2019 මාර්තු 09 වන සෙනසුරාදා

ඉන්දියාවේ සැලුන්වලින් අභිනන්දන් කට්

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 138

කාශ්මීර ශීත කඳු ශිඛර අතරින් පුපුරු ගසා මතුවී ලොවපුරා ඇවිල යන්නට මුලපිරෑ ආසියානු න්‍යෂ්ඨීක යෝධයන්ගේ යුදගින්න මහා  ලෝක යුද්ධයක් වීම  යාන්තම්  වැළකී ගියේය. 1992දී ලෝක කුසලානයද ක්‍රිකට් උපන් රටෙන් උදුරාගන්නට තරම් කට්ට සූර උපායශිලී නායකයකු වූ ඉම්රාන් ඛාන්ගේ දූරදර්ශී ඉක්මන් තීන්දුවක් හේතුවෙනි. ඒ පියවරත් සමඟ ඉම්රාන් සිය රට තුළද ලෝකය තුළද අතිමහත් ප්‍රසාදයක් දිනාගත් අතර ඔහුගේ නම නොබෙල් තෑග්ග සඳහාද යෝජනා කළ යුතුයැයි හාහෝවක් පවා නැගුණි. ඉන්දීය අගමැති මෝදි සිය රටේ ජනතාව හමුවේද ලෝකයා හමුවේද අප්‍රසාදයට ලක්ව සිය ජනකාන්ත ප්‍රතිරූපයේ දැලි ගා ගත්තේය. ඒ අතර සමාජ ජාල ඇතුළු මාධ්‍ය තුළ  කාටුන් රූප මේ සිද්ධිය විවරණය කළේ මෝදිගේ රොකට් මෝදි වෙතටම පත්තු වූ හැටියටය. ඒ අතර ඉන්දියානු හුදී ජනතාව සිය උන්මාදනීය අභීනන්දනය පුද කරන්නට අලුත් වීරයෙක්ද සොයා ගත්තේය. ඔහු පාකිස්තානයට බෝම්බ හෙළන්නට ගොස් ඉම්රාන්ගේ පිහිටෙන් දිවි ගලවාගත් ගුවන් නියමු අභීනන්දන්ය.

මෝදිගේ දේශමාමක තෙල් බේත් වඩියෙන් වියරැ වැටී බොලිවුඩ් පන්නයේ සුපිරි වීරයෙක් සොයමින් උන් ඉන්දියානු ගැලරි මානසිකත්වයේ ජනසංගය මතට අහසින් තරුවක් කඩා වැටුණු තරම් ත්‍රිලක් ඇතිකිරීමට අභීනන්දන් භූමිකාව සමත් විය.   

