2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

රාජ්‍ය ආදායමෙන් හතරෙන් එකක් මකර කටේ

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 48

රාජ්‍ය ආයතනවල මූල්‍ය විනය යහපත්ව පවත්වා ගැනීම රටේ ආර්ථික සංවර්ධනයේදී ඉතාම වැදගත් වෙයි. වර්තමාන විගණකාධිපතිවරයාද පසුගියදා පවසා සිටියේ රාජ්‍ය අයවැය ලේඛනයේ මුදල්වලින් සියයට 25ක් පමණ ප්‍රමාණයක් දූෂණය නාස්තිය හා අවභාවිතය වැළැක්වීම මගින් ඉතිරි කරගත හැකි බවයි.

රටේ මූල්‍ය විනය නිසියාකාරව පැවැත්වුවහොත් රජයේ මුදල් විශාල ප්‍රමාණයක් ප්‍රවේශම් කරගත හැකිවේ. මෙහිදී රාජ්‍ය ආදායම වර්ධනය කරගැනීම මෙන්ම වියදම අරපිරිමැස්ම තුළින් සුදුසු ආකාරයට ගලපා ගැනීම වැදගත් වෙයි. රටේ ප්‍රධාන වශයෙන් ආදායම් උපයන දෙපාර්තමේන්තු කිහිපයක් සහ රාජ්‍ය ව්‍යවසාය ආයතන කිහිපයක් තිබේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව මේ අතර ප්‍රධානය. රාජ්‍ය ව්‍යවසායන් අතර, ඛනිජ තෙල් සංස්ථාව, වරාය, ජල සම්පාදන සහ විදුලිබල මණ්ඩලය වැදගත් වෙයි.

මෙම ආයතනවල ආදායම් ඇස්තමේන්තු ලබා ගැනීමේදී ඒවායේ විශ්වාසනීයත්වය පිළිබඳ උනන්දුවක් දැක්වීම අවශ්‍ය වේ. මෙහිදී අපට පෙනී යන්නේ වර්තමානයේ වුවද ඇස්තමේන්තු සකස් කරන්නේ නිසි පාදක කිරීමකින් තොරව බවයි. වැඩිදුර සොයා නොබලා පෙර වර්ෂයේ ඇස්තමේන්තුවලට යම් ගැලපීමක් කර සිදුකිරීම නිසා ඒවායේ පැහැදිලි වෙනසක් ඇති බව නොපෙනේ. එහෙත් කළයුත්තේ ප්‍රායෝගික විමර්ශනයකින් පසු ඇස්තමේන්තු සකස් කිරීමයි. රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමට මෙම ආයතනවලට විශාල කාර්යභාරයක් තිබේ. උදාහරණයක් ගතහොත් ශ්‍රී ලංකා රේගුව විශාල ලෙස ආදායම් උපයන දෙපාර්තමේන්තුවක් වුවද එහි යම් නිලධාරීන්ගේ විෂමාචාර, අවිධිමත් ක්‍රියා සහ නිසි කළමනාකාරීත්වයක් නොමැතිවීම නිසා නියමිත ආදායම රජයට නොලැබී යාමේ බරපතල ගැටලුවක් උද්ගත වී තිබේ. මේවායේ ලැබිය යුතු ආදායම් නොවන යම් කොටසක් ඇති බව මාධ්‍ය වාර්තා දැනුවද පෙනේ. විදුලි, ජල, ආදියේ ආදායම්වලින් කොටසක් අපතේ යන බව පැහැදිලිය. විදුලි සහ ජල නිෂ්පාදනය, බෙදාහැරීමේදී හා පාරිභෝජනයේදී යම් ප්‍රතිශතයක් හරියාකාරව පිරිමසා ගැනීමට බැරි තත්ත්වයකට පත්ව ඇති බව දක්නට තිබේ. එසේම මෙහි වියදම් පැත්තද යම් ආකාරයට පිරිමසා ගත යුතුය. දූෂණය, වංචාව හා නොසැලකිලිමත්කම නිසා සිදුවන හානි වළක්වා ගැනීම වැදගත්වේ.

