2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

අලුත් ලෝකයට අතහැරෙන සඟරා කියවිල්ල

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:31 576

ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ඔස්සේ යම් යම් දෑ කියවීම භාවිතයට පැමිණ ඇතත් කඩදාසි මත මුද්‍රිත පොත් හා පුවත්පත් කියවීම තවමත් අප අතර ප්‍රචලිතය. එහෙත් දශක ගණනාවක් පුරා ජනප්‍රියව තිබූ සඟරා මුද්‍රණය වීමත්, කියවීමත් දැන් අඩුවී ඇති බව පෙනී යයි. සිංහල, මාසික හෝ සති සඟරා මෙන්ම ඉංග්‍රීසි බසින් පළවූ සඟරාද දැන් වැඩිදෙනා කියවන බවක් පෙනෙන්නට නැත. එසේ වුවද කලක් තිස්සේ සිංහල සඟරා සිරිලක පුරාත්, ඉංග්‍රීසි සඟරා ලොව පුරාත් ජනප්‍රියව පැවතිණි.

ශ්‍රී ලංකාවේ සඟරා පළකිරීම 19 වැනි සියවසේ අග භාගයේ පටන්ම සිදුවූවකි. 1895 වනවිට පළවී තිබුණේ කළු සුදු වර්ණයෙන් මුද්‍රිත සඟරා පමණකි. මුල්ම වර්ණ ඡායාරූප සහිත සඟරාවක් පළවී තිබෙන්නේ 1895 දෙසැම්බර් 17 වැනිදාය. ඒ අර්වින් ගුණවර්ධන මුදලිතුමා කර්තෘ ධුරය ඉසිලූ (සිතුමිණ) සඟරාවයි. එම සඟරාව නිකුත් වී ඇත්තේ දුම්රිය මාර්ගය මාතර දක්වා දීර්ඝ කිරීම නිමිත්තෙනි. අර්වින් ගුණවර්ධන පසු කාලයේදී ගම්සභා විනිශ්චයකාර ධුරයක් සහ මුද්‍රිත නමක් දැරුවේය. මෙකී (සිතුමිණ) සඟරාව 1885 දී අර්වින් ගුණවර්ධන විසින් මුලින්ම අතින් ලියා පළකළ බව 1895 දෙසැම්බර් සිතුමිණ සඟරාවේ සඳහන්ය. අර්වින් ගුණවර්ධන ධර්මපාලතුමාගේ ඥාති සහෝදරයකු වගද ඇතැම් තැනක සඳහන්ය. මෙම සඟරාවට ලිපි සැපයූ අය අතර හික්කඩුවේ සුමංගල හිමි, හෙයියන්තුඩුවේ සිරි දේවමිත්ත හිමි, දේවගැති ගෞ. ඒ.ඇස්. අමරසේකර උන්නාන්සේ, ගෞ. ජී.ඩී. ද ලැනරෝල් උන්නාන්සේ, ටී.බී. පානබොක්කේ විනිශ්චයකාරතුමා ඇතුළු පිරිසක් සිටි බව පෙනී යයි. මෙහි ඡායාරූප උදෙසා යොදා ඇත්තේ (සිතුයම්) යන පදයයි.
“ඉංග්‍රීසි සඟරාවල මෙන් පළමුවැනි කලාපයේ අපේ සිතුයම ද යෙදුවෙමු. එය 1893 දී ගත් ඡායාරූපයකින් ගන්නා ලද්දකි. මාතර නිල්වලා ගඟේ සිතුයම දෙවැනි වේ. තුන්වැනි සිතුයම මාතර දිසාපති තැන්පත් නොබෝදා මහමදාගම් භක්තිකයෙක් වූ අප මිත්‍ර අබ්දුල් අහමද් ලැමසුරියාර් මහතාගේ වේ.”

