2019 මාර්තු 09 වන සෙනසුරාදා

කතරගම පුරාණ කිරි විහාරය ඇතුළේ ගිනි තබා ගැනීම

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 117

ඓතිහාසික රුහුණු මහා කතරගම අනාදිමත් කාලයක සිට පැවතෙන්නේ සර්ව ආගමික මධ්‍යස්ථානයක් ලෙසය. මේ පූජනිය වූ පිං බිමට බෞද්ධ, හින්දු, දෙමළ, කතෝලික, මුස්ලිම් ඇතුළු විවිධ ආගම් නියෝජනය කරන බැතිමතුන් දහස් ගණනක් දිනපතා පැමිණෙන්නේ එහි ඇති අනුහස් නිසාවෙන් බව නම් ඉතා පැහැදිලිය. බුදුන් වහන්සේගේ පාද ස්පර්ශය ලද කිරිවෙහෙර පූජා භූමියත් කතරගම දෙවිහාමුදුරුවන් වැඩසිටින මහානුභාවසම්පන්න දේව මාලිගාවත් ඇතුළු පරිවාර දේවාල හා කෝවිල් රැසක් වන්දනාමාන කිරීමට එහි පැමිණෙන බැතුමතුන්ට හැකියාව තිබේ. සිය බලාපොරොත්තු මුදුන්පත් කරගැනීමට මෙන්ම යම් වැඩක් ආරම්භ කිරීමට මත්තෙන් හෝ අලුතින් වාහනයක් ගත් විගස මෙන්ම වෙනත් ඕනෑම කාර්යයකදී පවා බැතිමතුන්ගේ මතකයට මුලින්ම එන්නේ කතරගම පුදබිමයි. ඒ මෙහි ඇති අනුහස් නිසාවෙනි.

කතරගම දෙවිහාමුදුරුවන්ගේ ආනුභාවය කියාපාන තවත් එක් සිදුවීමක් පසුගිය 03 දින කතරගම පුදබිම තුළ සිදුවූයේ දෙනෝ දහසක් බැතිමතින් බලා සිටියදීය. දිනය මාර්තු 03 වන දිනය. ඉරිදා දිනයක් වූ නිසාවෙන් මෙදින කතරගම පුද බිමද බැතිමතුන් විශාල පිරිසකින් පිරී පැවතිණි. වේලාව පෙරවරු 9.30ට පමණය. කතරගම ප්‍රධාන දේවාලය, අෂ්ඨ ඵල බෝධීන් වහන්සේ හා ඒ අවට  සිටි බැතුමතුන්ට ඇස් අදහාගත නොහැකි දෙයක් සිදුවූයේ පුරාණ කිරි විහාරය තුළිණි. එකවරම පුරාණ කිරි විහාරය තුළින් අහසට මහා දුම් රොටු සමගින් මහා ගිනි ජාලාවක් පැන නැගුණේ කිසිවකුටත් කිසිත් සිතා ගත නොහැකි අයුරිනි. ඒ අවස්ථාව වනවිට වන්දනා මාන කරමින් සිටි පිරිසද තරමක් කලබලයට පත්වූයේ ‘මේ මොන අපරාධයක්ද දෙයියනේ’ කියමිනි. ඒ අවස්ථාව වනවිට කිරි වෙහෙර විහාරාධිකාරී තලගල ඥානින්ද හිමියන් වැඩ සිටියේ පුරාණ කිරි විහාරය පිහිටි ගොඩනැගිල්ලට පිටුපසින් ඇති අෂ්ඨ ඵල බෝධීන් වහන්සේ අසලය. කිරි විහාරය දෙසින් අහසට නැගුණු දුම්රොටු දුටු උන්වහන්සේ වහා ක්‍රියාත්මක වූහ. කිරි විහාරය දෙසට පැමිණි උන්වහන්සේට එක් බැතිමතෙකු පැවසුවේ හාමුදුරුවනේ මනුස්සයෙක් ගිනි තියාගත්තා කියාය.

සිදුව ඇති නස්පැත්තිය තේරුම්ගත් උන්වහන්සේ පූජා භුමියේ සිටි සිවිල් ආරක්ෂක නිලධාරීන් පොලිස් නිලධාරීන් හා කපු මහත්වරුන්ගේ සහාය ඇතිව වහා කිරි විහාරය තුළ සිටි බැතුමතුන් නිරුපද්‍රිතව බේරාගත් උන්වහන්සේ කිරි විහාරය තුළ පිළිස්සුම් තුවාල සහිතව බිම වැටී සිටි පුද්ගලයාද ඉන් පිටතට ගෙන කතරගම දේවාලයේ ගිනි නිවීමේ බවුසර් මගින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළහ. තුවාල ලැබු පුද්ගලයාද කතරගම දිසා රෝහලට ඇතුළත් කරනු ලැබීය.

