2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

අසල්වැසියාට රැකියාවක්

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 89

අසල්වැසියන් අතර මා උදව් කරන්නකු වශයෙන් ප්‍රසිද්ධය. එහෙත් ඔවුන් ඉල්ලන හැම උදව්වක්ම ඉටු කිරීමට මම අපොහොසත් වෙමි. ඉන් පළමුවැන්න ළමුන් පාසල්වලට ඇතුළත් කර දීමය. දෙවැන්න රැකියාවක් සොයා දීමය.

මෑතකදී මා හොඳින් දන්නා තරුණ මහත්මියක් ඇගේ කුඩා දරුවා ද කැටුව අප නිවසට පැමිණියාය. ඇයගේ අවශ්‍යතාව වූයේ මා උගත් විද්‍යාලයට ඇයගේ දරුවා ඇතුළත් කරවීමය. මට එය කළ නොහැකි බව කාරුණිකව කියා සිටියෙමි.

“ඇයි ඔයා ආදි ශිෂ්‍ය සංගමෙත් ඉන්නවා නේද?”

ඇය මගේ සුදුසුකම් ද පෙන්වා දීමට පටන් ගත්තාය.

“ඔව්. ඒක ඇත්ත. ඒත් අපි ප්‍රින්සිපල්ට පොරොන්දු වුණා ළමයි ඇතුළත් කරන වැඩවලට ඇඟිලි ගහන්නේ නෑ කියලා.”

“ආදි ශිෂ්‍යයන්ටත් ළමයි කීපදෙනෙක් දාගන්ඩ පුළුවන් නේද?”

“ඔව්. ළමයි ඉන්න ආදි ශිෂ්‍යයන්ට ඒ අවස්ථාව තියෙනවා. ඒත් ඔයාගේ ළමයා මගේ නෙවෙයිනේ.”

මගේ විහිළුවෙන් අමනාප වූ ඇය දරුවා ද ඇදගෙන නිවසින් පිටවූවාය. එදායින් පසු ඇය මගේ මූණවත් බැලුවේ නැත.

රැකියාවක් ලබා නොදීම නිසාද බොහෝ දෙනා මා සමඟ නොරොක් වූහ. උදාහරණයක් වශයෙන් ඊයේ පෙරේදා සිදු වූ දෙයක් කිව හැකිය.

මරණාධාර සමිතියේ උද්‍යෝගිමත් සාමාජිකාවක වන එමලින් නෝනා ඇම්බුන් කෙසෙල් ඇවරියක් ද රැගෙන මා හමුවීමට ආවේ ඇගේ පොඩි පුතාට රැකියාවක් සොයා දෙන මෙන් කීමටය.

“මේ දවස්වල රටේ තත්ත්වෙ එච්චර හොඳ නෑ. රස්සාවල් හොයන එක ලේසි නෑ”

මා දුන් පිළිතුරෙන් එමලින් නෝනා අධෛර්යයට පත් නොවූවාය.

“ඒකමයි මම මහත්තයව හොයාගෙන ආවේ. මහත්තයට හුඟක් සම්බන්ධකම් තියෙනවනේ. කාටහරි  කිව්වොත් කරගන්න බැරි වෙන එකක් නෑ”

ඇය මගේ සම්බන්ධකම්වලින් අයුතු ප්‍රයෝජන ගැනීමට උත්සාහ කිරීම ගැන මා තුළ ඇති වූයේ සියුම් කෝපයකි. එහෙත් එමලින් නෝනා ද ප්‍රයෝජනවත් අසල්වාසිනියක බැවින් මම වෙනසක් නොපෙන්වා ඇයට උදව් කිරීමට උත්සාහ කරන බවක් පෙන්වීමට සිතුවෙමි.

“පුතාගේ අධ්‍යාපන සුදුසුකම් මොනවද?”

“උසස් පෙළ නම් පාස් වුණා”

“ඉතින් විශ්ව විද්‍යාලෙකට යන්න පුළුවන්නෙ?”

“පුතා කියනවා එයාගෙ ලකුණුවල හැටියට යන්න වෙන්නේ අම්පාර, මඩකලපුව, යාපනය වගේ පැතිවල කැම්පස්වලටලු. අපේ ළමයි ඔය වගේ නොදන්න පළාත්වලට යවලා බැහැනෙ මහත්තයා”

“එහෙම  කියන්න එපා. දැන් විශ්ව විද්‍යාල බොහොම දියුණුයි. ළමයින්ට පහසුකම් වුණත් හොඳයි.”

“ඒ වුණත් මහත්තයා, ළමයා විශ්ව විද්‍යාලෙන් එළියට එන කාලෙ වෙනකොට අපි ජීවතුන් අතර ඉඳීද කියන්ඩත් බෑනේ. රස්සාවක් කරන ගමන් වුණත් ඉගෙනගන්ඩ බැරියෑ..”