ඉන්දියානු කොටසට අයත් කාශ්මීර භූමියේ දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් හටගත් කාශ්මීර සීමාවේ ඉන්දු පාකිස්තාන යුද්ධයේ සිරකරුවකු ලෙස අල්ලාගත් අභීනන්දන් නැවත ඉන්දියාවට පැමිණෙන විට දස දහස් ගණන් ජනකාය ජාතික වීරයෙකු පිළිගන්නට මෙන් උත්සවශ්‍රීයෙන් යුතුව එක්වූහ. පාකිස්තාන ප්‍රහාරයෙන් සිය යානය ඇදවැටුණු සැණින් අභීනන්දන් ජාතිමාමක උන්මාදිත ජනයාගේ වීරාභිවාදනයට ලක් විය. අභීනන්දන් හුරේ! රැල්ලක් ට්විටර් සමාජ ජාලය කළඹා නැගී ආවේය. ඔහුගේ උඩුකය ඡායාරෑපය සහිත පෝස්ටර රටපුරා පැතිර ගියේය. මුදු වෙරළේ වැලි මාලිගා පවා සැරසුණේද අභීනන්දන්ගේ රුවෙනි. ඉන්දීය ධජය ප්‍රාන්ත පුරා ලෙලදෙන්නට වූයේ පාකිස්තාන භූමිය ඉන්දියාවට යටත් කරගත් තරම් උද්දාමයකට පත්වූ දේශ මාමකයන් හේතුවෙනි. රටපුරා ගිනිකෙළි හඬ රැව් නැගුණි. ඒ සියල්ල අතර රටපුරා අලුත්ම විලාසිතා රැල්ලක්ද පැතිර යන්නට විය. ඒ අභීනන්දන්ගේ රැවුල් මෝස්තරයයි. නේරු තොප්පිය, ගාන්ධි තට්ටය මෙන්ම මෝදි ජැකැට්ටුවද ඉන්දියාවේ මතු නොව අපේ රටේද විලාසිතාවන් ලෙස පැතිර ගිය ආකාරයට අභීනන්දන් උඩුරැවුලද ඉන්දියාවේ තරැණ පිරිස අතර රටපුරා උන්මාදයක් සේ පැතිර ගොසිනි. බයිසිකල් හැන්ඩ්ල් දෙකක් සිහිගන්වන අභීනන්දන් උඩුරුවුල ඉන්දියාවට අලුත් “කට්” එකක් නොවේ. බොලිවුඩ්, කොලිවුඩ් වීරයන් අතර බහුල ඒ නිසාම රටපුරා පතළ වී තිබු “බජාර් කට්”එකකි. මේ දිනවල ඉන්දියානු සැලූන් අසල පෝලිම් දිගුව ඇත්තෙ අලුත්ම “අභීනන්දන් කට්” තමන්ටත් තබාගන්නට ආ පිරිස හේතුවෙනි. සැලුන් දෙස බලමින් සමහරු සුසුම් හෙලන්නේ “අභීනන්දන් කට්” තබාගන්නට තරම් තමන්ගේ රැවුල වැඩී නැති නිසාය.. මොවුන් සලකන්නෙ ඔහුගේ උඩුරැවුල නිර්භීතත්වයේ සලකුණක් ලෙසටය. වඩාත් අපූරුව බැංගලෝරයේ ඇතැම් කොණ්ඩා කපන සැලූන් ඉකුත් සඳුදා දිනයේදී අවශ්‍ය පුද්ගලයින්ට නොමිලේ එම උඩු රැවුල් විලාසිතාව කපා ගැනීමේ අවස්ථාව උදාකරදී තිබිමය.

ඉන්දියාවේ වඩාත්ම ජනප්‍රිය කිරි ආහාර සන්නාමය වන අමූල් සමාගමද සිය ප්‍රචාරණ කටයුතුවලට ගුවන් නියමුවාගේ උඩුරැවුල යොදාගෙන තිබේ. කිරි වීදුරුවක් අත දරා උඩුතොල මත “අභීනන්දන්කට්” එක බඳු කිරි රැවුල සටහන් වූ දරුවකුගේ රුවක් සහිත දැන්වීමක් යොදා ගනිමිනි. මෙබඳු නරිනාටක ඉන්දියාව පුරා පැතිර යද්දී පාකිස්තානය සහ ඉම්රාන් ඛාන් තමන්ගේ ප්‍රතිරූපය ජාත්‍යන්තර තලයේදී කැපී පෙනෙන මට්ටමකට පත්කර ගන්නට කටයුතු කළහ.

ඇවිලෙන්නට ගිය යුද්ධයක් නිහතමානිකම නිසාම වැළැක්වීමට සමත්වීම සම්බන්ධයෙන් ඉම්රාන්ගේ නම නොබෙල් සාම ත්‍යාගයට යෝජනා කළ යුතුයැයි අදහසක් ඉදිරිපත් විය. මේ අදහස අවඥාවෙන් බැහැර කළ ඉම්රාන් කාශ්මීර දරුවන් තුළ බෝම්බ බිය තුරන් කිරීම තමන්ට ඊට වඩා බොහෝ වටිනා බව ලෝකයටම කිවේය.
ඒ අතර කාශ්මීර පුල්වාමා ප්‍රදේශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් 44 දෙනෙකු පාකිස්ථාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් බව වාර්තාවිය. අදාළ ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ බවට චෝදනා එල්ල වූ ජායිශ් ඊ මොහොම්මද් සංවිධානයේ නායක මසූඩ් අසාර්ගේ පුත්‍රයෙකු සහ සහෝදරයෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිය භූමියට අරක් ගත්  ත්‍රස්තවාදී කණ්ඩායම් මැඩපැවැත්වීමට කටයුතු නොකරන බවට පාකිස්ථානයට ලොව විවිධ රටවලින් එල්ල වු බලපෑම් සහ දෝෂාරෝපණවලට මෙය කදිම පිළිතුරක් විය.

