2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

තානාපති පාස්පෝට් හිමිකරුවෝ

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 77

ශ්‍රී ලංකාව තුළ වෙසෙන පුද්ගල කණ්ඩායම් ගණනාවක් රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (තානාපති පාස්පෝට්) ලබාගැනීමේ වරම් ලබා සිටිති. පූජ්‍ය පක්ෂය, ජනාධිපති, අගමැති උපදේශක සිට සෑම තරාතිරමක ඇමතිවරුන් ඔවුන්ගේ සැමියන් හෝ බිරියන් සහ අවිවාහක දරුවෝ මේ අතර වෙති.

රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍ර සහ ඒවා ලබාගැනීමට හිමිකම් ඇත්තන් සම්බන්ධයෙන් පසුගිය සතිය තුළදී කතිකාවක් හටගැනිණි. එවන් ගමන් බලපත්‍රධාරියෙකු ඩුබායි හිදී අත්අඩංගුවට පත්වූ පතාල නායකයෙකු වන මාකඳුරේ මධූෂ් සමඟ සිටි පිරිස අතර වී යැයි සඳහන් වීම ඊට හේතුව විය.

එකී සැකකරුගේ අනන්‍යතාවය මේ ලිපිය සකස්කරනා විටදී ස්ථිර නොවූවද එය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ ගමන් බලපත්‍රයක් බවට ඇතැමුන් සඳහන් කර ඇත. කෙසේ වුවද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට හිමිකම් ඇත්තේ නිල ගමන් බලපත්‍රයක් ලබාගැනීමට මිස රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගැනීමට නොවේ. එසේම ඩුබායි විමර්ශන නිලධාරින් විසින් මෙරට ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවට එවන් ගමන් බලපත්‍රධාරියකු පිළිබඳව මෙතෙක් කිසිදු දැනුම් දීමක් ද කර නොමැත.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ චක්‍රලේඛයකට අනුව ශ්‍රී ලංකාවේ වෙසෙන බොහෝ පිරිසකට රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍ර ලබාගැනීමේ හිමිකම් ලැබේ. පසුගිය වසරේ මැයි මාසයේදී තොරතුරු දැනගැනීමේ අයදුම්පත්‍රයක් හරහා Sunday Times පුවත්පතට තානාපති ගමන් බලපත්‍ර හිමියන්ගේ ලේඛනය ලබාගැනීමට හැකිවිය. එහිදී 1797කට රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයකට හිමිකම් තිබූ බව හෙළිවිය.

2015 මාර්තු මාසයේදී Sunday Times පුවත්පතට තොරතුරු ලැබුණේ එවන් ගමන් බලපත්‍ර 1843ක් පිළිබඳව පමණි. එම සංඛ්‍යාව දැනට වඩා සුළු ප්‍රමාණයක් ඉහළින් විය. 2014 පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත්වූයේ වසර නවයක කාල සීමාවක් තුළ රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍ර 2872ක් නිකුත් කර තිබූ බවය. ජනාධිපති, ඔහුගේ බිරිඳ සහ දරුවන් හැරුණු විට අග්‍රාමාත්‍ය බිරිඳ, දරුවන්, හිටපු ජනාධිපතිවරැන්, හිටපු අග්‍රාමාත්‍යවරුන්, ඔවුන්ගේ බිරින්දෑවරු සහ ඔවුන්ගේ අවිවාහක දරුවන් මෙම වරප්‍රසාදයට හිමිකම් කියා තිබේ.

කතානායක, අගවිනිසුරු, ඇමතිවරුන්, විපක්ෂ නායක, ඔවුන්ගේ බිරිය හෝ සැමියා හා අවිවාහක දරුවන්, හිටපු ජනාධිපතිවරුන්ගේ වැන්දඹුවන්, පළාත් අණ්ඩුකාරවරුන්, ඔවුන්ගේ බිරිය හෝ සැමියා හා අවිවාහක දරුවන්, පළාත් ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන් ඔවුන්ගේ බිරිය හෝ සැමියා හා අවිවාහක දරුවෝද එවන් රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයකට සුදුස්සෝ වෙති.

