2019 මාර්තු 02 වන සෙනසුරාදා

ලෝකෙ හොඳම ගුරුවරු 10 අතරට ගිය ශ්‍රීී ලංකාවේ යසෝදායි

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:31 398

ලොව හොඳම ගුරුවරයා තේරීමේ තරගයේ අවසන් දසදෙනා අතරට තේරී පත්වූ ශ්‍රී ලංකාවේ උපන් ඔස්ට්‍රේලියානු ගුරුවරියක පිළිබඳ අපූරු කතාවක් අපට හමුවිය. මේ ඇගේ කතාවයි. නමින් යසෝදායි සෙල්වකුමරන් වන ඇය ඉපදී ඇත්තේ ශ්‍රී ලංකාවේදීය. අසූව දශකයේ අගභාගයේ ශ්‍රී ලංකාවේ පැවති අයහපත් දේශපාලන වාතාවරණය හේතුවෙන් යසෝදායිගේ මාපියන් ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් තිබේ. ඒ වනවිට ඇය වයස මාස දහයක සිඟිති දියණියකි. ඒ අනුව යසෝදායි හැදී වැඩුණේ ඔස්ට්‍රේලියාවේය.

අද වනවිට යසෝදායි සෙල්වකුමරන් සේවය කරන්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි රූටි හිල් හයි ස්කූල් (Rooty Hill High school) නම් උසස් පාසලේය. මෙම පාසලේ වැඩි වශයෙන් අධ්‍යාපනය ලබන්නේ සංක්‍රමණික මාපියන්ගේ දරුවන්ය. ඉතිහාසය සහ භූගෝලය විෂයයන් උගන්වන යසෝදායි ගුරුතුමිය එම දරුවන් පිළිබඳ මහත් සෙනෙහසකින් කටයුතු කරයි. එම නිසාම මෙම තරගයේ අවසන් දසදෙනා අතරට පැමිණීමට ඇයට හැකිවිය. ඒ රටවල් 179ක ගුරුවරුන් දස දහසක් අතරිනි. අවසන් දස දෙනා අතරට තේරී පත්වී ඇති එකම ඕස්ට්‍රේලියානු ගුරුවරිය ඇයයි. ඕස්ට්‍රේලියානු මාධ්‍යය ද එය අභිමාන‍ෙයන් යුතුව වර්තා කර තිබේ. ඒ අනුව ග්ලෝබල් ටීචර් ප්‍රයිස් (The Global Teacher Prize) නම් මෙම සම්මාන උළෙලේ අවසන් උත්සවය මාර්තු 24 වැනි දින පැවැත්වීමට නියමිතය. එහිදී ප්‍රථම ස්ථානය දිනාගන්නා ගුරුවරයාට හෝ ගුරුවරියට තමන් කැමති අධ්‍යාපන ව්‍යාපෘතියක් සඳහා අමරිකානු ඩොලර් මිලියනයක ත්‍යාගයක් පිරිනැමෙනු ඇත.

යසෝදායි සෙල්වකුමරන් තමන්ට හිමි වූ අවස්ථාව පිළිබඳ බී.බී.සී. සිංහල සේවයට මෙසේ අදහස් දක්වා තිබේ.

“අපව විනිශ්චය කළේ, විශේෂ තේරීම් ක්‍රමවේදයකට අනුකූලවයි. මම ඉගැන්වීමේ කටයුතුවල නිරත වී ඉන්නකොට ගොඩාක් අවස්ථා හිමිවුණා පාසලෙන් පිටතටත් ගිහින් මගේ අධ්‍යාපනික කටයුතු දියුණු කරගන්න. 2010 වසරේ අග භාගයේ ඉඳලා මම බටහිර සිඩ්නි නුවර රූටි හිල් හයි ස්කූල් එකේ සේවය කරනවා. මම ඒ පාසලට මුලින්ම ගියේ 2009 වසරේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස පුහුණුවක් ලබන්නයි. මගේ දෙමාපියන්, මිතුරන් සහ මට ඉගැන්වූ ගුරුවරුන් නැත්නම් මට කවදාවත් ගුරුවරියක විදිහට මේ තරම් දුරක් එන්න බැහැ. මට උගන්වපු සියලු ගුරුවරුන් මගේ ගුරු වෘත්තියට බලපෑවා. අධ්‍යාපනයට සහ ගුරුවරුන්ට ගරු කිරීමත් එහි ඇති වටිනාකම පෙන්වාදීමත් ගැන මම මගේ දෙමාපියන්ට ස්තුතිවන්ත වෙනවා.”