පැරැණි රසවාහිනි සඟරාව අතිශය ජනාදරයට පත්වූ, සැමදෙනාටම සාහිත රස බෙදූ සඟරාවකි. සමහරු එක් එක් වර්ෂයට අදාළ රසවාහිනී සඟරා එකතුකොට පොත් බැඳගෙන කාලයක් යන තුරු ඒවා ප්‍රවේසමෙන් තබා ගත්හ. පැරැණි රසවාහිනි සඟරාවක ඇති වෙළෙඳ දැන්වීම් කියවා බැලුවත් අපට බොහෝ දේ පිළිබඳ දැනුවත්ව පරිභෝජන රටා වෙනස් වීම පිළිබඳ පාඩම් උගත හැකිය. 1962 වසරේ රසවාහිනි සඟරාවක පළවූ “ෂෙල් භූමිතෙල්” වෙළෙඳ දැන්වීමක් කියවීමෙන් අප එකල කෙතරම් නොදියුණු ලෝකයක සිටියේ දැයි දත හැකිය. 

පහත සඳහන් වන්නේ භූමිතෙල් පාවිච්චියේ අගය ගැන කියන කළු සුදු වෙළෙඳ දැන්වීමක සඳහන් වැකි කිහිපයකි. ගෘහණියක් මෙසේ පවසා ඇත.

“මම භූමිතෙල් උඳුනෙ උයාපු කෑම හරිම රසයි. උණුයි වගේම කන්නත් කැමතියි. භූමිතෙල් ලාම්පුව ළඟින් තියාගෙන කියවන එකත් හරිම ලේසියි. කියවන්නත් හරිම ආසයි. ඔවුන්ගේ ගෙදර සුව පහසුදායක අන්දමින් සකස් කර ගැනීමට ආධාර වන්නේ භූමිතෙල් යොදා හොඳින් පිසීම හා දීප්තිමත් ආලෝක කර ගැනීමයි. ඔවුන් හොඳින් උයන්නේත්, හොඳින් ආලෝක කරන්නේත් ෂෙල් භාවිත කිරීමෙනි.” - (ෂෙල් සූර්යා භූමිතෙල්)

කතුවර ඩබ්ලිව්.ඒ. සිල්වා හලාවත සිට රාත්‍රී දුම්රියකින් කොළඹ බලා එන ගමනේදී ඔහුට මුහුණදෙන්නට සිදු වූ සිද්ධියක් 1957 ජූලි රසවාහිනි කලාපයේ ජී.බී. අල්විස් පෙරේරාගේ කවි පෙළකින් පළකොට තිබුණේය. සිල්වා මහතාට ඉදිරිපස අසුනට පැමිණි මුදලාලි කෙනෙක් සුරුට්ටුවක් දල්වාගෙන පොතක් කියවන්නට ගත්තේය. නිදිමතේ සිටි සිල්වා මහතාට සුරුට්ටු දුමත්, මුදලාලි පොත කියවන නිසා නිවාගන්නට බැරි වූ විදුලි බල්බයත් මහත් කරදරයක් විය. අවසානයේ එ පිළිබඳ ඩබ්ලිව්.ඒ. සිල්වා පැමිණිලි කළ විට මුදලාලි දී ඇත්තේ සිතාගත නොහැකි වූ පිළිතුරකි. 

“තමුසෙගෙ කබල් පොත හින්දා මගෙ     නින්ද
වැළකෙයි පහන නිවමින් නොනිදනු    මන්ද?”

මුදලාලි දුන් පිළිතුර මෙයයි.

“කලිසම් කාරයන් හට සිංහල         පොතක
රසවිඳ ගන්න බැරි එක පූරුවෙ       පවෙක
මහත්තයෝ මේ පොත කියවා        මිසක
මොනවා වෙතත් නිදියන්නට නම්   නොහැක

කී මුදලාලි ඇස යළි පොතෙහිම            ගැසුණේ
ඔය පොත කිමද සිල්වාගෙන්                පිළිවිසුණේ
මේ පොත (හිඟන කොල්ලා) පිළිතුර     ඇසුණේ
දිග ඇදුණේය සිල්වා නිහඬව                 අසුනේ

(හිඟන කොල්ලා පොත ලියුවේ ඩබ්ලිව්.ඒ. සිල්වා බව අමුතුවෙන් කිවයුතු නැත.) 

රසවාහිනි සඟරාවේ, අමිත අබේසේකරගේ, මොටාගෙදරගේ කාටුන් බොහෝ සෙයින් තිබිණි. එක් කාටුනයක මෙසේ තිබිණි.

