2019 මාර්තු 02 වන සෙනසුරාදා

කැලණියේ පළමු තරු හෝටලය Hotel Royal Grand Paradise

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 251

කැලණිය කියන්නේ ප්‍රධාන කාරණා දෙකක් නිසාවෙන් ප්‍රසිද්ධියට පත් ප්‍රදේශයක්. ඉන් එකක් තමයි කැලණි විහාරය. ඒ අතරම වරින් වර ගංවතුර උදා කරදෙන කැලණි ගඟත් කැලණිය ප්‍රසිද්ධ වෙන්න හේතුවක්. හැබැයි කැලණිය කොච්චර ප්‍රසිද්ධ වුණත් සංචාරකයන් අතර කැලණිය ඒ තරම් ජනප්‍රිය නොවීම නම් සංවේගජනකයි. අනිත් අතට තරු හෝටල් වුණත් කැලණියේ තියෙන්නේ අතළොස්සයි.

මේ වගේ පසුබිමක් තිබියදී කැලණිය ගෝනවල ඉදිකරලා තියෙන හොටෙල් රෝයල් ගාර්ඩ්න් පැරඩයිස් කියන්නේ කැලණියට ලොකු අඩුපාඩුවක්ව තිබුණු උසස් මට්ටමේ හෝටලයක අඩුව පිරිමැසීමට ගත් උත්සාහයක් කියලා හඳුන්වන්න පුළුවන්. උත්සව ශාලා හතකින් යුත් මේ හෝටලය තමයි කැලණියට අයිති එකම තරු හෝටලය. 

අක්කර හතරහමාරක් පුරා පැතිරුණු හෝටල් භූමිය තුළ පිහිනුම් තටාක දෙකක්, බෝට්ටු පැදිය හැකි විලක් සහ සුඛෝපභෝගී කාමර 24ක් තිබෙනවා. හෝටලයේ හයවැනි මහලේ පිහිටා ඇති රෝයල් බෝල්රෑම් උත්සව ශාලාවේ 500 දෙනෙකුට ආසන පැනවිය හැකියි. එහි තවත් විශේෂත්වයක් වන්නේ ශාලාව තුළ එකදු කුලුනක් හෝ දකින්න නොලැබීමයි. ඊට අමතරව ආසන 400, 300, 200 සහ 100 බැගින් පැනවිය හැකි උත්සව ශාලාත් ඒ ඒ මහල්වල තිබෙනවා. 

ව්‍යාපාරික පන්තියේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මෑතකදී ආසන 50 සහ 70 බැගින් යෙදිය හැකි කුඩා ශාලා දෙකකුත් හෝටලයට එකතු කර තිබෙනවා. 

පිහිටි පරිසරය ඒ අයුරින්ම ආරක්ෂා කරගනිමින් ඉදිකරන ලද හෝටලය මේ නිසාම ස්වභාව ධර්මයට ලොකු සමීපබවක් ගෙන දෙනවා. ඉහළ මාලයන්හි තියෙන බැල්කනිවලින් පිටත නරඹන ඕනෑම කෙනෙකුට එය හොඳින් පැහැදිලි වෙනවා. මෙහි ඇති සුඛෝපභෝගී කාමරවල විශාල යුගල ඇඳන්, වායු සමීකරණ, රූපවාහිනී, තේ සහ කෝපි සෑදීමේ පහසුකම් ආදිය අඩංගුයි. 

ඩයමන්ඩ් සහ ජැස්මින් ලෙස නම්කර ඇති අවන්හල්වලදී දේශීය වගේම බටහිර, චීන සහ ඉන්දියානු ආහාර වර්ග පිළියෙල කෙරෙනවා. විශේෂයෙන්ම කිරි කොස් මාලුව සහ පොළොස් ඇඹුල කියන්නේ මේ හෝටලය පිළිගන්වන රසවත්ම ආහාර වර්ග දෙකක්.  

- සනත් වීරසූරිය