ඒ අතර අන්තර්ජාලය ඔස්සේ සංසරණය වූ අපුරු ලිපියක් ඉන්දියානු වීරයාගේ හුළං බැස්සූ අතර මේ සිද්ධියේ යථාව ලොවට පැහැදිලි කළේය. මේ ලිපිය අභීනන්දන්ගේ කුඩා පුත්‍රයාට පාකිස්තාන හමුදා සෙබ‍ළෙක් යැවු ලිපියක් ලෙස දක්වා තිබුණී. එහි සැඟවුනු අර්ථය ඉන්දියාවේ අභීනන්දන් නරිනාටකය උපහාසයට ලක් කිරීමය. රටකට බෝම්බ දමන්නට ආ තැනැත්තෙක් වීරයෙක් වන්නේ කෙසේද? ලියුම්කරු ඒ ප්‍රශ්නය ලෝකය හමුවේ නගන්නේ මෙන්න මේ පහත සඳහන් අපූරු ආකාරයටය.

Hi little bunny!! Congrats you are going to hug your Dad very soon. We are sending him back to you as a gift no matter if he came to bomb many like you. Bunny listen! i have a request to you. When he will rush and hug you tight, kindly ask him few questions on my behalf. Ask him: Dad dont kashmiri kids like me have any right to live happily with their Dads? Ask Him what if they have left you on the mercy of violent Mob? Ask Him what wars and hatred cost? Ask him whats is more powerful? Hate of love? Ask Him what is more beautiful life or Death? I will be awaiting the answers of these questions’ Stay happy little bunny, I wish you to visit us one day with your dad taking flowers in hands rather than missiles and bombs. Han one thing more, I promise you we will not let anybody snatch your smile and use our land for destruction. Stay happy with your Dad.
Humanity lover


(උපුටා ගැනීමකි!) එහි සිංහල පරිවර්තනය ‍මෙසේය.
“හායි! පුංචි හා පැටියෝ...”
සුභ පැතුම්, ඔබට ඔබේ තාත්තා  ඉතා ඉක්මනටම  නැවත දැක වැළඳ ගැනීමට ලැබේවි. ඔහු මෙහි ආවේ ඔයා වගේ බොහෝ දෙනා බෝම්බ දමා විනාශ කිරීමට වුවද නැවත ඔහුව අපි ඔබ වෙත එවන්නෙ තෑග්ගක් හැටියටයි. හා පැටියෝ මේ අහන්න. මට ඔබෙන් එක් ඉල්ලීමක් තිබෙනවා කරන්න... ඔබේ පියා ආපිට පැමිණි සැනින් ඔබ තදින්, ආදරයෙන් වැළඳ ගනීවී.... එවිට ඔබ අප වෙනුවෙන් මෙලෙස අසන්න.

කාශ්මීර දරුවන්ටද ඔබට මෙන් ඔවුන්ගේ පියවරුන් හා සතුටින් සිටීමට අයිතියක් නැතිද? කියා අසා දැනගන්න ඒ දරුවන්ගේ තැන ඔබ සිටියානම් ඔබේ පියාට කුමක් සිතේවිදැයි? අසන්න ඔහුගෙන් යුද්ධයට සහ වෛරයට කොපමණ වැය වෙන්නේදැයි? විමසන්න. ඔහුගෙන් වඩා බලවත් ආදරයද? වෛරයද කියා? කුමක්ද වඩා පියකරු, ජීවිතයද? මරණයද? කියා. මා ඔබෙන් පිළිතුරු ලබෙනතුරු නොඉවසිල්ලෙන් බලා සිටිනවා.

පුංචි හා පැටියෝ සතුටින් ඉන්න. මා බලාපොරොත්තු වෙනවා දිනෙක ඔබ සහ ඔබගේ පියා නැවත අප දකින්නට පැමිණේයැයි. එදිනට ඔහු අත ආයුධ නොව මල් පොකුරක් තිබෙනු ඇතැයි. එසේම අප ඔබට පොරොන්දු වෙනවා කිසිදා ඔබේ සතුට සහ සිනහව උදුරා නොගන්නා බවට සහ අපගේ භූමිය විනාශ කරන්නට කිසිවෙකුට ඉඩ නොදෙන බව. සැමදා පියා සමඟ සතුටින් සිටින්න.

- මිනිස්වර්ගයාට ආදරය කරන්නෙක්!

සුගත් පී. කුලතුංග ආරච්චි

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00