2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

ඔරු කඳ ඇතුළේ නැවුම් මාළු වෙන්දේසිය

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 332

සුළඟ හමන අත කෙලෙසක නම් වෙනස් කරන්නද? සුළඟ හමායන්නේ කුමන දිශාවකට වුවත් එය පිටුබලයක් කොටගෙන අපි අපට ඕනෑ අතට යාත්‍රා කරමු. එය රුවලේ රීතියයි. සාගරයේ මසුන් අස්වනු සොයා ඇදුණු අප රුවල් ඔරුවේ යාත්‍රිකයෝ දැන් වෙරළ බලා යාත්‍රා කරන්න කරන්නට සූදානම්ය.

වාරකන් ඔරුවේ ගමන ඉරගල මහා සාගර ගිලෙන්නට කලියෙන් නිමා කළ යුතුය. ඉර අවරට යන්නට පටන්ගෙන හෝරා දෙක තුනක් ගත වනවිට කළුව බොක්ක වරායට අප ඔරුකරුවෝ ළඟා වූහ. රුවලේ බලයෙන් ආපසු ආ ගමන වේගවත්ය. ඔරුව වෙරළට පැමිණි පසු ගෙවෙන හැන්දෑව සැමට කාර්ය බහුල වූහ. වෙරළට බොහෝ වෙළෙන්දෝ පැමිණ සිටිති. මෙම ගම්මානයේ පමණක් නොව අවට බොහෝ ප්‍රදේශවලද කළුව බොක්ක වරාය චිරප්‍රසිද්ධ වූයේය. එනිසාම මේ වකවානුවේ බේරුවල අලුත්ගම ආදී පෙදෙස්වල බොහෝ වෙළෙන්දෝ මෙහි පැමිණීම සිරිතක් කොටගෙන තිබුණි.

බේරුවල මොරගල්ල ගම්මානයේ අතීතයේ පැවති කළුවබොක්ක වරාය ස්වාභාවික පිහිටිමක් නිසාවෙන් නිර්මාණය වූවකි. එය වරායක් ලෙස පැරැන්නන් හැඳින්වුවද සැබෑවටම එය ඔරු තොටක් හා සමවූ තැනකි. අද වනවිට වරාය සලකුණක්වත් එහි නොමැති තරම්ය. වත්මනේ වෙරළ ඛාදනය වළක්වා ගන්නට එම ඉසව්වේ පසෙක ගල්වැටියක්ද බැඳ තිබේ. නමුත් අද දවසේ මේ පෙදෙසේ සංචාරක කර්මාන්තය නම් යහමින් කෙරීගෙන යයි. අතීතය පිළිබඳ දන්නා වැටකෙයියා පඳුරු කිහිපයක් පමණක් කළුවබොක්කේ අද ශේෂව තිබේ. මෙම ඔරු තොටින් මුහුදු ගිය පැරැණි ධීවරයන් බොහෝ දෙනාද අද ජීවන තොටුපොළෙන් නික්ම ගොසිනි. ගමේ උපන් අලුත් පරම්පරාව කළුවබොක්ක නම් ඔරු තොටක් ගැන අසා නොමැති තරම්ය. සැබෑවටම අප සොයාගිය කතාව වෙරළේ වැලි තලාවෙන් වැසී ගිය මතකයකි. එය අපට මතුකර දීමේ ගෞරවය ජයමුණි ලැම්බට් සිල්වා මහතාට හිමි වේ....

අපි නැවතත් අතීත වෙතට පිය මනිමු. වාරකන් ඔරු පැමියණි පසු හැන්දෑවේ වෙන්දේසිය ඇරඹුණේය. ඔරුවේ මාළු නැවුම්ය. ඔරු කඳේ බහා දියේ රැගෙන එන නිසාවෙන් ඒවායේ නැවුම් බව සුරැකේ. මාළු ගොඩවල් වෙන්දේසියේදී වෙළෙන්දෝ මිලට ගනිති. මෙකල මාළු ලෑලිවල විකිණීම මෙන්ම කද බැඳගෙන ගොස් විකිණීමද සිදුව තිබේ. මසුන් අස්වනු සරුවූ කාලයේ කරත්ත පවා කළුවබොක්ක සීමාවට පැමිණියේය. කෙසේ හෝ ඇඳිරි වැටෙන්නට කලියෙන් බටහිර අහස රත් පැහැ වනවිට කළුවබොක්ක වරායේ බොහෝ කටයුතු නිමාවේ. මීළඟට ඇරඹෙන්නේ රාත්‍රියේ දියඹ බලා යන ඔරුකරුවන්ෙග් රාජකාරියයි.

වාරකන් ඔරුවේ පංගු බේරීමද සිදුවූයේ සුවිශේෂී ක්‍රමයකටය. තුනෙන් එකක් ඔරු හිමියාට හිමිවන අතර ඉතිරි තුනෙන් දෙක ඔරුවේ ගමන් ගත් ධීවරයන්ට හිමිවිය. ඔරුවේ හිමිකරු මීට අමතරව තණ්ඩලේට වෙනම මුදලක්ද ලබාදුන්නේය. අද ධීවර කර්මාන්තයේ යාත්‍රාවල පංගු බෙදෙන්නේ දෙකෙන් පංගු ලෙසිනි. එහෙත් අතීතයේ ඔරුවල විශේෂ වියදමක් දැරීමට ඔරු හිමියන්ට අවැසි නොවීය. එනිසාම වැඩි පංගුව ධීවරයන්ට හිමිවිය. සැබෑවටම දළ රළ නැගෙන මහ මුදේ ඔරුවෙන් ඔවුන් පාන හරඹය විස්මයජනක විය. එනිසාම ඔවුනට වැඩි පංගුව හිමිවීම අත්‍යන්තයෙන්ම සාධාරණය.