“හා අතුල කට ඇරහං උණ බලන්න”

“හපෝ බෑ අම්මෙ අර රාජසිංහ රජ්ජුරුවන්ගෙ කකුලෙ ඇනුණයි කියන්නෙත් උණ කටුවක් නේද?”

තනි අකුරකින් යුතු නමක් සහිත සඟරාවක් මෙරට තිබිණි නම් ඒ (ශ්‍රී) සඟරාවය. එය ඊටම ආවේණික දිගැටි හැඩයෙන් යුතුව නිකුත් වූවකි. එය ඒ කාලයේ පුවත් සඟරා විකුණන කඩවල ඉදිරියේ උඩින්ම එල්ලා තිබුණේය. පාඨකයන් හට සැහැල්ලුවෙන් කියවීම සඳහා වූ ලිපි (ශ්‍රී) සඟරාවේ පළ වුණේය. කාටුන් ද එහි තිබිණි. ජනක රත්නායක ඇඳ තිබූ කාටුනයක දැල්වෙන ගොඩනැගිල්ලක ඇතුළත රූපයක් විය. සෝඩා අම්ල ගිනි නිවනයක් බිත්තියේ සවිකර තිබේ. ඒ දෙස මුව අයාගෙන බලා සිටින පුද්ගලයෙකි. ගිනි නිවනය සමීපයේ දැන්වීමකි. “ගින්නක් ඇතිවූ විට පාවිච්චි කරන අන්දම” දැන්වීමේ හෙඩිමයි. දැන්වීමෙන්ද ¾ක් ගිනි ඇවිලී තිබේ. උපදෙස් පිළිස්සී ඇති නිසා බලා සිටින පුද්ගලයාට ගිනි නිවනය භාවිත කළ නොහැකිය.

පාඨකයන් එවන කුඩා විහිළු කතන්දර සඳහා ද එම (ශ්‍රී) සඟරාවේ පිටුවක් වෙන්වී තිබිණි. ගම්බද පාසලක සේවය කරන එක් ගුරු මහතකු මාරුවක් සාදාගන්නට උත්සාහ කරමින් ටික දවසක් පාසලෙන් බැහැරව සිට, උත්සාහය ව්‍යර්ථ වී නැවත හිටපු පාසලටම පැමිණ තිබේ. ඔහු හොඳ ගුරු මහතකු නිසා මාරුවී යන ආරංචියට ගම්වාසීන් කැළඹී තිබේ. ඔහු පැමිණි පසු ඒ බව එක් ගම්වැසියෙක් ගුරු මහතාට කී අයුරු මොණරාගල වයලට් වන්නිආරච්චි ලියා තිබුණේ මෙසේය.
“අඩා මහත්තයා උඹ මකබෑවුනයි කියලා මෙහෙ කොන දිඩි ගාල හෙව්වා.”

ටිකට් කඩන මැෂින් භාවිතය ආ දිනවල සීයා කෙනෙක් තම දියණිය කැටුව බස් රථයට නැංගේලු. එවිට කොන්දොස්තර මැෂිම හඬ නංවා ටිකට් පතක් ගෙන එය සීයාට දී සල්ලි ඉල්ලුවේලු.

“බොල කොන්දොස්තර, උඹට ලජ්ජ නැද්ද මගේ දුවගෙ පින්තූරෙත් අරන් ඒ මදිවට සල්ලිත් ඉල්ලන්න” සීයා එසේ ඇසූ බව ගුරුගෙල කේ.බී. දිසානායක නම් පාඨකයකු ලියා තිබිණි.

