2019 මාර්තු 09 වන සෙනසුරාදා

බුද්ධිගෙන් සොඳුරු පොතක්!

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 122

එදවස සොඳුරුමය මුලින්ම පාඨකයාට කියවීමට ලැබෙන්නේ 2012 වසරේදීය. එදා සිට අද දක්වාම පාඨකයෝ එදවස සොඳුරුමය කියවති. සත් අවුරුද්දක් තිස්සේ අඛණ්ඩව පාඨක ආදරය දිනාගනිමින් තීරු ලිපියක් ලිවීමට මෙන්ම මුද්‍රිත සංග්‍රහයන් පහක් පළ කිරීමට ලැබීම පිළිබඳවද සිතට දැනෙන්නේ අහිංසක සතුටකි. පාඨක අනුග්‍රහයෙන් තොරව වසර හතක් තිස්සේ සතිපතා තීරුවක් රචනා කිරීම නම් අතිශයින්ම දුෂ්කර අභියෝගයක් බව දනිමි. මෙහි කතුවර බුද්ධදාස ගලප්පත්ති පෙරවදනෙහි පවසයි.

බුද්ධිගේ එදවස සොඳුරැමය පාඨක සිත් සතන් ග්‍රහණය කර ගැනීමේ මූලික හේතුව නම් එම රචනාවල ඇති හෘදයංගම ආමන්ත්‍රණයයි. කතුවරයා පාඨකයාද රසවින්දනවලට හවුල් කර ගනී. එවිට පාඨකයාටද කතුවරයා රසවිඳි චිත්‍රපටයක්, නාට්‍යයක්, කවි පොතක්, වෙනත් කලා කටයුත්තක් ඔහුගේ කෝණයෙන් වින්දනය කළ හැකි වේ. එදවස සොඳුරැමය 5 කෘතියේ ඇතුළත් රචනා පුද්ගලාභිවාදන, කලා රසවින්දන, සාහිත්‍ය රසවින්දන ආදී වශයෙන් බෙදා දැක්විය හැකිය. මෙලෙස කුමන ආකාරයෙන් වර්ග කළත් ඒ හැමෙකක්ම එකට බැඳී සිටින හුයක් වන්නේ කතුවරයාගේ හෘදයාංගම රසාලිප්ත බස්වහරයි. සෑම ලිපියකටම පාහේ දිගුකලක් කලා ක්ෂේත්‍රයේ නිරතවීමෙන් ලද අත්දැකීම්ද මුසු කිරීමට කතුවරයා අමතක නොකරයි.

මෙහි එන %මානික්කවාසගර් ඉලන්චේලියන් විනිසුරුතුමා නම් ලිපිය සංහිඳියාව පිළිබඳ හැඟීම්බර ප්‍රකාශනයකි. මේ සිද්ධිය හරහා කතුවරයා මහගම සේකරගේ ‍බෝඩිම කාව්‍යයේ උපුටනයක් සඳහන් කරයි.

ධර්මෙ
කාසිම්
රාජසුන්දරම්
මෙහෙ වරෙල්ල
අපි ඔක්කොම එකතුවෙලා
මේ ලෝකය
යහපත් තැනක් කරමු මීට වැඩිය....

සේකර එදා 1970 දී දැකපු දේ නොවෙද ඉලන්චේලියන් මහාධිකරණ විනිසුරුතුමා අද ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙන්නේ. (20 පිටුව)

දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්, කවීන්ද්‍ර පරාක්‍රමගේ කවි පරාක්‍රමය ලිපියෙන් කතුවරයා කවීන්ද්‍ර පරාක්‍රම කොඩිතුවක්කුගේ කවි රසවිඳීමට පාඨකයා කැඳවන්නේය. පරාක්‍රම කොඩිතුවක්කු නවීන කවියේ විශිෂ්ටයා වන්නේ ඔහු තම ජීවන අනුභූතීන් කෙරෙහි හෙලන දයාර්ද්‍ර වූත්, මානව හිතවාදී වූත් දෘෂ්ටිය නිසාය. ඔහුගේ කවිය කියවා රසවිඳ අවසන් කළ නොහැකි කවියක්ය (29 පිට)