මේ වසරේ ඕස්ට්‍රේලියාවෙන් යසෝදායි සෙල්වකුමරන් මහත්මිය ඇතුළුව ජපානය බ්‍රසීලය, ඉන්දියාව, ජෝර්ජියාව, නෙදර්ලන්තය, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය වැනි රටවලින් ගුරුවරුන් දස දෙනෙක් අවසන් අදියරට පැමිණ සිටිති. ඇය සේවය කරන උසස් පාසලේ මානුෂික විෂයයන් සම්බන්ධ අංශභාර ගුරුතුමිය වන තේමා වූර්කි පවසන්නේ විවිධ පසුබිම්වලින් පැමිණෙන දරුවන් සමඟ සමීපව ගනුදෙනු කිරීමේ හැකියාව සෙල්වකුමරන් ගුරුතුමියගේ විශේෂත්වයක් බවයි.

රූටි හිල් පාසලේ අධ්‍යාපනය හදාරන බොහෝ සිසුන් ඉංග්‍රීසි කතා නොකරන පසුබිමකින් පැවත එන අතර එම දරුවෝ මෙම ගුරුතුමියට විශේෂ සෙනහසක් දක්වති. ඔවුන් ඇයට ආදරයෙන් අමතන්නේ සෙල්වා ගුරුතුමිය යන නමිනි. මෙම සංක්‍රමණික සිසුන් තමන් වැනි පිරිස් පිළිබඳ ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ සඳහන් නොවීම පිළිබඳ ගැටලු මතුකරන බව සෙල්වා ගුරුතුමිය පවසයි. එම නිසාම ඔස්ට්‍රේලියාව වැනි බහු සංස්කෘතික රටක එම දරුවන්ට ඉගැන්විය යුත්තේ තමන්ද එම රටට අයත් බව හැඟෙන ලෙස බව ඇය පෙන්වා දෙයි. ඕනෑම දරුවෙක් යහපත් ශිෂ්‍යයකු වීමට නම් එම දරුවන්ට සතුටින් ඉගෙනීමේ අවස්ථාවක් තිබිය යුතු බව වැඩිදුරටත් සෙල්වා ගුරුතුමිය පෙන්වා දෙයි.


මේ සියල්ල අතරේ යසෝදායි ගුරුතුමිය ලද ජයග්‍රහණය පිළිබඳ දසතින් සුභපැතුම් ගලාවිත් තිබේ. ශ්‍රී ලංකාවේ මාධ්‍යයද මෙම පුවත පසුගියදා ඉහළ වටිනාකමකින් යුතුව වාර්තා කර තිබිණි. ඒ අනුව බී.බී.සී. සංවාදයේදී ඇය ශ්‍රී ලංකාව පිළිබඳවද සතුටින් සිහිපත් කර තිබුණි.