දේශපාලන බලපෑම්
විගණකාධිපතිවරයා සියයට 25ක් යැයි පැවසුවේ මේ තත්ත්වය ගණනය කිරීමෙන් විය හැකිය. මෙම ප්‍රතිශතය අඩු හෝ වැඩි වන්නට පුළුවන. එසේම මෙවැනි තත්ත්වයක් උද්ගතවීමට තීන්දු ගන්නා අවස්ථාවේදී යම් යම් දේශපාලන බලපෑම් එල්ලවීමද හේතුවිය හැකිය යන අදහස බැහැර කළ නොහැක. ඉහළ, මධ්‍යම හා පහළ ස්ථරවල නිලධාරීන්ද මේ සඳහා වගකිව යුතුවේ. මේ කරුණු විගණකාධිපතිද වාර්තාකර තිබේ. දේශපාලනඥයන් හා නිලධාරියා යන දෙපාර්ශ්වයේම හැසිරීම තුළින් මෙම තත්ත්වය වළක්වා ගැනීමට ක්‍රියා කළ හැකිවේ. මේ පිළිබඳ දේශපාලන ස්ථරයට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කළ හැකිය. නිලධාරීන් ඒ පිළිබඳ තීරණ ගෙන ප්‍රායෝගිකව ක්‍රියාකරමින් ආදායම වැඩිකර වියදම අඩු කිරීමට කටයුතු කළ යුතුවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42-2 වගන්තිය අනුව අමාත්‍ය මණ්ඩලය රටේ විධායක කාර්ය පිළිබඳ පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටී. 52-2 වගන්තිය යටතේ අමාත්‍යංශ විධානයට හා පාලනයට යටත්ව අවශ්‍ය පියවර ගෙන ආයතන මෙහෙයවීම සිදුකළ යුතුවේ. ව්‍යවස්ථාවේ 148 වගන්තිය අනුව පාර්ලිමේන්තුව රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ සම්පූර්ණ වගකීම දරන ආයතනය වේ. ඒ පිළිබඳ අවශ්‍ය තීන්දු තීරණ ගැනීමේ බලය පාර්ලිමේන්තුව සතුව පවතී. එසේම 149 වගන්තියේ වියදම් කිරීමට පාර්ලිමේන්තුවට ඇති හැකියාව දැක්වේ. මෙලෙස ඒකාබද්ධ අරමුදලට බැරවෙන මුදල් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව තනිවම ලබා ගැනීමට අමාත්‍යවරයාට වුවද හැකියාවක් නොමැත. පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති විශේෂ අවස්ථාවකදී පමණක් 150 වගන්තියේ 3-4 උප වගන්ති අනුව මුදල් වැයකිරීමට ජනාධිපතිට බලය තිබේ. මේ අනුව පෙනී යන්නේ රාජ්‍ය මුදල් පිළිබඳ විශාල වගකීමක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාට ලැබී ඇති බවය.

ව්‍යවස්ථාපිත බලය
එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 වගන්තිය අනුව රාජ්‍ය ගිණුම්කාරක සභාවද, 126 අනුව කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවද ස්ථාපිත කර තිබේ. මේවාට කැඳවූ විට කවරකුටවත් එයට සහභාගි නොවී සිටීමට බලයක් නැත. එය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 126 හි සඳහන් වේ. 126-4 අනුව කාරක සභාව විසින් නියම කරනු ලබන කවර හෝ රාජ්‍ය නිලධාරියකු හෝ වෙනත් අයකු එයට අනිවාර්යයෙන්ම පැමිණ සහය දැක්විය යුතුය. ස්ථාවර නියෝග 125-5 ප්‍රකාරව කාරක සභාවලට මෙන්ම ඒ යටතේ පත්කරන අනුකාර සභාවලටද ඊට අයත් කාර්යයන් ඉටු කිරීම සඳහා කවර හෝ පුද්ගලයකු කැඳවා ප්‍රශ්නකිරීමටද කවර හෝ පොතක් ලේඛනයක් හෝ වෙනයම් ලියවිල්ලක් ගෙන්වා ගෙන පරීක්ෂා කිරීමේ බලයද ලැබී තිබේ. එසේම ගබඩාවලට හෝ වෙනත් ඕනෑම දේපළකට පිවිසීමේ බලයද ඇත.

මෙවැනි නියෝග පැහැර හරින අවස්ථාවල එම පුද්ගලයන්ට පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත  යටතේ එහි “අ” කොටස අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම දඬුවම් කරනු ලැබිය යුතු වැරදි ලෙස දැක්වේ. “ආ” අනුව පාර්ලිමේන්තුව හෝ ශ්‍රේෂ්ඨාධිකරණය යන දෙකෙන්ම දඬුවම් කළ හැකිය. මෙම තත්ත්වය දැනගෙන හෝ නොදැන ඇතැම් රාජ්‍ය නිලධාරීන් මෙම කමිටුවලට කැඳවූ විට විවිධ කරුණු ඉදිරිපත් කරමින් පැමිණීමට කරඅරින අවස්ථා අනාවරණය වී ඇත. එය නරක පූර්වාදර්ශයකි. ඒ අයට එරෙහිව ක්‍රියාකළ හැකිය.

ගිණුම් පැවැත්වීම
2018 අංක 19 දරන ජාතික විගණන පනත අනුව විගණකාධිපතිට විශාල ලෙස බලතල ලැබී තිබේ. විශේෂයෙන්ම විගණන පනතේ 16 වගන්තිය යටතේ විගණනයට ලක්වන ආයතනයක හරියාකාරව ගිණුම් පවත්වාගෙන යාම පිළිබඳවද විධිවිධාන දැක්වේ. 38 වැනි වගන්තිය අනුව නිල කාර්යභාරය පිළිබඳවද පළමුවරට ප්‍රතිපාදන සලසා තිබේ. පනතේ 42 සිට 45 දක්වා වගන්තිවල වැරදි හා ඒ ඒ වරදිවලට පැනවිය හැකි දණ්ඩනද දක්වා ඇත. 45 වගන්තිය අනුව නිසි පරිදි කටයුතු නොකළහොත් වසරකට නොවැඩි සිර දඬුවමක් හා රුපියල් ලක්ෂ 1කට නොවැඩි දණ්ඩනයක් නියම කළ හැකිය.

