2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

මුලින් ඕනෑ මොන ඡන්දයද?

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:31 114

මැතිවරණ පිළිබඳ අපේක්ෂාවක් පැවතියේනම් එය වසරේ ඉටුවන ලකුණු මේ වනවිටත් දැකගන්නට ලැබේ. ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දක්වන අදහස්වලින් ඉහත තත්ත්වය තවදුරටත් සනාථ වෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කියා සිටියේ මෙම වසර මැතිවරණ වසරක් ලෙසය. අගමැතිවරයා සිය පක්ෂයේ සංවිධායකවරුන්ට දන්වා ඇත්තේ බිම් මට්ටමේ සිට ජනතාව මැතිවරණයකට සූදානම් කරවන වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙසය. නිශ්චිත දින වකවානු පෙන්වා දෙමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පසුගියදා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ එම දින වකවානුවල මැතිවරණය පැවැත්වීමට නොහැකිනම් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවයි. මෙම සියලු සාධකවලින් පෙනී යන්නේ කුමන හෝ මැතිවරණයක් මේ වසර තුළදී පැවැත්වෙන බවය.

මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයකි. එහිදී රාජ්‍ය පාලනය සඳහා නියෝජිතයන් පත් කිරීමේ බලය මහජනතාවට ලැබෙයි. එය බලයක් නොව ජනතාවගේ මූලික අයිතියක් සේ ගැනීම වඩාත් සුදුසුය. ඒකාධිපති පාලනයක් සහිත රටක ජනතාවට එම අයිතිය ලැබෙන්නේ නැත. ඕනෑම රටක ආණ්ඩුවකට මැතිවරණ පැවැත්වීම ඔස්සේ මහජනතාවගේ විශ්වාසය ගොඩනගා ගත හැකිය. ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල ජනතාව නියමිත කාලයේදී මැතිවරණ අපේක්ෂා කරති. මැතිවරණ පැවැත්විය යුත්තේ රටේ නීතියට ව්‍යවස්ථාවට හා සම්ප්‍රදායට අනුවය.

මෙරට මැතිවරණ ක්‍රමය හා එහි මනාප ක්‍රමය සංවාදයකට ලක්වන්නේ සැලකිය යුතු කාලයක සිටය. ඡන්ද කොට්ඨාස වෙන් කිරීම පිළිබඳ ගැටලුව සාකච්ඡා වන්නේ ද සැලකිය යුතු කාලයක සිටය. මේ හැරෙන්නට සුළු ජාතීන් නියෝජනය කරන ඡන්ද කොට්ඨාස පිළිබඳ සංවාදයක් ද පවතී. මේවාට නිශ්චිත විසඳුම් ලැබී නැති අතර එකිනෙක දේශපාලන පක්ෂ හා පක්ෂ නායකයන් එ සම්බන්ධයෙන් විවිධ මත දරන බවද පෙනෙන්නට තිබේ. මූලික ගැටලුව වී ඇත්තේ එකඟතාවයක් ඇති කිරීමට පවතින බාධාය.

රජය පැත්තෙන් මීට ලබාදීමට නියමිත විසඳුම ලෙස අපට දැනගන්නට ලැබී ඇත්තේ පළාත් සභා සියල්ලෙහි ඡන්දය එකවර පැවැත්වීමට තීරණයක් ගෙන ඇති බවය. පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්විය හැකි බවට තර්කයක් ද ඉදිරිපත් වී ඇත. මේ ක්‍රමය වඩාත් සුදුසු බව පෙනී යයි. කඩින් කඩ මැතිවරණ පැවැත්වීමට විශාල වියදමක් වැයවන අතර කාලය අපතේ යැවීමක් ලෙස සැලකිය හැකිය.