“මම ලෝකයේ හොඳම ගුරුවරුන් 10 දෙනා අතරට තේරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ වගේම ශ්‍රී ලංකාවෙන් පිට සිටින ශ්‍රී ලාංකිකයන් දැක්වූ ප්‍රතිචාර නිහතමානීව සතුටින් භාර ගන්නවා. ඔබ දුන් සහයෝගයට සහ සුබ පැතුම්වලට ගොඩක් ස්තූතියි. මම ඉපදුණ රටේ පුරවැසියන් වගේම ශ්‍රී ලාංකික උරුමයක් සහිත ශ්‍රී ලාංකිකයන් මට දක්වන සහයෝගය ගැන මම ගෞරවයෙන් සලකනවා. මගේ ශ්‍රී ලාංකික උරුමය මට ඉතාමත් වැදගත්. ඒ වගේම මට සහයෝගය දක්වන ශ්‍රී ලාංකිකයන් ගැන මම ආඩම්බර වෙනවා. ඒක හරිම සංවේදීයි. මට ඒක ලොකු සතුටක්. මම ඔබට කොයිතරම් ස්තූති කළත් මදි. මම බලාපොරොත්තු වෙනවා තව තවත් ඔබව ආඩම්බරයට පත්කරන්න.”

යසෝදායිගේ පියා ඉංජිනේරුවෙකි. මව ශ්‍රී ලංකාවේදී ගිණුම්කරණය හදාරා තිබේ. ඔවුහු කොළඹ නගරයේ ගරාජයක් නිවෙසක් ලෙස සකසාගෙන ජීවත් වූහ. මව සහ පියා දෙදෙනාම ඉපිද ඇත්තේ යාපනයේය. 1988දී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණික වීමෙන් අනතුරුව යසෝදායිගේ පියාට ඕස්ට්‍රේලියානු රජයේ ඉංජිනේරුවකු ලෙස කටයුතු කරන්නට අවස්ථාව උදාවී තිබේ. නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් හේ (Hay) නම් ග්‍රාමීය ප්‍රදේශය ඔවුන්ගේ නිවහන වන්නේ ඒ අනුවය. ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට යසෝදායිට ලැබුණු අවස්ථාව සම්බන්ධයෙන් දෙමාපියන් දෙදෙනාම සතුටු වූ බව අද යසෝදායි සිහිකරයි. ඇය ඕස්ට්‍රේලියානු අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ සතුටින් අභිමානයෙන් කතා කරයි. මෙය දෛවෝපගත සිදුවීමකි.

මේ අභිමානනීය ගුරුවරියගෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව විමසූ විටක දී ඇය ලබාදී ඇති පිළිතුර අපූරුය. බලාපොරොත්තු සහගතය.

“මම ඉතා කුඩා කාලයේදීම ශ්‍රී ලංකාවෙන් පැමිණි නිසා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන අවබෝධයක් නැහැ. ඒත්, ලෝකයේ හොඳම ගුරුවරුන් 10 දෙනා අතරට තේරීමෙන් මම ලැබූ අවස්ථාව සහ පිළිගැනීම නිසා මට අනාගතයේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ යම් වෙනසක් කරන්න හැකිවේවි. මම ඒ සඳහා අවධානය යොමු කරනවා.”

රුදුරු අතීතය විසින් ලක් දෙරණටම ලොවටම සම්පතක් වූ යසෝදායි සෙල්වකුමරන් වැනි විශිෂ්ටයන් අහිමිකර තිබේ. එහෙත් සෙල්වා තම උපන්බිම පිළිබඳ දරන ආකල්ප ලාංකික අප හදවත් සංවේදී කරයි. ඇය කොහේ සිටියද සමස්ත ලාංකිකයන් ඇගේ ජයග්‍රහණයට සුභපතනු නියතය. අප මේ කතාව නිමාකරන්නේ සෙල්වා ගුරුතුමියගේ ජයග්‍රහණය ලොවට හඬගා කියූ ඔස්ට්‍රේලියානු ප්‍රකට හොලිවුඩ් රංගන ශිල්පියකු වන හිල් ජැක්මන්ගේ ප්‍රකාශයකිනි.

“සැබෑ සුපිරි වීරයෝ ගුරුවරුන්ය. ඔවුන් ලෝකය වෙනස් කරනු ඇත.”

චමිඳු නිසල් ද සිල්වා

BBC Sinhala / SBS Sinhala / Australia News ඇසුරින්

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00