2019 මාර්තු 16 වන සෙනසුරාදා

මරණය දැක දැක කඩානොවැටෙන චරිත

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:31 380

පසුගියදා අනතුරට ලක්වුණු ඉතියෝපියානු ගුවන් යානයේ වීඩියෝ රූප ඊ සමාජ වෙබ්අඩවි හරහා පැතිරෙමින් තිබිණි. ගුවන්යානය ඇතුළත මගීන් හැසිරෙන ආකාරය දැක්වෙන චලන සිතුවම් සහ ගුවන්යානයේ සිට පිටත පෙනුණු ආකාරය දැක්වෙන රූපද යානය කඩා වැටෙන අයුරු රූගත කළ වීඩියෝවක්ද මේ වනවිට ප්‍රචාරය වී තිබේ.

ගුවන්යානය ඇතුළත රූපවලින් මගීන් සහ ගුවන් සේවිකාවන් ආතතිය විඳගත් ආකාරය පැහැදිලිව දිස්වූයේය. ගුවන් සේවිකාවෝ මගීන් හට තමන්ගෙන් ඉටුවිය යුතු මෙහෙවර නොපිරිහෙලා ඉටුකරමින් සිටියහ. කිසිම මගියකු ආසන පටිය ගලවාගෙන මරු විකල්ලෙන් කෑ ගසනවා ඒවායේ නොපෙනිණි. ළදරුවන් සහ කාන්තාවන් කෑ ගසන හඬ මතුවූයේය.

පසුගිය යුද්ධය කාලයේ අපේ රටේ ජනයා බස් රථ තුළ හදිසියේ බෝම්බ අනතුරු හැඟවීමක් ආ විට හැසිරුණේ මීට වෙනස් ආකාරයටයි. එවැනි අවස්ථාවල බොහෝ මගීහු අනෙකාද පෙරළාගෙන බස් රථයෙන් බසින්නට උත්සාහ කළෝය. එහෙත් සුනාමි අනතුර සිදුවූ අවස්ථාවේ අපේ රටේ ජනයා තමන්ගේ ජීවිතය ද නොතකා අනුන්ගේ ජීවිත ගොඩගන්නට උත්සාහ කළ අවස්ථා ඕනෑතරම් තිබිණි. මර බිය දැනෙන විට සැවොම මරු විකල්ලෙන් කෑ ගසන්නෝ නොවෙති. ඇතැම්හු තම සමීපතමයන්ගෙන් සමුගැනීමේ වදන් සන්නිවේදනය කරන්නට උත්සාහ කරති. (ඉතියෝපියානු ගුවන් යානා ඇතුළත වීඩියෝ කළ තැනැත්තා ද දැඩි ආත්ම ශික්ෂණයකින් එය කළ බව පෙනීයයි)

සමීපතමයන්ගෙන් සමුගැනීමේ වදන් සන්නිවේදනය කිරීම නවීන ජංගම දුරකතන නිසා වඩාත් පහසුය. 2011 ඔක්තෝබර් 27 වැනිදා ආසන නවයේ ගුවන් යානයක යද්දී අනතුරට ලක්වුණු Carolyn Cross (කැරොලයින් ක්‍රොස්) නම් තිදරුමවගේ කතාව මීට හොඳම උදාහරණයකි. ඇය Northern Thunderbird සේවාවට (Kolowna) අයත් එම ගුවන් යානයේ කැනඩාවේ කෙලොව්නා නම් නගරයට පැමිණෙමින් සිටියාය. ගුවන් යානය අහසට නගින වේලේ රතු, කහ, තැඹිලි වර්ණයෙන් අලංකාර වූ අහස දිහා ඈ සැහැල්ලු සිතින් බැලුවාය. එහෙත් විනාඩි 15කට පසු කාර්මික දෝෂයක් නිසා එය වැන්කුවර් වෙත ගොඩබාන්නට සිදුවන බව ගුවන් නියමුවා නිවේදනය කළේය. ගුවන් යානයේ දෝෂය එන්න එන්නම වැඩිවන්නට ගත්තේය. පසුම්බිය විවර කළ ඇය තම ජංගම දුරකතනය අතට ගත්තාය. ගුවන් යානය කඩාවැටෙන බව ඈ හොඳින් දැනසිටියාය. ඇයට ඕනෑ වූයේ තම දරුවන්ගෙන් සමුගන්නටයි.