(නව යුගය) සඟරාවද එකල පැවති ගුණාත්මක බවින් උසස් සඟරාවකි. පසු කාලීනව එය අලුත් මුහුණුවරකින් පටන්ගෙන තිබිණි. විද්‍යාත්මක කරුණු විග්‍රහ කෙරෙන (විද්‍යා) නමින් වූ සඟරාවක් පාසල් පුස්තකාලවල එකල තිබිණි. එසේම (ආර්ථික විමසුම) සඟරාව ආර්ථික විද්‍යාව හදාරන සිසුන්ට ප්‍රායෝජනවත් විය. කලා කටයුතු වෙනුවෙන් (සරසවිය) පුවත්පත තිබුණත්, (කලා) සඟරාව කලා රසිකයන් අතර ජනප්‍රියව තිබිණි. ඩයිජස්ට් වර්ගයේ සඟරාවක් ලෙස (මනහර) සඟරාව අසූ ගණන්වල මුල් කාලයේද බෙහෙවින් ජනප්‍රියව පැවතිණි. එම (මනහර) සඟරාව කරන්නට මුල්වූ මු. අරුක්ගොඩ මහතාගේ අතුරුදන් වීමත් සමඟ (මනහර) සඟරාවද අතුරුදහන් විය. ඒ වෙනුවට (මුතුහර) නමින් සඟරාවක් පළ වූයේය.

අනූ ගණන්වල පවා වැල්ලවත්ත, බම්බලපිටිය පැත්තේ සඟරා විකුණන කඩවල් ඉදිරියේ ඉංග්‍රීසියෙන් පළවූ අන්තර්ජාතික සඟරා එල්ලා තිබීම සුලභ දර්ශනයක් විය. ඒ අතර, Newsweek, TIME, Sport star, ෆිල්ම්ෆෙයාර් යන සඟරා වැරදුණේ කලාතුරකිනි.

(Life) සඟරාව මුලින්ම 1936 දී පළවන්නට පටන්ගෙන ඇත්තේ සතිපතා සඟරාවක් ලෙසයි. 1972 එය තහනමකට ලක් වූයේය. 1978 නැවත මාසික සඟරාවක් ලෙස එය මුද්‍රණය වන්නට පටන් ගත්තේය. 2000 වසරේ අප්‍රේල් සහ මැයි මාසවල Life සඟරාවේ අවසාන කලාප දෙකක් නිකුත් වී තිබේ. 2004 එය ඇරඹී ඇත්තේ පුවත්පතක් ලෙසයි. Life සඟරාව වඩා ජනප්‍රිය වී ඇත්තේ එහි පළවූ ඡායාරූප නිසා බව ඇතැම් තැනෙක සඳහන්ය. Life සඟරාවේ වඩාත්ම අගනා කලාපය වූයේ 1962 අප්‍රේල් මාසය උදෙසා නිකුත් වූ කලාපය බව වාර්තා වී තිබේ. එහි මුල්තැන දී ඇත්තේ එලිසබෙත් ටේලර් සහ රිචඩ් බර්ට්‍රන් අතර ආදර අන්දරයටයි.

1923 දී ආරම්භ වී ඇති TIME සඟරාවේ අලෙවිය මේ වනවිට 1/3කින් අඩුවී ඇති බව වාර්තා වේ. ඊට හේතුව වශයෙන් දක්වා ඇත්තේ ජනයා කියවීම සඳහා මිඩංගු කරන කාලය අඩුවීමයි.

1933 දී ආරම්භ වී ඇති (Newsweek) සඟරාවේ අලෙවියද වරින්වර බිඳවැටීම්වලට ලක් විය. වාර තුනකදී එහි හිමිකාරීත්වය මාරු වී ඇත. 1961-2010 දක්වා එහි අයිතිය තිබී ඇත්තේ  The Washington Post නම් සමාගමටයි. 2010-2013 දී හිමිකාරීත්වය The Newsweek Daily Beast සමාගමටද, 2013-2018 කාලයේ IBT මීඩියා නම් සමාගමටද හිමිකාරීත්වය මාරුවී තිබේ.

