2019 මාර්තු 02 වන සෙනසුරාදා

පිටරට සාහිත්‍ය බහුබූත අපට මොකටද?

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 88

ප්‍රවීණ පුවත්පත් කලාවේදිනියක වන කරුණා පෙරේරා නිර්මාණකරණයෙන්ද ඉදිරියට ගිය ලේඛිකාවකි. ඇයගේ මුල්ම කෙටිකතා සංග්‍රහය වන අඳුරට එළියක් 1971 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. ඊට පසු කෙටිකතා සංග්‍රහ 10ක් ඇය අතින් ලියැවුණු අතර, රචිත නවකතා සංඛ්‍යාව ද 10කි. නේරංජනා ඇයගේ නවතම කෘතියයි. එය සරසවි ප්‍රකාශනයකි.

ඔබගේ අලුත්ම නිර්මාණ කෘතිය ගැන අපට කිව්වොත්?

නේරංජනා නවකතාවෙන් මා උත්සාහ කරන්නේ නූතනයේ තරුණ ගැහැනු ළමයින්ට මුහුණපාන්නට වී තිබෙන ප්‍රශ්නයක් ගැනයි. අද සමාජය තරැණියන්ට දොස් කියන එක පමණයි කරන්නේ. නමුත් මම මෙහිදී බැලුවේ තරුණියන් වැරදි පැත්තට පෙළඹෙන්නේ ඇයි කියලයි. මෙහි එන චරිත වන සරෝජා හා නේරංජනා අප්‍රමාණ වූ ධෛර්යය සහ අභිමානයෙන් යුත් චරිතයි. ඔවුන්ට නැතිබැරිකම හා ජීවත්වීමේ ප්‍රශ්න තිබුණත් එම දිළිඳුකම නිසා ඔවුන්ට ඉදිරියට යාමේ ධෛර්යයක්ද උපදී. මේ ජීවිතයේ තිබෙන අර්ථය කුමක්ද? කුමක් නිසාද නොනවතින තරගයක දඟලන්නේ. ඒ වැනි ගැටලුවලට පිළිතුරු ලබාදීමටත් මම මේ පොත හරහා උත්සාහ කළා.

මෙහි එන කාන්තා චරිත අයහපතට යොමුකිරීමට සමාජය උත්සාහ කළත් ඔබ ඒවා පිටුපස සිට වළක්වන බව පේනවා?
ඔව්. ඒ කාන්තා චරිතය තම අත්දැකීම් උපයෝගී කරගෙන ගණිකාවක් බවට පත්වීමෙන් වැළකෙනවා. දුප්පත්කම මිනිසුන් නොයෙක් දේවල්වලට පොළඹවනවා තමයි. දේශපාලන වශයෙන් බැලුවත් දිළින්දන් තමයි, ලෝකය වෙනස් කරන්නේ. ඒ වගේ චරිත ඔස්සේ තමයි මේ කතාව ගලා යන්නේ.

ඔබ නේරංජනා තුළින් ස්ත්‍රීවාදයක් මතුකිරීමට උත්සාහ කළාද?

නෑ. එහෙම දෙයක් නෑ. ස්ත්‍රීන්ට පමණක් නොවේ, පිරිමින්ටත් මතුවන ගැටලු ගැන මෙහිදී සාකච්ඡා වෙනවා. සමාජයේ අලුත්ම ප්‍රවණතාව තමයි එකිනෙකා රවට්ටමින් ජීවිතයේ ඉහළට නැගීමට, ජීවිතය පවත්වා ගැනීමට උත්සාහ කිරීම. මෙහි එන චරිතවලත් ඒ ලක්ෂණය දැකගත හැකියි.

මේ කෘතිය යථාර්ථවාදී ආකෘතියක පිහිටා ලියූ නවකතාවක්. අපට සමහර ලේඛකයෝ අලුත් ආකෘති සොයා යමින් තම නවකතා ලිවීමට කැමැත්තක් දක්වන ආකාරය පේනවා?