ආචාර්ය අමරදේව, නාමෙල් හා මාලනී වීරමුණි, සුගතපාල ද සිල්වා, බන්දුල ජයවර්ධන, ප්‍රදීපා ධර්මදාස, ආරියරත්න ඇතුගල, මොනිකා රුවන්පතිරණ, මහාචාර්ය ජේ.බී. දිසානායක, ඇන්ජලීන් ගුණතිලක, ආචාර්ය ධර්මසේන පතිරාජ, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ලූෂන් බුලත්සිංහල, මාලනී ෆොන්සේකා වැනි ප්‍රකට නිර්මාණකරැවන් හා සහෘද සංවාදයක යෙදෙන බුද්ධදාස ගලප්පත්ති අප නොදන්නා අප්‍රකට චරිතද වේදිකාවට කැඳවයි. තිලිණි නදීකා ෂැල්වින් නම් ගුරුවරිය එවන් චරිතයකි. ඇය දෙරණ ටීවී වසරේ ශ්‍රී ලාංකිකයා සම්මානයෙන් පුද ලද ඈත දුෂ්කර පළාතක ගුරැවරියකි. ඇය එවන් ස්ථානයකට පැමිණියේ කෙසේදැයි බුද්ධි කදිමට විස්තර කරයි.

ඔහුගේ තවත් තීරැ ලිපියකට පසුබිම් වන්නේ පොලීසියේ සිටින මානව දයාව හඳුනන නිලධාරී පිරිසකි. මාදම්පේදී ගංවතුරට හසුවූ පිරිසක් බේරාගැනීමට යාමේදී මියගිය මාදම්පේ පොලීසියේ ඩී.පී. නිලාන් සම්පත්, වෙඩි තබාගෙන මියගිය ගොකරුල්ල පොලීසියේ කේ. විමලරත්න එම නිලධාරීන් දෙදෙනා වෙති. විමලරත්න වෙඩිතබා ගන්නේ තම බිරිය මියගිය සොවෙනි. එහෙත් එය අනුමත කළ හැකි නොවේ. ඒ පිළිබඳව කතුවරයා තම මතය ඉදිරිපත් කරන්නේ ලතෙත් ගුණැති ශෛලියකිනි.
විමලරත්න තම ගිනි අවියෙන්ම දිවිතොර කර ගැනිම අපට පෙනෙන්නේ, තම ප්‍රාණසරි බිරිය කෙරෙහි ඔහු සිත තුළ වූ අප්‍රමාණ ආදර භක්තිය හා දයාව පිරුණු ස්වාමිපුරුෂයකුගේ ක්ෂණික, එහෙත් එක්තරා ආකාරයක අනුවණ තීරණයක් ලෙසයි. සිය පණ හානිකර ගැනීම අනුවණ ක්‍රියාවක් සේ හැඟුණද ඉන් පෙනෙන්නේ කොස්තාපල් විමලරත්න හා ඔහු බිරිය අතර පැවතියා වූ ගේහසිත ප්‍රේමයේ උදාරත්වය නොවේද? (193 පිට)

සම්භාව්‍ය සංගීතඥයන් මතු නොව නවීන රොක් සංගීතඥයන්ද බුද්ධිගේ විමසුමට ලක්වේ. සංගීතයේ උඩුගං බලා පිහිනන යාත්‍රිකයා මිහිඳු ආරියරත්න^ එවන් ලිපියකි. &මිහිඳු ආරියරත්න නම් වූ මේ තරුණ ගායකයා වර්තමානයේ අපට නිතර හමුවන සුපර් ස්ටාර් ගායක රෝගයෙන් මිදුණු රියලිටි ෂෝ උන්මාදයට හසු නොවූ එසේම සම්ප්‍රදායට ගැති නොවී නව මං සොයමින් සංගීත ලොවින් උඩුගං බලා පිහිනමින් සිටින අපූර්ව කුසලතා සතු චරිතයක් දෙස දකිමු (229 පිට)

මෙහි ලිපි අතර මාලිනියේ ඉන්ද්‍රජාලය නම් ලිපිය මාලිනී ෆොන්සේකා පිළිබඳ ගැදි කවක් වැන්න. එහිදී කතුවරයා මේ නිළියගේ ප්‍රතිභාව පිළිබඳ අපූරැ උදාහරණ ගෙනහැර පායි. මාලනී ෆොන්සේකා යනු රිදී තිරයේ විස්මිත රඟසොබා මැවූ දශක පහක් පුරා අපගේ දේශයේ රසික ජන සමූහයාගේ හදවත්හි ජීවත්වන ආකාස කුසුමයි. ඇගේ රංගනයෙන් වශී නොවුණු නෙතක්, සිතක් කොහිවේදැයි නොදනිමි. (262 පිට)

- පාඨක

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00