“Mummy is dying in a plane crash”
“Mummy Loves Julia and Jamie”

ඈ මුලින්ම තම Email පණිවිඩයේ සටහන් කළාය. Julia සහ Jamie ඇගේ බාලම දරුවන් දෙදෙනාය. ඊළඟට ඈ ලියූ පණිවිඩයේ සරළ අරුත පහත ආකාරයෙනි. 
මා සීසී කඩවී යනතුරු සිතින් ඔබ සමඟයි
මම ඔබ දෙසම බලා හිඳිමි
එකිනෙකා වෙත කරුණාව පාන්න
ඔබ කරන දේ හොඳින්ම කරන්න
අනෙක් අයට ආදර්ශමත් වන්න
මා ඔබ ගැන ආඩම්බරයි 
සඳහටම ඔබට ආදරෙයි
අම්මා

මෙහි මුල්පද දෙක දුටුවිට මතක් වූයේ අම්මාවරුනේ ගීතයේ “සුරලොව සිට අත පා - ඒ කඳුලැලි පිසිනා” යන වදන් පෙළයි.

මේ පණිවිඩය ඇවිත් තිබුණේ ප.ව. 4.02ටයි. ගුවන් යානය කඩා වැටුණේ ප.ව. 4.10ටයි. එය කඩා වැටෙන්නට විනාඩි අටක් තියා ඈ දැඩි ශික්ෂණයකින් එම පණිවිඩය එව්වා මිස මරු විකල්ලෙන් දැඟලුවේ නැත. කඩා වැටෙන්නට ඔන්න මෙන්න තියා ඈ කොළ පාට පැල්ලමක් සේ පොළොව දුටුවාය. ඇයට ඉන්ධන වහනය වෙන ගඳ දැනෙන්නට ගත්තේය.

ගුවන්යානය කඩා වැටී ගිනි ගනිද්දී ඈ සිහියෙන් කටයුතු කළ නිසා දොර අද්දරට බඩගාගෙන ආවාය. දොර ළඟදී ජීවිත පරිත්‍යාගයෙන්, දැවෙන ගින්න අතරින් පැමිණි එක් අයෙක් ඇයව ඉවත ගෙන ගියේය. ඈ ජීවිතය ගලවා ගත්තාය. ඇඟේ ඉළඇට, දෙපා, හිස, ශ්‍රෝණිය මේ හැම තැනම බිඳී ගොස් තිබිණි. සති දෙකකට පසු ඇය සුවවී රෝහලෙන් එළියට ආවාය. ගුවන් නියමුවා එතැනම මිය ගොස් තිබිණි. සහාය ගුවන් නියමුවා සති තුනක් රෝහලේ හිඳ පිළිස්සුම් තුවාල නිසා මිය ගියේය. පුදුමයකට මෙන් ඈ ඇතුළු මගීන් 7 දෙනාම දිවිගලවාගෙන තිබිණි.