මම හිතන්නේ ආකෘතියට මුල්තැන දිය යුත්තේ අපට නවකතාවකින් පැවසීමට කතාවක් නැත්නම් කියලයි. ශිල්ප ක්‍රම, ආකෘති, භාෂා විලාස සොයන එකේ වරදක් නැහැ. නමුත් මට නම් හිතෙන්නේ සමාජයේ යථාර්ථය ලිවීමට අලුත් ආකෘති සොයා යාම අනවශ්‍ය බවයි. ඇත්ත කතා කරන්න ලේසියි. ඇඳුමකට බෝරිච්චි, බොත්තම් අල්ලනවා. එම්බ්‍රොයිඩර් කරනවා. ඒ වගේ විසිතුරැ උපාංග නවකතාවකට අනවශ්‍ය බවයි මම හිතන්නේ. කියවන පාඨකයාගේ සිතට ළංවිය හැකිනම් මම හිතන්නේ වෙනත් උපාංග නවකතාවට අනවශ්‍ය බවයි.

නමුත් විචාරකයන් නම් පවසන්නේ ලෝක සාහිත්‍යයේ නව ප්‍රවණතා අප ග්‍රහණය කර නොගැනීම අඩුවක් බවයි?

ඇයි අපි හැම එකටම පිටස්තර ලෝකයේ දේවල් ඔළුව උඩ තබාගන්නේ. අපි අපගේ සම්ප්‍රදායයන් පහත් කරමින් තමයි වෙනත් රටවල ආකෘති උඩ දමන්නේ. මට හිතෙන්නේ අපි මුලාවකට යන බවයි. අපට වඩාත් හොඳින් අපේ අත්දැකීම් පැවසිය හැකිනම් වෙනත් රටවල උපක්‍රම මොකටද කියලයි මට හිතෙන්නේ. අපේ රටවල්වල කියන්න මොන තරම් නම් දේවල් තියෙනවද? අත්දැකීම් හරිම සුලබයි. දියුණු රටවල්වල මිනිසුන්ට තියෙන්නේ අපේ ප්‍රශ්න නොවෙයි. ඒ නිසානෙ ඒගොල්ල හොල්මන් ගැන, යථාර්ථවාදී නොවන සිදුවීම් ගැන කතා කරන්නේ. ඒ වගේ රටවල්වලට බාහිර ශිල්ප ක්‍රම, ආකෘති අවශ්‍ය වෙනවා. මට නම් පිටරට බහුබූත අපේ සාහිත්‍යයට අවශ්‍ය බවක් හිතෙන්නේ නැහැ.

ඔබ මෑතක සිට දිගින් දිගටම ලියනවා. වෘත්තීය ලේඛිකාවක් වෙලාද?

(සිනහවෙමින්) ඒක තමයි දැන් වෙලා තිබෙන්නේ. මාධ්‍ය තුළ සිටියදී පොත් ලියැවු‍ණේ කලාතුරකින්. රුකියාවෙන් විශ්‍රාම ගත් පසුව තමයි දිගටම ලියවෙන්න වුණේ. පුවත්පතක රැකියාව කරන අතරම නවකතාවක් වගේ නිර්මාණයක් කිරීමට අමාරැයි. කාලය ප්‍රශ්නයක් වෙනවා. නමුත් මෑත අතීතයේ නවකතා දිගටම ලියැවුණා.

අපේ රටේ වෘත්තීය ලේඛකයෙකුට පැවැත්මක් තියෙනවද?

පැවැත්මක් නෑ. පොත් ලියලා පමණක් ජීවත්වීමට අමාරුයි. නමුත් පසුගිය කාලයේ සමහර ලේඛක ලේඛිකාවන්ගේ පොත්වලට දිගටම සම්මාන ලැබුණනේ. එවිට ඔවුන්ගේ කෘතිවලට ප්‍රචාරයක් ලැබුණා. අලෙවිය වැඩි වුණා. නමුත් එහෙම විශාල අවධානයක් නොලැබුණු ලේඛකයන්ගේ පොත් විශාල වශයෙන් අලෙවි වන්නේ නැහැ.