පසුව සිදුකළ සොයා බැලීමේදී අනාවරණය වූයේ පුරාණ කිරි විහාරය තුළට පැමිණි පුද්ගලයකු ඇඟ බෙඩ්ෂීට් එකකින් වෙලාගෙන ඒ තුළට පෙට්‍රල් වත් කරගෙන කිරි විහාරය තුළ ඇති පහනකින් සිය සිරැරට ගිනි තබාගෙන ඇති බවයි. එම ගිනි තබා ගැනීම හේතුවෙන් විහාර මන්දිරයේ තිබූ තිරවලට ගින්න ඇවිලි කිරි විහාරය පුරා ගින්න පැතිරී ගොස් තිබුණි. මෙලෙස සිරුරට ගිනි තබාගෙන තිබුණේ අංක 287, කුඩා ගම්මාන 08, රන්මිණිතැන්න, තිස්සමහාරාම ලිපිනයේ පදිංචිව සිටි අබේසිංහ ලියනආරච්චිගේ සුමනසිරි නැමැති 59 හැවිරිදි සයදරු පියෙකි. ඔහු කාලයක් තිස්සේ මානසික රෝගයක් සඳහා ප්‍රතිකාර ලබා ගනිමින් සිටි පුද්ගලයකු බව කියති. ඔහුට ඉදිරි කාලය සාර්ථක කර ගැනීමට නම් කතරගමදී සිඟමන් යැද ජීවත්වන ලෙස හීනෙන් කියා ඇති බවත් ඒ නිසා ඔහු සිත්තැවුලෙන් සිටින බවටත් ඔහු සිය යහළුවන් කිහිප දෙනෙකුට පවසා ඇති බව අනාවරණය විය. කතරගම පුදබිමට පසුගිය දින කිහිපයේම පැමිණ ඇති මෙම පුද්ගලයා කතරගම පුද බිමට පැමිණි කිහිප දෙනකු සමඟද මේ බව පවසා තිබිණි. කෙසේ වෙතත් තමන් දුටු බව කියන හීනය නිසා දැඩි සිත්තැවුලට හා මානසික  ආතතියෙන් පසුවී ඇති මෙම පුද්ගලයා ඉකුත් 03 වන දින කතරගම පුදබිමට පැමිණ ඇත්තේ බෙඩ්ෂිට් එකක් හා පෙට්‍රල් බෝතලයක්ද අතැතිවය. ඒ අනුව මෙම පුද්ගලයා පුරාණ කිරි විහාරය තුළට ඇතුළු වී බෙඩ්ෂීට් එක ඇඟ මතට දමාගෙන ඒ තුළට පෙට්‍රල් වත් කරගෙන තිබේ. පසුව අසල දැල්වෙමින් තිබු පිත්තල පහනින් පහන් තිරයක් ගෙන සිය සිරුරට ගිනි දල්වාගෙන තිබේ. ගිනි ගැනීම හේතුවෙන් විහාරයේ සිවිලිමට, බිත්තිවලට හා වහලටද හානි සිදුව තිබුණි. ගිනි ගැනීමට ලක් වූ පුද්ගලයාද වහා කතරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහු රෝහලට රැගෙන යන අවස්ථාවේ අනේ මාව බේරා ගන්න යැයි කෙඳිරිගාමින් කියා තිබේ. කෙසේ වෙතත් ඔහු රෝහලට රැගෙන ගොස් වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා ඇතත් දැඩි පිළිස්සුම් තුවාල හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්විය.

එක් පුද්ගලයකුගේ අදූරදර්ශී ක්‍රියාවක් හේතුවෙන් සිදුවන්නට ගිය මහා විපත්තියක් කතරගම දෙවිහාමුදුරුවන්ගේ අනුහසින් වැළකී ගිය බව නම් ඉතා පැහැදිලිය. අප එසේ කියන්නේ හේතු කාරණා කිහිපයක් නිසාවෙනි. පුරාණ කිරි විහාරයට එක් පසකින් ඇත්තේ කතරගම මහා දේවාලයයි. අනෙක් පසින් ඇත්තේ ශිව දේවාලයයි. මේ දේවාල දෙකෙහිම වහල මත අතුපන්දලම එලා තිබේ. මෙහි ඇති අතුපන්දලම (කොළ අතු) ඉතා හොඳින් වියළී තිබේ. කිරි විහාරගෙයි වහළටත් උඩින් ගිනි දැල් මතුව ගියත් එහි පිහිටි බුදු පිළිම වහන්සේට කිසිදු හානියක් සිදු නොවිණි. එක ගිනි පුපුරකුද කතරගම මහා දේවාලයට හෝ ශිව දේවාලයේ අතුපන්දලම මතට නොගියේ දේව හාස්කම නිසාවෙන්මය. නිකමට හෝ එක් ගිනි පුපුරක් හෝ අතු පන්දලම මතට ගියේ නම් සිදුවන්නට තිබුණේ මහා විපත්තියකි. 

