2019 මාර්තු 02 වන සෙනසුරාදා

දරුවන්ට වද දෙන බාලගිරි

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 944

බාලගිරි අද නොවේ හෙට යැයි නිවෙස්වල ආලින්දයේ මෙන්ම දරුවන්ගේ නිදන කාමරවල දොර උළුවස්සේ ගසා තිබෙනු ඔබ දැක ඇතුවාට සැකයක් නැත. බාලගිරි යන නමෙන්ම බාලයන්ට හෙවත් ළදරුවන්ට වින කරන්නෙක් යන අර්ථය ගෙන දේ. බාලගිරි යනු යක්ෂයකු යැයි යන්න බොහෝ යකැදුරන්ගේ හා ජ්‍යොතිෂකරුවන්ගේ අදහසය. එහෙත් මොහු එතරම් ප්‍රබල යක්ෂයකු නොවේ. කුඩා දරුවකුට හිරිහැර කරනවා හැර වෙනත් සපන්කමක් කරන්නට මොහුට නොහැකිය.

එසේම ඇතැම් මනෝ විද්‍යාඥයන් පවසන්නේ මෙවැනි යකෙක් නොමැති අතර, එය හුදු මනඃකල්පිත චරිතයක් පමණක් බවය. දරැවන්ට යම් හිරිහැරයක් වනවිට එය දෙවියන්ට, යකුන්ට, ප්‍රේතයන්ට හෝ අමනුෂ්‍යයන්ට බැරකර ඇඟ ගලවා ගැනීමට ගන්නා උපක්‍රමයක් ලෙසද සලකන අය සිටිති.

කෙසේ වුවද දරුවා උපදින්නේ හඬාගෙනය. මෙසේ හඬාගෙන උපදින කිරිසප්පයා කුඩා කල දිගටම හඬයි. දරැවාට වචන කතා කරන්නට පුළුවන් වනතුරු ස්වකීය හැඟීම් ප්‍රකාශ කරනුයේ හැඬීම මගින් පමණි. බුද්ධිමත් මවකට දරුවා හඬන හේතුව තේරැම්ගත හැකිය. රාත්‍රියේ අවදියෙන් සිටින දරැවා ඇතැම්විට නොනවත්වා හඬයි. එම හැඬීම නවත්වා ගැනීමටද මව අසමත් වෙයි. කුසගිනි දැනීම හෝ අසනීප වැළඳීමේදී ඔහු හඬනවා ඇත. කඩින්කඩ හැඬීම, එකදිගටම නොනවත්වා හැඬීමද කරන දරුවෝ සිටිති. කෙසේ වුවද දරුවා හඬන්නේ ඇයිද යන්න නිශ්චය කර ගැනීමට මව අපොහොසත් වන අවස්ථා බහුලය.

එහෙත් ඇතැම් මව්වරුන්ට දරුවා හඬන ශෛලිය අනුව ඔහු කියන්නේ කුමක්ද යන්න අවබෝධ කර ගැනීමට අපහසු නොවනවා ඇත. එවිට දරුවා නලවා ගැනීමට මවට පුළුවන. එසේ වුවද දරුවා කිසිදු හේතුවක් නොමැතිව අසාමාන්‍ය ලෙස එකදිගට හඬයි නම් එය බාලගිරි දෝෂය නිසා යැයි කියන්නට සමාජය පෙළඹී සිටී. හැඬීම නවත්වා ගැනීමට කොතරම් ක්‍රම සහ විධි භාවිත කළද, ප්‍රතිඵල නොලැබුණු විට බාලගිරි වෙනුවෙන් යම් ප්‍රතිකර්මයක් කිරීමට උනන්දු වෙති.