මෙරට ඉංග්‍රීසි පාඨකයා අතර ද බෙහෙවින් ජනප්‍රියව තිබූ (Readers Digest) සඟරාව පටන්ගෙන දැන් වසර 97ක් ගතවී ඇත. ලෝකයේ ජනප්‍රියම සඟරා අතර එය තවමත් 6-7 වැනි ස්ථානයේ පසුවේ. රටවල් 70ක් පුරා මිලියන 40ක් ජනතාව තවමත් Readers Digest කියවන්නේ එය භාෂා 21කින් පළවන නිසාය. මේ වනවිට පාඨකයන් මුදල් ගෙවා කියවන සඟරාවලින් ප්‍රථම ස්ථානය ගන්නේ Readers Digest බව වාර්තා වේ. අනෙකුත් අමෙරිකානු සඟරාවල ප්‍රමාණයට වඩා භාගයක ප්‍රමාණයෙන්ද, (එය ලොකු ප්‍රමාණයෙන්ද නිකුත් වේ.) මේ සඟරාව නිකුත් වූයේය. 2005 දී එහි සටහන් වූ පාඨය වූයේ (America in your Pocket) යන්නයි. 2008 දී එය (Life well Shaved) යනුවෙන් වෙනස් කරන ලදී. ඉංග්‍රීසි සඟරා කියවන අප රටේ පාඨකයෝ පැරැණි Readers Digest සඟරාද ලෝබ නැතුව මිලදී ගත්තෝය. අප අතර වඩාත් ජනප්‍රිය වූයේ එහි පළවූ පොඩි පොඩි විහිළු කතාය. ඉන් එක කතාවක් මෙසේය.

“ගෝවා විකුණන එළවළු අලෙවිසලක විකුණනු ලැබුවේ සම්පූර්ණ ගෝවා ගෙඩි පමණකි. එක් පුද්ගලයෙක් අලෙවිසලට පැමිණ අලෙවි කරන සේවකයාගෙන් ගෝවා ගෙඩියෙන් බාගයක් මිලදී ගන්නට ඉල්ලා සිටියේය. අලෙවි සේවකයා වෙළෙඳසල තුළ ගොස් එහි හිමිකරුට මෙසේ කීවේය.

“අවලමෙක් ඇවිල්ලා ගෝවා ගෙඩියෙන් බාගයක් ඉල්ලනව මහත්තයා” එසේ කියද්දී ගෝවා ගෙඩියෙන් බාගයක් ඉල්ලූ තැනැත්තා එතැනටම පැමිණ සිටිනු සේවකයා දුටුවේය. “මේ මහත්තයා ඉතුරු බාගෙ ඉල්ලනවා” සේවකයා කීවේය.
ලෝ පුරා තවමත් ජනප්‍රිය වුවත් මෙරට Readers Digest සඟරා කියවන පිරිස ද බොහෝ සෙයින් අඩුවී ඇති බව පෙනේ.

වර්තමානයේ ලොව ජනතාව අතරට වැඩිපුරම යන සඟරාව (AARP) නම් සඟරාවයි. AARP යනු American Association of Retired Persons යන්නය. එය විශ්‍රාමික හෝ විශ්‍රාමික නොවූ අවුරුදු 50ට වැඩි පුද්ගලයන් උදෙසා පළකෙරෙන සුබසාධන සඟරාවකි. මෙය මිලියන 38.6ක් ජනතාව අතට පත්වන්නේ, නිකං දෙනවා නම් දෙමළ පත්තරේද ගන්නා නිසා නොව, වියපත් අමෙරිකානුවන්ට ශාරීරිකව හා බුද්ධිමය වශයෙන් ක්‍රියාකාරී වීම උදෙසාත්, එම ක්‍රියාකාරකම් අන් අය අතරේ බෙදාහදා ගැනීම උදෙසාත්ය.

ඉන්දියාවේ මුද්‍රණය කළ (Sport star) සඟරාව ක්‍රීඩා විස්තර ඉංග්‍රීසියෙන් කියවන මෙරට පාඨකයන් අතර ඉමහත් ජනප්‍රියව පැවති සඟරාවකි. අප 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනූ අවධියේ එම සඟරාව සනත් ජයසූරිය ඇතුළු අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් ඉහළින්ම ප්‍රශංසාවට ලක් කළේය. පාපන්දු ලෝක කුසලානය සමයේ ඒ පිළිබඳව ද රසවත් තොරතුරු එහි වාර්තා වූයේය.

මුද්‍රිත කඩදාසි මත පළකළ සඟරා බොහෝමයක් ඉන්ටර්නෙට් හරහා Online කියවන පාඨකයන් වෙත මාරුවී ඇත්තේ වෙනස් වන ලෝකය සමඟ ඉදිරියට යා යුතු නිසාය.

 සමන් පුෂ්ප ලියනගේ

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00