කතරගම දෙවියන් ඇතුළු තිස්තුන් කෝටියක් දෙවියන් වැඩ සිටින හා බුදුන් වහන්සේගේ පාද ස්පර්ශය ලද මේ පිංබිම නැවත වරක් මහා විපත්තියකින් බේරුණි. මීට පෙරද කොටි ත්‍රස්තවාදින් විසින් පෙරහැර මංගල්‍ය පැවති අවස්ථාවක බැතිමතුන් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල කෙරුණේ වසර 11කට 12කට පමණ පෙරය. එහිදී බැතුමතුන් කිහිප දෙනෙකුට සුළු තුවාල පමණක් සිදුවූයේ දේව හාස්කමකටය. එසේ නොවන්නට එදා සිය ගණනක් පිරිස මියයන්නට තිබුණි. ඉන් වසර කිහිපයකට පසුව පසුගිය 2018 වසරේදී කිරිවෙහෙර වහන්සේ අභියසදී කිරිවෙහෙර විහාරාධිපති, රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන්ටද රුදුරු වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කෙරුණි. එහිදීද උන්හන්සේගේ දිවි රැකුණේ මේ පිංබිමේ ඇති ආනුභාවය තවදුරටත් ලොවට පසක් කරමිනි. දුටුගැමුණු රජ දවස පටන්ම කතරගම මහ දේවාලයට පූජාව තැබීමට මත්තෙන් එහි පළමු කොටස බුදුන් වහන්සේ වෙනුවෙන් පුජාකරනු ලබන අතර එම කාර්යය එදා පටන්ම සිදුවන්නේ මෙම ගිනි ගැනීමට ලක් වූ පුරාණ කිරි විහාරය තුළදීය.

කිරිවෙහෙර රාජමහා විහාරාධිපති, රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන් පැවසුවේ මෙවන් අදහසකි.

“කිරි වෙහෙර පූජාභූමියේ මෙවැනි සිදුවීමක් සිදු වූ පළමු අවස්ථාව තමයි මේ. පුරාණ කිරි විහාරය කියන්නේ දුටුගැමුණු රජ දවස ඉඳන් රුහුණු මහා කතරගම ඇසළ මංගල්‍යයේ පිරිත් නිලය කරන්න කලින් ඒ පිරිත් නිලය බාර භික්ෂුන් වහන්සේ මේ විහාරයට පැමිණ පුද පූජා පවත්වා පසුව කිරිවෙහෙර වහන්සේ අභියසට ගොස් පුද පූජා පවත්වා තමයි පිරිත් නිලයේ වැඩ ආරම්භ කරන්නේ. මේක පුරාණ චාරිත්‍රයක්. එම විහාර ගෙය තුළ සිට තමයි මේ ගිනි තබා ගැනීම සිදුව තියෙන්නේ. ගිනි ගැනීම සිදු වූ වහාම මා එම ස්ථානයට ගොස් අවශ්‍ය කටයුතු සොයා බැලුවා. කතරගම බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස මේ සඳහා විශාල සහයෝගයක් වුණා. රුහුණු කතරගම මහා දේවාලයේ ගිනි නිවීමේ රථ පැමිණ ගින්න මැඩ පවත්වා විහාරගෙය එම අවස්ථාවේදීම පිරිසිදු කිරීම් කළා. මේ වනවිට මෙම බුද්ධ මන්දිරය තිබූ පරිදිම සකස් කිරීම සඳහා දානපතියන් කිහිප දෙනෙකුම හා බැතුමතුන් විශාල පිරිසක් ඉදිරිපත් වෙලා තියෙනවා. කතරගම මහ දේවාලයට හා අනෙකුත් දේවාලවලට පැමිණෙන බැතිමතුන් පළමුවෙන්ම වන්දනාමාන කරන ස්ථානය තමයි ගිනි ගැනීමට ලක් වූ පුරාණ කිරි විහාරය. මේ ගිනි ගැනීම් නිසා වෙනත් කිසිදු පුද්ගලයකුට කිසිදු හානියක් සිදුව නෑ. මේ හේතුව නිසා බැතිමතුන්ට වන්දනා මාන කිරිමේ කිසිදු බාධාවක් නෑ. පුරාණ කිරිවෙහෙර විහාර සුද්ධ පවිත්‍ර කිරීම සඳහා පසුදින දහවල් වනතෙක් පමණක් වසා තැබුණා. දැන් නැවතත් විහාරය වන්දනා මාන කිරීමේ හැකියාව තියෙනවා. ගිනි ගැනීමෙන් විනාශ වි ඇති තිර හා බිත්ති මත හා සිවිලිමේ තිබූ සිතුවම් නැවත් අලුත්වැඩියා කිරීමේ කටයුතුත් කඩිනමින් සිදුකර අවසන් කිරීමට පියවර ගන්නවා.

සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.ඒ.එස්.යූ. ලියනගම මහතාගේ ප්‍රධානත්වයේ විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර තිබේ.

Iසටහන හා සේයාරූ - සූරියවැව නුවන් ජයසේකර