හැට ගණන්වල අගභාගයේ සිදුවූ මීට සමාන පුවතක් ඉඳහිට පුවත්පතක පළවෙයි. එක් මිනිපිරියක සහ සීයා කෙනෙකු නිවාඩුවක් ගතකිරීමට ගුවනින් එතෙර ගොස් සිය රට එන අතරතුර එම යානයේ යාන්ත්‍රික දෝෂයක් ඇතිවී තිබෙන බව නිවේදනය කෙරිණි. යානය මුහුදට බස්සවන බවද දැනුම් දෙන ලදී. දියණිය කලබල නුවූවාය. එකල අද මෙන් ජංගම දුරකතන නොතිබුණු නිසා ඈ අතට ගත්තේ පෑනක් සහ කොළයකි. තම මව, පියා, සොයුරු සොයුරියන්, මිතුරු මිතුරියන්, ගුරුවර ගුරුවරියන් අමතා ඇය ලිපියක් ලීවාය. ඈ අවධාරණයකොට තිබුණේ ඒ සියල්ලන්ගෙන් තමා සමුගන්නා බවයි. අවසාන මොහොතේ සිතට දැනෙන හැඟීම් ඇය පෑන් තුඩෙන් එම කඩදාසියේ දැඩි සංයමයෙන් යුතුව මුදාහැරියාය. සීයාද ඒ අවස්ථාවේ දැඩි ආත්ම ශික්ෂණයකින් යුතුව කටයුතු කළේය. ඔහු එම ලිපිය ගෙන හිස් ප්ලාස්කුවක බහා එම පියන හොඳින් වැසුවේය. යානය මුහුදට කඩා වැටුණු අවස්ථාවේ දෙදෙනාම මිය ගියහ. බේරාගැනීමේ කණ්ඩායමකට මුහුදේ පාවෙමින් තිබූ එම ප්ලාස්කුව අසුවිය. දැරිය මිය යන්නට මොහොකකට පෙර ලියූ පණිවිඩය ඇගේ පවුලේ සියල්ලන්ටත්, හිතවතුන්ටත් ලැබිණි.

1974 නිකුත් වූ “Seasons in the Sun” යන ජනප්‍රිය ගීතය බිහිවුණේ එම සිද්ධිය ඇසුරෙන් බව කියති. එය ප්‍රංශ බසින් ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන්නට ද මෙම ඉහත සිද්ධිය බලපෑ බව ඇතැම් තැනක සඳහන් වේ. එම ගීතයේ මුල් ගීතය බෙල්ජියම් ජාතික ගායකයකු හා ගීත රචකයකු වූ Jacques Brel ලියූ “Le Moribund” නම් ගීතයයි. 1974 දී කැනේඩියානු ගායක Terry Jacksගේ ඉංග්‍රීසි ගීතයේ ගායනයත් සමඟ එය ජනප්‍රිය වූයේය. මිය යන මිනිසකු සිය මිතුරන්ගෙන්, ආශ්‍රිතයන්ගෙන් සමුගන්නා ආකාරය එම ගීයේ දැක්වේ. එහි කොටසක සරල අනුවර්තනයක් පහත සඳහන්ය.

සමුගනිමි මා විශ්වාසනීය මිතුරනි
එකිනෙකා හැදුනෙමු අපි පුංචි සන්ධියේ පටන්
එක්ව කඳු නැංගෙමු
එක්ව ගස් නැංගෙමු
උගනිමු ආදරයත්, “අ”යනු “ආ”යනුත්
සමුගනිමි මිතුරනි - අසීරුය මිය යාම

1971 දී Lansa, Flight 508 ගුවන් යානයත් සමඟ අඩි 10,000ක ඉහළ සිට ඇමර්සන් වනාන්තරයට වැටුණු පීරු ජාතික Jaliane Koepcke එවකට නව යොවුන් වියේ පසුවූවාය. ඇය ලේසියෙන් ජීවිතයට සමුදෙන්නට සූදානම් නොවූවාය. (ඇගේ මවද එම ගුවන්යානයෙන් වැටී දරුණු තුවාල නිසා මිය ගියාය) ඈ මිනිස් වාසයක් හමුවන තුරු දින 10ක් තිස්සේ ඇමර්සන් වනයෙන් එළියට ආවාය. වනාන්තරයේ කුඩා දියපාරක් දිගේ ආවහොත් එය අනතුරුව ලොකු දිය පහරක් වනු දැකිය හැකි බවත් දියපහර පුළුල් වන තැන්වල ජනාවාස තිබිය හැකි බවත් ඇගේ පියා කුඩා කාලයේදී කියාදී තිබිණි. ඈ පැමිණියේ දියපාරක් දිගේය. 10 වැනි දිනයේ ඇයට පැල්පතක් හමුවිය. එහි කටහඬවල් ඈට ඇසිණි. එහි සිටි මිෂනාරීවරු තිදෙනා ඇයට බිය වූහ. ඇය Yemanjalnt නම් දිය හොල්මන බව ඔවුහු මුලින් සිතුවෝය. ඊළඟ දිනයේ ඔවුහු ඇයව බෝට්ටුවකින් රෝහල වෙත රැගෙන ආහ. 1980 දී ඈ තම ආචාර්ය උපාධිය ජර්මන් සරසවියකින් දිනාගත්තාය. ඈ ක්ෂීරපායි සතුන් පිළිබඳ විශේෂඥවරියකි.