නියෝජ්‍ය කතානායක, ව්‍යාපෘති ඇමතිවරු, කැබිනට් නොවන ඇමතිවරු, පාර්ලිමේන්තු කමිටුවල නියෝජ්‍ය සභාපතිවරු, සභානායක යන අයගේ බිරිය හෝ සැමියා ද අවිවාහක දරුවෝ ද, ව්‍යවස්දායක සභාවේ සාමාජිකයන් සහ දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කොමිෂන් සභාවට පත්කරනු ලබන්නන්, නීතිපති, ශ්‍රේෂඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු, පළාත් සභා සභාපතිවරුන්, ඇමතිවරුන් සහ ඔවුන්ගේ බිරිය හෝ සැමියා ද මෙම හිමිකම ලැබූ පිරිස අතර සිටිති.

එමෙන්ම ජනාධිපතිගේ අගමැතිගේ සහ කැබිනට්ටුවේ ලේකම්වරුන්, මහ බැංකුවේ අධිපති, අමාත්‍යාංශ ලේකම්වරු, පාර්ලිමේන්තු මහලේකම්, ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්යමණ්ඩල ප්‍රධානී, ජනාධිපති උපදේශකවරු, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්, විගණකාධිකාරීපති, අගමැති උපදේශකවරුන් සහ මැතිවරණ අධ්‍යක්ෂක ජෙනරාල් ද මෙම රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයට සුදුසුකම් ලැබූ නිලධාරීහු වෙති.

එසේම පාර්ලිමේන්තු සභා නායක සහ ජනාධිපති අතිරේක ලේකම්වරු සහ ප්‍රධාන ලේකම්වරු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික, යුද හමුදා, ගුවන් හමුදා ප්‍රධානීහු, පොලිස්පති සහ ජාතික ඔත්තු සේවා ප්‍රධානීහු මෙයට හිමිකම් ලබති.

මල්වතු, අස්ගිරි, රාමඤ්ඤ සහ අමරපුර මහ නිකාය මහ නායකහිමිවරු, රෝමානු කතෝලික පල්ලියේ අගරදගුරු සහ සෙසු ආගම්වල ප්‍රධාන පූජකවරු, විදේශ කටයුතු අමාත්‍යාංශය ලේකම්වරු, කොළඹ සහ මහනුවර මහනගර සභා නගරාධිපතිවරු සහ ආගමන සහ විගමන පාලක, අල්ලස් කොමිසමේ, රේගුවේ සහ විදේශ සම්පත් අධ්‍යක්ෂක ජෙනරාල්වරුද මෙම ලැයිස්තුවේ සිටිති.

එමෙන්ම නිරායාසයෙන්ම රාජ්‍යතාන්ත්‍රික බලපත්‍ර හිමිකම් ලබන පිරිසක් ද සිටිති. ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරීන් සහ පවුලේ සාමාජිකයන්, ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට අනුයුක්ත කර යවා ඇති රජයේ නිලධාරින් හෝ අමාත්‍ය මණ්ඩලය තීරණය පරිදි එතෙර විවිධ ඉහළ තනතුරු හොබවන පිරිස, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්, වාණිජ දෙපාර්තමේන්තුවේ, ආරක්ෂක අමාත්‍යාංශය, කම්කරු දෙපාර්තමේන්තු, ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ රජයේ වෙනත් ආයතනවල ප්‍රධානීහු ද ඔවුන්ගේ වයස අවුරුදු විසිඑකට අඩු අවිවාහක දරුවෝද මේ සුදුසුකම ලබති.

රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍ර ලැයිස්තුව අවසන් වරට ශුද්ධ කරන ලද්දේ 2015 වසරේදීය. එම වසරේදී අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය මගින් ආගමන පාලක ජෙනරාල්වරයාට උපදෙස් දෙනු ලැබුවේ ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණයට පෙර රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍ර ලබාගෙන සිටි සියලු නිලධාරීන්ට තමන්ගේ විදෙස් ගමන් සඳහා එම ගමන් බලපත්‍ර යොදාගත නොහැකි යැයි දැනුම් දිය යුතු බවටය.

Sunday Times පුවත්පත ඇසුරෙනි
දිශානි ජයමාලි කරුණාරත්න

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00