මෙරට මැතිවරණ සිතියම දෙස බලන විට පෙනී යන්නේ මැතිවරණ තුනක් එක පෙළට ඇති බවය. ඒ පළාත් සභා මැතිවරණය, ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ලෙසටය. මෙයින් කුමන මැතිවරණයක් පළමුව පැවැත්විය යුතුද යන තීරණය ඇත්තේ බලධාරීන් අතේය. පළමුව පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට සමහරු තර්ක කරති. ජනාධිපතිවරණයක් පළමුව පැවැත්වීම වඩාත් සුදුසු ක්‍රමය ලෙස තව සමහරු පෙන්වා දෙති. සියල්ලන්ට පළමුව ශක්තිමත් ආණ්ඩුවක් පැවතිය යුතු නිසා මහ මැතිවරණයක් පළමුව පැවැත්වීම වඩාත් උචිත බව තවත් සමහරු කියා සිටිති. මේ සියල්ලන්ටම අදාළ සාධාරණ හේතු සාධක තිබෙනා බව ජනතාව ද පෙන්වා දෙති. මේ අතරින් වඩාත් කාලෝචිත හා ප්‍රායෝගික තීරණයක් ගැනීම වැදගත්ය.

ගෙවී ගිය කාලය තුළද පළවූ මහජන අදහස් හා සිවිල් සංවිධානවල මත දැක්වීම්වලින්ද පැහැදිලි වන්නේ මැතිවරණ පිළිබඳ අපේක්ෂාවක් පොදු සමාජය තුළ ඇති බවය. මැතිවරණ ඉල්ලමින් උද්ඝෝෂණය කළ අවස්ථා කිහිපයක් ද අපට දක්නට ලැබිණ. සමාජ සංස්ථාව දෙස බලන විට පෙනී යන්නේ මැතිවරණයකට අවශ්‍ය පසුබිම සකස් වී ඇති බවය. මැතිවරණ කොමිසම පෙන්වා දෙන ආකාරයට රජයට ඕනෑම අවස්ථාවක මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් පවතී. තත්ත්වය එය නම් දැන් කළ යුත්තේ පළමුව පැවැත්විය යුතු මැතිවරණය කුමක්ද යන්න මැතිවරණ කොමිසමට දැන්වීමය. එහෙත් මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ අතර එකඟතාවයක් ඇති බව පෙනෙන්නට නැත.

පළමුව පැවැත්විය යුත්තේ කුමන මැතිවරණයක්ද යන්න පිළිබඳව දේශයේ අපි එදිනෙදා මහමග හමුවන ජනතාවගෙන් විමසීමක් කළෙමු.

මුලින් ඕනෑ මහ මැතිවරණයක්
සෝමදාස - කොළඹ

"පළාත් සභා මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් නොවෙයි අපිට මුලින්ම ඕන පාර්ලිමේන්තු මැතිවරණයක්. මේ රට යන තත්ත්වය වෙනස් කරන්න මුලින්ම ඕන මහ මැතිවරණයක් තියන එක තමයි අපේ අදහස. මේ රට දේශපාලන වශයෙන් ස්ථාවර තැනක ඉන්නවා කිව්වත් අපිට පේනවා ඒ තත්ත්වය එහෙම නෑ කියලා. රටේ ජනතාවට විශාල වශයෙන් ප්‍රශ්න තියෙනවා. අපි පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයන් පත්කරලා යවන්නේ ජනතාවගේ වගේම මේ රටේ තියෙන ප්‍රශ්න විසඳන්න. නමුත් මේ වර්තමාන පාලකයන්ට බැරි වෙලා තියෙනවා ඒ තත්ත්වය හරියට පාලනය කරන්න. ඒ  නිසා මේ රටේ පාලනය මෙන්ම දේශපාලන පක්ෂයකට ලබාදිය යුතුයි කියන මතයේ මම ඉන්නවා. මේ සියල්ලටම කලින් මේ රට ගැන හිතනවානම් රජය කළ යුත්තේ පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කරලා මේ රටට යහපතක් කිරීමට මහ මැතිවරණයක් පැවැත්විය යුතුයි කියලා තීරණය කිරීමයි."