ගුවන්යානය කඩාගෙන ඇමේසන් වනාන්තරය මැදට වැටුණත් හිතෙන් වැටිය යුතු නැති බව ඇය සිය ජීවිතයෙන් කියා දුන්නාය.

ගුවන්යානය කඩාගෙන බිමට වැටුණත් හිතෙන් වැටිය යුතු නැති බව කියාදෙන තවත් කතාවක්, රුසියානු ලේඛක බරීස් ප්ලවොයි ලියූ “සැබෑ මිනිසකුගේ කතාවක්” කෘතියේ ඇත. එය සත්‍ය සිදුවීමක් ඇසුරින් ලියූ කතාවකි. එම කතාව පාදක කරගෙන තැනූ රුසියානු චිත්‍රපටයක් ද තිබිණි. එහි එන ගුවන් නියමුවා තම යානයත් සමඟ කඩාවැටුණු පසු ගව්ගාණක් ඇවිද ජනාවාසයකට පිවිසේ. ඔහු සුවය ලබන්නේ ඔහුගේ කකුල් දෙකම කපා දැමූ පසුවයි. කෘත්‍රීම දෙපාවලට හුරුවන ඔහු දෙපා ඇත්තකු තරමටම දක්ෂතා පෙන්වයි. නැවත ඔහු ගුවන් නියමුවකු ලෙස බඳවා ගන්නට බලධාරීන්ට සිදුවෙයි.

කෙන්ටකි ප්‍රාන්තයේ විසූ ලැරී මිල්කින්ස් මහතාගේ දොරකඩට දිනක් නහයෙන්, දෙපා සහ අත්වලින් ලේ ගලන දැරියක් පැමිණියාය. Sailor Gutgler නම් මෙම දැරිවිය හත් හැවිරිදිය. ඈ කඩා වැටුණු ගුවන් යානයකින් එළියට අවුත් කිලෝමීටරයක් පමණ වනාන්තරය මැද්දෙන් මගගෙවා විල්කින්ස්මයාගේ දොරකඩට පැමිණ තිබිණි. විල්කින්ස් මයා 119 අමතා කෙන්ටකි ප්‍රාන්තයේ පොලීසියට දන්වා ඇයව රෝහල වෙත ගෙන ගියේය. එම ගුවන් අනතුරින් ඒ වනවිට ඇගේ මවත් පියාත් දෙදෙනාම මිය ගොස්ය. 

වැඩිම උසකින් පොළොවට කඩාවැටී දිවි බේරාගෙන ගිනස් වාර්තා තබා ඇත්තේද කාන්තාවකි. ඈ සර්බියානු ජාතික Vesna Vulovicය. 1972 ජනවාරි 26 වැනිදා ඈ සමඟ Jat Flight 367 යානය පොළොවට පතිත වූයේ මීටර් 1016ක් (අඩි 33330)ක් උසක සිටය. ඇගේ දෙපා, ඉළ ඇට, ශ්‍රේණි පෙදෙස බිඳීගොස් දවස් කිහිපයක් සිහිසුන්ව සිටියත් ඇය සුවය ලැබුවාය. 1950 ජනවාරි 3 වැනිදා උපත ලැබූ ඇය මියගියේ 2016/12/23 තරම් මෑතකදීය.

