2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

tatoo ගහගන්න නම් මෙන්න නියම තැනක්

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 69

කාලෙකට පස්සෙ ටැටූ එකක් ඇඳගන්න හිතිලා මම Soul Ink Studio එකට ගොඩවුණා. උදිත රංගන, රොවානා වෙබ්ස්ටර් සහ කයිල් සම්පත් කියන තරුණ දක්ෂ ටැටූ ආර්ටිස්ට්ලා තුන්දෙනා තමයි මෙතැන ඉන්නෙ. සනීපාරක්ෂාව අතිනුත් ඉහළම තැනක තියෙන මෙතැනදී ටැටූ එකක් ඇඳගන්නවාට අමතරව ටැටූ කලාව ගැන හොඳ අවබෝධයකුත් ලබාගන්න පුළුවන්. 

උදිත කියන විදිහට රොවානා තමයි ලංකාවේ ඉන්න එකම වෘත්තීය ටැටූ ශිල්පිනිය. වෘත්තීය භාවය ලබාගන්න නම් ටැටූ ස්ටුඩියෝ එකක වැඩකරලා පළපුරුද්ද ලබාගන්න අවශ්‍යයි. නමුත් එහෙම ස්ටුඩියෝ නොතිබුණු වෙලාවක රොවානා අමෙරිකාවට ගිහින් තමයි පළපුරුද්ද ලබාගෙන ප්‍රොෆෙෂනල් ටැටූ ආර්ටිස්ට් කෙනෙක් විදිහට ලංකාවට එන්නෙ. 

රොවානා කියන විදිහට ඈ තාමත් ටැටූ කලාව ප්‍රගුණ කරමින් තමයි ඉන්නෙ. ඇයට විශ්වාසයෙන් යුතු මෝස්තර රටා කිහිපයක්ම තිබුණත් ඈ නිරන්තරයෙන්ම තමන් හැදෑරිය යුතු අලුත් මෝස්තර අත්හදා බලන්නත් යොමුවෙනවා. වෘත්තීය ටැටූ ශිල්පිනියක් ලෙස ඉදිරියට යාමේදී මේ සතතාභ්‍යාසය අත්‍යවශ්‍ය බවයි ඇගේ හැඟීම.

උදිතලාගේ ටැටූ පාඩමේදී මම ඉගෙන ගත්ත තවත් විශේෂ කාරණයක් තියෙනවා. ඒ තමයි අපි ඉර අව්වට නිරාවරණය වෙන්න වෙන්න ටැටූ එක ෆේඩ් වෙන්න පුළුවන්. ලේසර් ප්‍රතිකාරයකදීත් ඒ දේම සිද්ධවෙන්න පුළුවන්.

ටැටූ එකක් ඇඳගන්න කැමැති අයට උදිතගෙන් පොඩි ටිප් එකක් තියෙනවා. ඒ තමයි ටැටූ එක අඳින අතරතුර හෙමිහිට හුස්ම ගත්තොත් ඇඟේ මස්ගොබ ලිහිල්වෙලා දැනෙන වේදනාව අඩුවේවි.

Soul Ink Studio එකේ තියෙන තවත් විශේෂත්වයක් වන්නේ, ටැටූ එකක් ඇඳගන්න කැමැති කෙනෙක් තමන්ට කැමැති ටැටූ මෝස්තරේ හොයාගෙන මෙතැනට එන්න වුවමනා නැහැ. තමන්ට අවශ්‍ය දේ ගැන අදහසක් විතරක් තියාගෙන ආවම ඇති. ඒක මේ අයට පැහැදිලි කළාම, එයාලා මෝස්තරයක් ඇඳලා දෙනවා. ඉතින් තමන්ගේ කැමැත්ත පරිදි තමන්ට ආවේණික ටැටූ එකක් කරගන්න මෙතැන හොඳින්ම ගැලපෙනවා.

- නටාෂා ප්‍රනාන්දුපුල්ලේ