පළාත් සභා ඡන්දෙ මුලින්ම තියන්න
බණ්ඩාර - කෑගල්ල

"මමනම් හිතන්නේ මුලින්ම තියන්න ඕනේ පළාත් සභා මැතිවරණය. දැන් සමහර පළාත් සභා විසුරුවා අවුරුදු දෙකකට වඩා ගිහින් තියනවා. තවමත් පළාත් සභා මැතිවරණය තියලා නැහැ. පළාත් සභා මැතිවරණය කල් යෑම මගින් ඒ ඒ පළාත්වල සංවර්ධන කටයුතු ඇණහිටලා තියන්නේ. මේ රටේ කවදාවත් මේ තරම් මැතිවරණ කල් ගිය ආකාරයක් මීට පෙර අපි දැකලා නැහැ.

මේ රජය බලයට පත්වෙන්න පෙර කියා සිටියේ නිසි ආකාරයට ජනතාවගේ පරමාධිපත්‍යයට නිසි තැන ලබා දෙනවා කියලා. නමුත් තවමත් මොවුන් බලයට පත් වුණාට පස්සේ පැවැත් වූ එකම මැතිවරණය වුණේ පළාත් පාලන මැතිවරණය පමණයි. ඒ නිසා බලයට එන්න පෙර මොවුන් ලබාදුන් පොරොන්දු මොවුනට අමතකයි නම් කළ යුත්තේ හැකි ඉක්මනින් මේ වෙනකම් කල් ගිය පළාත් සභා ඡන්දය පවත්වන්න. කඩින්කඩ නෙවෙයි එකම දිනක පවත්වන්න. ඊටපස්සේ ජනාධිපතිවරණයත් මහ මැතිවරණයත් පවත්වන්න. හැමදාම ජනතාවට පොරොන්දු පමණක් දෙන්න එපා. ඒ පොරොන්දු ඉෂ්ඨ කරන්න. රට තුළ දැන් යන දේශපාලන වැඩපිළිවෙළට අපේ කිසිම කැමැත්තක් නැහැ. ඒ නිසා මේ පළාත් සභා මැතිවරණය පළමුව පවත්වා අනෙක් මැතිවරණ නියමිත කාලයට තියන්න කියලා තමයි අපි රජයෙන් ඉල්ලා සිටින්නේ."

රට ගොඩගත හැක්කේ ජනාධිපතිවරණයකින් පමණයි
ක්‍රිෂාන්ත - මුල්ලේරියාව

"මේ රට මේ වැටිලා තියෙන අගාධයෙන් ගොඩ අරගෙන නැවත ගොඩනගන්න පුළුවන් වෙන්නේ ජනාධිපතිවරණයක් පැවැත්වීම මගින් පමණයි. ජනාධිපතිවරයාගේ ඇතැම් ක්‍රියාකාරකම් නිසා රටේ දේශපාලනය අස්ථාවර වුණා කියලා මහජනතාව අතරේ මතයක් ගොඩනැගුණා. පසුගිය ආණ්ඩුව කාලයේ ඔවුන්ට තිබුණු චෝදනාව වුණේ මැතිවරණ නියමිත කාලයට පෙර පැවැත්වීම. නමුත් මේ ආණ්ඩුව තවමත් මැතිවරණය පවත්වන ආකාරයක කිසිදු මූලික වැඩපිළිවෙළක් ගොඩනගලා නැහැ. ජනාධිපතිවරයාට හැකියාවක් තියෙන්න ඕන රටේ ජනතාව බලාපොරොත්තු වුණු ප්‍රජාතන්ත්‍රවාදය ලබා දෙන්න. රටේ තියෙන සියලු ප්‍රශ්න ජනාධිපතිවරණයකින් විසඳීමට හැකියාවක් ලැබෙයි කියන එක තමයි මගේ අදහස."