මිය යමින් ඉන්නා සැවොම ජීවිතය ඉල්ලා මොර ගසන්නෝ නොවෙති. වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් මහත් මෙහෙවරක් කළ අතීත විද්‍යාඥයෙක් තමා මිය යන මොහොතේ තම ශිෂ්‍යයන් හට ඇඳ වටා වටවෙන්නට කීවේය. ඔහු තත්පරයෙන් තත්පරය තමාට ශාරීරිකව දැනෙන දේ ශිෂ්‍යයන්ට විස්තර කළේය. ශිෂ්‍යයෝ ඒවා සටහන් කරගත්හ. ඔහුට ඕනෑ වූයේ මරණය රෝගියකුට කෙසේ දැනෙන්නේ ද යන්න ලොවට හෙළිකරන්නටයි. ඒ අනුසාරයෙන් වෛද්‍ය විද්‍යාව පොහොසත් කරන්නටයි.

මරණය මිය යන්නාට කෙසේ දැනෙන්නේ ද යන්න පිළිබඳ තොරතුරු ඒකරාශීකොට විවිධ පර් යේෂකයින් ඒ ගැන අනුමාන ඉදිරිපත් කොට තිබේ. ඒ පිළිබඳව අන්තර්ජාලයේ ඇති තොරතුරු රසවත්ය.

මරණය මහා අභාග්‍යයක් ලෙස නොසලකා එය ජීවිතයේම අංගයක් ලෙස උපේක්ෂාවෙන් බලන ජාතීන් බොහෝවක් ලොව වාසය කරති. මැරෙන්නට නොව ධෛර්යයෙන් යුතුව ජීවිතය ගෙවන්නට එම ආකල්ප බොහෝ සෙයින් උපකාරී වේ.
ග්‍රීක ප්‍රහසන නාට්‍යකරුවකු වූ ඇරිස්ටොෆානීස්ගේ “වළාකුළු” නම් නාටකයත්, ප්ලේටෝ ලියූ සොක්‍රටීස්ගේ අවසාන දවස ගැන කියවෙන Dialognes යන කොටසක් ඇසුරෙන් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සොක්‍රටීස් නාට්‍යය නිපදවූයේය. 

සොක්‍රටීස් මරණයට මුහුණ දෙන ආකාරය එහි අපූරුවට රඟ දැක්විණි. ක්‍රි.පු. 5 වැනි සියවසේ විසූ සොක්‍රටීස්ට මරණ දඬුවම නියම වෙයි. බලධාරීන් දෙන වස බඳුන පානයකොට එම දඬුවම විඳින්නට ඔහුට නියම වෙයි. නිලධාරින්ට පගාව දී විෂ බඳුනේ විස තුනී කරන්නට අවස්ථාව ලැබුණත් සොක්‍රටීස් එසේ කිරීමට එකඟ වන්නේ නැත. වස බඳුන දෝතින් පානය කරන අවස්ථාවේ ඔහුගේ ශිෂ්‍යයෝ විලාප නගති. ඔහු දෙන පිළිතුරු මෙයයි.

“සැබවින්ම දරුවනි මේ කිනම් හැසිරීමක් ද? මෙවැනි හැඬුම් වැළපුම්වලින් බාධා වන නිසයි මා සුතනඹුවන් පවා සිරකුටියෙන් අහක් කර තැබුවේ. මෙලොවින් තුරන් වී යන මොහොතේ මගේ සිත ප්‍රශාන්ත කර ගැනීම සඳහා සන්සුන්වන්න. සිත දිරිමත් කරගන්න. අපට නැතිවෙන්නට කියා අමුතු දෙයක් මේ ලෝකේ නෑ.”

අහසින් වැටී මැරුණත් පොළොවේ හැපී මැරුණත් අප ඉගෙන ගත යුත්තේ මැරෙන්නට නොව ධෛර්යයෙන් යුතුව මොහොතක් හෝ ජීවත් වන්නටය.

 සමන් පුෂ්ප ලියනගේ

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00