බාලගිරි දෝෂය වෙනුවෙන් භාවිත කරන ක්‍රම විධි කිහිපයකි. යන්ත්‍ර දැමීම, නූල් දැමීම, කෙම් ක්‍රම ආදියද ඒ සඳහා උපයෝගී කර ගනී. සාමාන්‍යයෙන් දරුවකුගේ අසනීප සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඉන් පසුවද සමනය නොවේ නම්, එය බාලගිරිට පාස් කිරීම සිදුවේ. ඒ සඳහා විවිධ ක්‍රම උපයෝගී කර ගනී. බෝධිපූජා පැවැත්වීම ඉන් ප්‍රධානය. බෝධියට පූජා පවත්වා වැඳ නමස්කාර කර, එහි නැගෙනහිර පැත්තට බර වූ අත්තකින් කොළයක් කඩාගෙන එම කොළය මත සබ්බ පාපස්ස අකරණං යන බුදුගුණ දැක්වෙන ගාථාව පෑනකින් හෝ පැන්සලකින් පැහැදිලිව ලිවිය යුතුය. මෙම පත්‍රය අතේ තබාගෙන එම ගාථාවෙන් 108 වරක් පිරිත් කර එය දරැවා නිදාගන්නා ඇඳේ මෙට්ටය හෝ කොට්ටය යට ඉතා සුරක්ෂිත ලෙස තැන්පත් කළ යුතුය. මෙහිදී නිදන දරුවාගේ හැඬීම ක්‍රමයෙන් අඩුවෙනවා ඇත. ඇතැම් අවස්ථාවල පුස්කොළයක හෝ තඹ පතක මෙම ගාථා රත්නය ලියා කොට්ටය යට තැබීමද කරනු ලැබේ.

ඇතැම්විට දරුවන්ගේ හඳහන බැලීමෙන්ද, දරුවාට මෙවැනි දෝෂ තිබේදැයි සොයාගත හැකිය. අමනුෂ්‍ය උපද්‍රව පිළිබඳ දැනගෙන ඒවා අවම කිරීමට කටයුතු කළ හැකිය.

කෙසේ වුවද ඇතැමුන් විශ්වාස කරනුයේ දරුවා කුස තුළ සිටියදී මවට සිදුකරන කිරිඅම්මාවරැන්ගේ දාන, දේවදාන ආදිය ඔප්පු කිරීම ප්‍රමාද වූ අවස්ථාවල දරුවාට බාලගිරි දෝෂාදිය ඇතිවන බවය. ඒ නිසා දරුවන් වෙනුවෙන් වූ එවැනි බාරහාරාදිය දරුවා ඉපදී තෙමසක් ගතවූ තැන වහාම ඉෂ්ඨ සිද්ධ කිරීම ඉතා වැදගත් වේ. එසේම පංචායුධයක් ගෙල පැළඳීම, පිරිත්නූල් සුරතේ බැඳීම ආදියෙන්ද, දරුවාගේ මෙම අනවශ්‍ය හැඬීම අඩුකරගත හැකි බවටද පිළිගැනීමක් තිබේ. කෙසේ වුවද දරුවා නිදාගන්නා විට වැඩිහිටියකු පිරිත් සජ්ඣායනා කිරීම නිසා දරුවා අඩ නින්දෙන් අවදිවීම, නින්දේදී කෑගැසීම ආදිය අඩුකරගත හැකිය. රතන සූත්‍රය හෝ කරණීයමෙත්ත සූත්‍රය කීම ඉතා වැදගත් වේ. එසේම මව පිළිහුඩු කෑමෙන් වැළකිය යුතු අතර ඇයද ධාර්මික ජීවිතයක් ගතකිරීම දරුවාගේ අවිධිමත් හැසිරීම නිවැරදි කිරීමට හේතු වෙයි.

එසේ නැතිව බාලගිරිට බෝඩ් එල්ලා බාලගිරි දෝෂ සුවකළ නොහැකි බව අවධාරණය කිරීම වැදගත්ය.

විශේෂ ජ්‍යොතිෂවේදියෙකු විසිනි.

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00