දැන් සයිබර් පොත් යුගයක් ඇවිත්. සමහරු ඊ.බුක්ස් අවශ්‍ය බව පවසනවා. ඒ ගැන මොකද හිතන්නේ?

මට නම් ඒ ක්ෂේත්‍රය ගැන අවධානයක් නෑ. මුද්‍රිත කෘතිවලින් අපට ලැබෙන සාහිත්‍ය රසවින්දනය ඩිජිටල් මාධ්‍යයෙන් ලබාගත හැකිද කියන එක ප්‍රශ්නයක්. ඒ වගේ මාධ්‍යයකින් හදවතට දැනෙන රසවිඳීමක් ලබාගත හැකිද යන්න ගැටලුවක්. සාහිත්‍යය කියන්නේ සන්සුන් හෙමින් රසවිඳින ක්ෂේත්‍රයක්.

අද තරුණ ලේඛක ලේඛිකාවෝ රුසක් නිර්මාණ ක්ෂේත්‍රයට අවතීර්ණ වෙලා. ඔබ ඔවුන්ගේ කෘති දකින්නේ කෙසේද?

අලුත් පරපුරේ පොත් කියවලා තිබෙනවා. නමුත් ඔවුන් වැඩි දෙනෙක්ගේ අත්දැකීම් දෙස බලනවිට පේන්නේ මතුපිටින් අතගාන ස්වරෑපයක්. වැඩි දෙනෙක් ආදරය තමයි තේමා කරගන්නේ. අද ආදරය පවතින්නේ හදවතේ නොවේ, භෞතික දේවල් මතයි. අද ඉන්න තරුණ ලේඛක පරම්පරාව මේක ගැන අවධානයක් යොමු කරන්නෙ නැහැ. සමහර නවකතා මෙගා ටෙලිනාට්‍ය වගේ. අතරින්පතර ඉන්නවා, ගැඹුරට යම් අත්දැකීමක් ස්පර්ශ කරන පිරිසක්. ඔවුන් ගැන නම් සතුටුයි.

අපේ නවකතාවේ හෙටදවස ගැන, අපි ලෝකයට විවරවීම ගැන ඔබ හිතන්නේ මොකක්ද?

අපේ සාහිත්‍ය කෘති ලෝකයට හරියට යවන්නේ නැහැනේ. මේ රටේ බිහිවන නිර්මාණ මේ රටේම තනිවෙනවා. ලෝකයට ඒවා යැව්වොත් තමයි වෙන රටවලත් දැනගන්නේ, අපේ නිර්මාණ සාහිත්‍යය ගැන. ඉන්දියාවෙන් බිහිවුණු තාගෝර්ලා, සරෝජිනී නායිඳු වගේ සාහිත්‍යධරයන් ලෝකයට ගියේ ඒ කෘති ඉංග්‍රීසියට පරිවර්තනය වූ නිසයි. අපේ රටේ එක එක කල්ලි ගැහිලා සමහර පොත් ඉංග්‍රීසියට පරිවර්තනය කෙරෙන බව පේනවා. නමුත් සමස්තයක් ලෙස ජාතික වශයෙන් එවැනි වැඩක් කෙරෙන්නේ නැහැනේ. අපට හොඳ සාහිත්‍යයක් තිබෙන්නේ. ගැඹුරැ ජීවන දර්ශනයක් තම කෘතිවලට තේමා කරගත් ලේඛකයන් අප රටේ ඉන්නවා. නමුත් ඔවුන්ට ලෝකයට විවරවීමට අවස්ථාවක් නැහැ.

 කුසුම්සිරි