විගණන පනතේ 19 වැනි වගන්තියෙන් දැක්වෙන්නේ අධිභාර පැනවීමට විගණකාධිපතිට ඇති බලයයි. මෙම පනත සම්මත වීමට පෙර විගණකාධිපතිට බලය තිබුණේ පළාත් පාලන ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට එරෙහිව අධිභාර පැනවීමේ බලය පමණකි. එහෙත් විශේෂයෙන් සඳහන් කළ යුත්තේ අභිනව පනත අනුව සමස්ත රාජ්‍ය සේවයේම නිලධාරීන්ට අධිභාර පැනවීමේ බලය විගණකාධිපතිට ලැබී තිබීමය. ඒ අනුව රාජ්‍ය සේවයේ වංචා දූෂණ අකාර්යක්ෂමතා දුරලා එය ශක්තිමත් කිරීමේ බලතල විගණකාධිපතිට ලැබී තිබේ.

විගණන පනත
විගණන කොමිසමෙන් කෙරෙන්නේ විගණකාධිපතිට අවශ්‍ය ශක්තිය ලබාදීමයි. පනත අනුව මේ වනවිට විගණකාධිපතිට මූල්‍ය ස්වාධීනත්වය ලැබී තිබේ. විගණකාධිපතිට අවශ්‍ය නිලධාරීන් සහ මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට නව විගණන පනත අනුව ප්‍රතිපාදන සැලසී ඇත. එහිදී ඔහු කිසිදු අමාත්‍යංශයකට යටත් නොවන අතර අවශ්‍ය පහසුකම් පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් ලබා ගැනීමට අවස්ථාව සැලසී තිබීම අගය කළ යුතුය.

2015 දී විගණන කොමිෂන් සභාව පිහිටවුවද අවශය නීතිමය ප්‍රතිපාදන සැලසී නොතිබුණි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අනුව 153 වගන්තිය යටතේ අවශ්‍ය බලතල පනතකින් ලැබුණේ මෙයට මාස කිහිපයකට පෙරය. එයට පෙර විගණන කොමිසම පත්කර තිබුණද නිලධාරීන් සිටියද ක්‍රියාත්මක කිරීමේ හැකියාව නොතිබුණි. අවශ්‍ය බලතල ලැබී මේ වනවිට මාස කිහිපයක් පමණක් ගතවී ඇත. ඒ අනුව ඉදිරියේදී විගණකාධිපතිට ස්වාධීනව සිය කටයුතු කිරීමට අවස්ථාව ලැබී තිබේ. මෙමගින් යහපත් රාජ්‍ය සේවයක් ගොඩනැගීමට හැකියාව ලැබෙනු ඇත.

රාජ්‍ය මුදල් යනු ජනතාවගේ මුදල් වේ. ඒවා අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීම සියලුම රාජ්‍ය සේවකයන්ගේ යුතුකම හා වගකීම වේ. ප්‍රධාන ගණන් ගන්නා නිලධාරියා වශයෙන් අමාත්‍යංශ ලේකම්වරයාගෙන් පටන්ගෙන පහළම ශ්‍රේණියේ නිලධාරියා දක්වා මෙම වගකීම බෙදී යයි. මේ වනවිට ඇතැම් රාජ්‍ය ආයතනවල වංචාව දූෂණය ඔඩුදුවා ඇතැයි මාධ්‍ය මගින් විවිධ අවස්ථාවල වාර්තාකර ඇත. ඒවා සනාථ කරන සිද්ධිද එමටය. පසුගිය සමයේ සිදුවූ දේ පිළිබඳ විමර්ශනය කිරීමට මේ වනවිට කොමිෂන් සභාද පත්කර ඇත. කවුරු කුමන හොරකමක් වංචාවක් දූෂණයක් කළත් එය සදාකාලිකව රහසක් වශයෙන් තබාගත නොහැක. එය කවදා හෝ එළිවනවා ඇත. කාට බොරු කළත් තම හෘදය සාක්ෂියට බොරු කළ නොහැකි බව තරයේ සිතාගත යුතුය. කොතරම් බලතල තිබුණත් රාජ්‍ය අංශයේ සිදුවනවා යැයි කියන සෑම අවිධිමත් ක්‍රියාවක්ම හෙළිකර ගැනීමට විගණකාධිපතිට නොහැකිය. ඒ නිසා සෑම රාජ්‍ය සේවකයෙක්ද අවංකව සිය යුතුකම් ඉටුකර යහපත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට දායක වීම අවශ්‍යය.

යසවර්ධන රුද්රිගු

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00