“ළමයගේ ඉංග්‍රීසි දැනුම එහෙම කොහොමද? ඉංග්‍රීසි නැතුව දැන් මොකවත් කරන්ඩ බෑ”

“දැනට නම් සාමාන්‍යයි. ඒත් තව මාස තුනකින් ඉංග්‍රීසි කතා කරයි”

“මාස තුනකින්? ඒ කොහොමද?”

“දැන් පාඨමාලාවකට යනවා. එතන මාස තුනෙන් ඉංග්‍රීසි කතාව පුරුදු කරලා සහතිකයකුත් දෙනවා”

“ඒක නම් විශ්වාස කරන්න අමාරුයි. මාස තුනෙන් කොහොමද ඉංග්‍රීසි කතා කරන්නේ? සුද්දෙක්ට වුණත් අවුරුදු හයක් හතක් යනවනේ ඉංග්‍රීසි හොඳට කතා කරන්න.”

“සහතිකේ තියෙනවනේ ඔප්පු කරන්න”

එමලින් නෝනා සමඟ තර්ක කිරීමෙන් පලක් නැත. කළ යුතු එකම දේ ඇයගේ සිත සැනසෙන බොරු පොරොන්දුවක් දී තවත් අසල්වැසියකු නැති කර නොගැනීමය.
“එමලින්ගෙ පුතා මොන වගේ රස්සාවකටද කැමති?”

මම ඇසුවෙමි.

“එහෙම විශේෂයක් නෑ මහත්තයා. මොකක්හරි කමක් නෑ. උදේ වැඩට ගිහින් හවස ගෙදර එන්ඩ තිබ්බොත් ඇති.”

“නයිට් ඩියුටි කරන්ඩ එහෙම කැමතිද?”

“අනේ කොල්ලට නිදි මරන්ඩ බෑ මහත්තයා”

“සෙනසුරාදා, ඉරිදා, පෝය දවස් වැඩ කරන්ඩ කැමතිද?”

“එහෙම කොහොමද මහත්තයා.. රටේ නිවාඩු දවස්වලට කොල්ලා ගෙදර ඉන්ඩ එපායැ.”

“මොනවද මිනිහගේ විශේෂ හැකියාවන්? ස්පෝට්ස් එහෙම කරලා තියෙනවද?”

“සින්දු කියන්ඩ නම් පුළුවන් මහත්තයා”

“හපෝ මතක් කරන්ඩ එපා. සින්දු කියන අයට කරන රස්සාවලුත් නැති වෙන සයිස් එකක් දැන් තියෙන්නේ. වෙන මොනවද තියෙන සුදුසුකම්?”

“කාඩ් ගහන්ඩයි, කැරම් ගහන්ඩයි හරි දක්ෂයා. මාත් එක්ක ගමේ හැම මළගේකම යනවනේ”

“ඔව්. ආණ්ඩුවේ රස්සාවකටනම් ඒ සුදුසුකම් දෙකත් ප්‍රයෝජනයි. මිනිහා පඩිය කීයක් විතර බලාපොරොත්තු වෙනවද?”

“අද රටේ තත්ත්වෙ හැටියට පනහකටවත් කිට්ටු වෙන්ඩ එපායැ.. නේද මහත්තයා?”

එමලින් නෝනා බලාපොරොත්තුසහගත දෑස් දල්වා මා දෙස බලා සිටී. ඇගේ පුතාට මේ කපේදී රැකියාවක් සොයා දිය නොහැකි බව මට හැඟෙයි. එහෙත් අසල්වැසිකම රැක ගැනීමට කුමක් හෝ කළ යුතුය.

“ලෝක බැංකුවේ ස්වයං රැකියා ව්‍යාපෘතියක් ළඟදි එනවා. පුතාට පොඩ්ඩක් ඉවසලා ඉන්ඩ කියන්ඩ.”

“අනේ ලොකු දෙයක්. බැංකුවක නම් වඩා හොඳයි. පුතා කැමති ඒ වගේ තත්ත්වයක් තියෙන රස්සාවකට තමා..”

එමලින් නෝනා ‘ස්වයං රැකියාවකට’ සතුටුව පිටව ගියාය. ලංකාවේ රැකියා විරහිත බොහෝ තරුණයන්ට අවශ්‍ය වන්නේ මහන්සි වීමට නැති, නිදි නොමරන, වැඩි පඩි ඇති, නිවාඩු වැඩි, තත්ත්වයක් ඇති වයිට් කොලර් ජොබ්ස්ය!

එහෙයින් ඔවුන්ට ගැලපෙන්නේ ස්වයං රැකියාමය. ත්‍රිරෝද රියැදුරුකමේ සිට දේශපාලනය දක්වාම විහිදෙන ස්වයං රැකියා රාශියක් ඇත. ඒ අතුරින් දේශපාලනය යනු, ස්ථිර ආදායමක් ඇති ස්වයං වින්දනාත්මක ස්වයං රැකියාවකි. සාර්ථක අසල්වැසියෙකු වීම ජාතික ආණ්ඩුවක් තනනවාටත් වඩා දුෂ්කර කාර්යයක් බව දැන් ඔබට පැහැදිලි වනු ඇත.

►කපිල කුමාර කාලිංග