අලුතින්ම තනා රුවල් බැඳ මසුන් අස්වනු සොයා ගිය මංගල ඔරු ගමන නිමවා, අප තණ්ඩලේ ඇතුළු ධීවරයන් සිය දවසේ කටයුතු අහවර කළේ එලෙසිනි. නිවසේ අඹුදරුවන්ට ද මාළු ටිකක් රැගෙන ඔවුහු ඇඳිරි වැටීගෙන එනවිට නිවෙස් බලා පිටත්වූහ. මොරගල්ල කළුවබොක්ක වරායේ ගතකළ දිනය කෙමෙන් නිමාවෙමින් තිබේ. විදුලි පහන් නොමැති රාත්‍රියේ ගණ අන්ධකාර විසින් ගම්මාන ගිලගනු ලැබීය. සඳ තරු පායා එළිවූ අහසේ ඈත කෙළවර ක්ෂිතිජයේ රෑ ගමන් ගිය ඔරුවල පහන් එළි දැල්වේ. මේ අතීතයේ අප ගතකළ තවත් සොඳුරු දිනයක නිමාවයි.

ඔරැ ගමනේ දිනක පුවත එසේ නිමා වුවද ඔරු කතාව අවසානයේ ඔබ සමඟ බෙදා ගතයුතු තවත් තතු තිබේ. මෙකල ඔරු ගමනේ යම් අවදානමක්ද විය. එහෙත් අනතුරු ගැන පුවත් විරලය. ඊට හේතු මෙසේය. එක්දහස් නවසීය පනස් ගණන් වන තෙක්ම ලක් පොළොවේ විසූ මිනිසුන්ට ස්වභාවධර්මය පිළිබඳ විසල් දැනුමක් තිබිණි. සුළඟේ හැසිරීම, අහසේ වළාකුළු දෙස බලා ඔවුන් කී කාලගුණ අනාවැකි ඉතා නිවැරැදි විය. එනිසාම ඔරු ගමනේදී යම් අවදානමක් වෙතොත් මෙකල ඔරුකරුවෝ පෙරදීම එය දැන ගත්හ.

කෙසේ නමුත් සැඩසුළං හමනවිට ඇතිවූයේ කොල්ලෑව අනික් පැත්ත ගසා ඔරැව පෙරළීයාමේ අවදානමයි. එවන් තත්ත්වයක් ඇතිවුවහොත් එක් අයෙක් කොල්ලෑවට ගොස් බර දී අල්ලාගෙන සිටී. එවිට අවදානම පහව යයි. යම්හෙයකින් අවාසනාවකට විසල් අනතුරක් සිදුවී ඔරුවක් පෙරලුනද ඔරුව දියේ ගිලීමක් සිදුනොවේ. ඔරු කඳ කණපිට හැරී දිය මත පාවේ. එවිට උපකාරයක් ලබෙනතුරු දියේ පාවෙන ඔරුවේ එල්ලී සිටීමට ධීවරයනට හැකිය. එකල වාරකන් ඔරුවල අනතුරු අවම වූයේ මෙලෙසිනි.

පෝය දිනයේදී පැරැන්නෝ ඔරුගමන නොගියහ. තම ජීවිකාව ධීවර කර්මාන්තය වුවත් ඔවුහු පින් පව් පිළිබඳ විශ්වාස කළහ. එහෙත් පෝදා ඔරුකරුවන්ට සිදුකරන්නට එක් විශේෂිත රාජකාරියක් තිබුණේය. එදිනට ඔරැවලට තෙල් පෙවීම සිදුකරන දිනයයි. ඔවුහු වැලි කඩදාසියක් මෙන් වූ පොතුඹරුන්ගේ හමෙන් ඔරුවම මැද පෙඳ බැදී ඇත්නම් ඒවා ඉවත් කළහ. ඉන් අනතුරු ඔරු කඳ හොඳින් වේලෙන්නට තබා සැඳෑවේ තෙල් ගෑම සිදුකරනු ලැබීය. මෙය ඔරුවේ සවි ශක්තියේත් කල්පැවැත්මේත් රහස විය. තවද එකල ඔරුවේ දුම්මල ගෑ බවද අසන්නට ලැබේ. නිතර කරිජ්ජ වැදීමෙන් ගුල්ලන් ආදී සතුන්ගෙන් හානියක්ද ඔරු කඳට සිදුනොවීය.
අද රුවල් ඔරු කර්මාන්තය මීගමුව වැනි ප්‍රදේශවල යම් පමණ කෙරීගෙන යයි. ඒ ඒ ප්‍රදේශයන්ට අනන්‍ය ලක්ෂණ තිබූ නිසා එය අප කී කතාවට වඩා වෙනස් විය හැකිය. කෙසේ නමුත් දිවයිනේ දකුණු නිරිතදිග වෙරළේ අද රුවල් ඔරුවක් දැක ගැනීමට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. මෙය එක යුගයක අවසානය හෙළිකරන තවත් එක් අපූර්ව කතාවකි. ඉතින් අප මෙතෙක් සති තුනක් ඔබට කී මොරගල්ල කළුව බොක්ක වරායේ රුවල් ඔරු කතාව මෙසේ නිමා කරමු. කාලය විසින් යටපත් කළ ඒ අතීතය අව්‍යාජ සොඳුරු බව, පාරම්පරික දැනුම මතින් අපි තවත් ඉදිරියට ඇවිද යමින් සිටිමු. හමුවෙනා ඇසිල්ලක නැවත ඔබ වෙනුවෙන් මෙවන් කතාවක් ලියා තබමු.

චමිඳු නිසල් ද සිල්වා
විශේෂ ස්තූතිය: ජයමුණි ලැම්බට් සිල්වා මහතාට

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00