාවට ගැලපෙනවද, විෂ රසායන හෝ වෙනත් යමක් තියෙනවද අහිතකර සතුන් කෘමීන් ඉන්නවාද කියල විශේෂ පරීක්ෂාවක් කිරීමට නියමිතයි. ගෙන්වීමේදී රටට අයවිය යුතු බදු මුදල් අය කෙරෙනවා. පවතින මිලට වඩා අඩු මිලකට ගෙන්වීමට අදහස් කරනවා. මේ පිළිබඳව විදෙස් රටවල් සමඟ කතාකරලා නෑ. තවමත් අපේ කමිටුව තුළ සාකච්ඡා වෙනවා පමණයි.” යනුවෙන් සජ්ජන මහතා කීය.

පරිසර විනාශය අවම මට්ටමක පවත්වා වැලි ගොඩ දැමීමට නම් නීත්‍යනුකූලව කටයුතු කරන පිරිසට අවශ්‍ය පහසුකම් සලසා දිය යුතුය. රටට අවශ්‍ය තරම් සම්පත් නොමැති නම් හෝ පොළොව කැණීම හානියක් නම් එය නවතා විදේශයකින් වැලි ආනයනය කිරීමට හැකි නම් එම අවස්ථාව සලසාදීම සුදුසුය. මෙම බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමයට අනුව වැලි රට තුළ අලෙවිය සපුරා තහනම්ය. අවසරය හිමිවන්නේ නිශ්චිත ව්‍යපෘතියට පමණි. ඉන් පිටතව එම වැලි රැගෙන යාම තහනම්ය. මේ හේතුවෙන් ඇණවුම් කෙරෙන්නේ නියමිත ප්‍රමාණය පමණි.

ඇතැම් රටවල ගංගා වැලි ගොඩදැමීම තහනම් කර ඇත. අසල්වැසි ඉන්දියාවද එවැනි රටකි. එබැවින් ඉන්දියාව විදේශ රටවලින් වැලි ගෙන්වීම සිදුකරයි. එමගින් එරට සිදුවන පරිසර හානිය අවම බව වාර්තා වේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යංශය මගින් ගංගා ඇළ, දොළ ආශ්‍රිතව වැලි ගොඩදැමීමට බලපත්‍ර ලබාදී ඇති සියලු අය සඳහා හරිත වැලි තොටුපළ සංකල්පය හඳුන්වා දී ඇත. අවිධිමත් වැලි කැණීම නිසා සිදුවන පරිසර හානිය වැලි ගොඩදැමීමේ කර්මාන්තයට තර්ජනයකි. මේ අර්බුදයට පිළියමක් හා අනාගත පරිසර සුරක්ෂිතතාව වෙනුවෙන් මෙම සංකල්පය යටතේ තුරු වියන් සහ තණ පලසකින් යුතු හරිත තොටුපළක් නිර්මාණය කිරීම සිදු කෙරේ. මෙහිදී ඉවුරු සෝදා පාළුව වැළැක්වීම, ගල් වැටි බැඳීම, කාණු සැකසීම, තෘණ වගාව, උපරිමය අඩි තුනකින් යුතු ප්‍රවේශ මාර්ගයක් භාවිත කිරීම, ඇතුළු පරිසර විද්‍යනුකූලව කටයුතු කිරීම කළ යුතුය. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා පරිසර වෘත්තීකයන්ගේ ආයතනය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල යන ආයතනවල විනිශ්චය මත හොඳම වැලි තොටුපළ සහ හොඳම ක්ෂේත්‍ර නිලධාරී තේරීමද සිදු කෙරේ. වැලිතොටුපළ 3500ක් අතුරින් සුදුසුකම් ලැබූ සිය දෙනකු සඳහා ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවයක් මාර්තු 18 දින නෙළුම්පොකුණ රඟහලේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

අනවසර වැලි ගොඩදැමීම, ප්‍රවාහනය ඇතුළු රට තුළ සිදුකෙරෙන අක්‍රමිකතා වළැක්වීම සඳහා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සමඟ ත්‍රිවිධ හමුදාව සහ විශේෂ කාර්ය බළකාය එක්ව සිටියි. එසේ සිදුකළ වැටලීම් ඉකුත් වසරේදී 8970ක් සිදුකර ඇත. එහිදී අය කරගෙන ඇති දඩ මුදල රුපියල් 243,843,588.00ක් බව වාර්තා වේ.

ආණ්ඩුවේ මහාපරිමාණ නව සංවර්ධන ව්‍යාපෘතිවලට අත්‍යවශ්‍ය බව කියන වැලි රටට හානියක් නොවන අයුරෙන් විදේශයකින් ගෙන්වීමට අවශ්‍ය නීතිරීති සම්පාදනය කිරීමට පියවර ගැනීම අනාගතයට මෙරට පරිසරය සුරැකීම පිළිබඳ සුබදායක කරුණකි.

I සමන්ත ප්‍රදීප් විල්තෙර

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00