ජනතාවගේ ඉල්ලීම මහ මැතිවරණයක්
ගාමිණී - වස්කඩුව

"රටේ මොන දේ කරන්නත් පාර්ලිමේන්තුව නිසි අකාරයට ක්‍රියාත්මක විය යුතුයි. මොකද ඔවුන් තමයි තීරණය කළ යුත්තේ රටේ මැතිවරණ පැවැත්විය යුතු ආකාරය. ඒ නිසා දැන් ජනතාව අතර ගොඩනැගී තියෙන අදහස තමයි මේ ක්‍රියාත්මක වන පාර්ලිමේන්තුව මැතිවරණයක් පැවැත්වීමට කටයුතු නොකරන බව. මොකද අද සමාජයේ ජනතාව කතාවෙන දේවල් අපිට අහන්නට දකින්නට ලැබිලා තියෙනවා. ඒ නිසා මුලින්ම පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි කියන මතයේ තමයි මම ඉන්නේ. නැත්නම් මේ රටේ ඇති‍වෙලා තියෙන දේශපාලන අස්ථාවරභාවය දිගටම තියෙයි. ඇතැමුන් පවසන්න පුළුවන් රටේ දේශපාලන අස්ථාවරභාවයක් නැහැ කියලා. නමුත් අපි දන්නවා රටේ දේශපාලන අස්ථාවර බවක් තියෙනවා කියලා. ඒ නිසා මේ සියලු ප්‍රශ්නවලට විසඳුමක් ලබාගත හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම මගින් පමණයි."

ඡන්ද තුනම එකට තැබිය යුතුයි
සුමති - දොඩම්ගොඩ

"මේ යන විදිහට වර්තමාන රජය කිසිම මැතිවරණයක් පවත්වන්නේ නැහැ. ඒ නිසා අපි රටේ ජනතාව විදිහට මේ රජයෙන් ඉල්ලන්නේ පළාත් සභා මැතිවරණය, ජනාධිපතිවරණය මහ  මහ මැතිවරණය යන තුනම එකම දිනයක පවත්වන්න කියලා. ඒ විදිහට කරන්න බැරිනම් සති දෙකක් වගේ කාලයක් තුළ මේ මැතිවරණ පවත්වලා නිම කරන්න කියලා. නැත්නම් සිදුවෙන්නේ එක මැතිවරණයක් පැවැත්වුවාට පස්සේ නැවත ඊළඟ මැතිවරණය කාලයක් යනතුරු පවත්වන්නේ නැති වීමයි. ඒක හොඳටම විශ්වාසයි. දැන් මේ පළාත් සභා විසුරුවලා අවුරුදු දෙකකට වැඩියි සමහර ඒවා. ඒ නිසා ඔය කිසිම ආකාරයක මැතිවරණයක් මොවුන් දැන්ම පවත්වන්නේ නැහැ. මේ රටේ තියන ගැටලු විසඳලා නැවත සුපුරුදු ලෙසට රටේ කටයුතු කරගෙන යාමටනම් මැතිවරණ තුනම එකවර පැවැත්විය යුතුයි."

ප්‍රශ්න විසඳගන්න ජනාධිපතිවරණයකට යා යුතුයි
සරත්චන්ද්‍ර - මීරිගම

"රටේ මුලින්ම තැබිය යුත්තේ ජනාධිපතිවරණයක්. ඒ මගින් පමණයි මේ රටේ තියන ප්‍රශ්න විසඳාගත හැක්කේ. පළාත් සභා මැතිවරණයට, මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි කියන මතයේ රටේ බහුතරයක් ජනතාව ඉන්නවා කියලා විශ්වාසයි. ඒ නිසා මේ රටේ තියන ගැටලු හැකි ඉක්මනින් විසඳා ගැනීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට යා යුතුයි."

ධූර කාලය ඉවර වූ පළාත් සභා හයේ ඡන්ද තියන්න
පියරත්න - කුරුණෑගල

"මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ නිසි ආකාරව කිසිදු මැතිවරණයක්වත් පවත්වා ගැනීමට බැරි වුණා. මේ වනවිටත් පළාත් සභා හයක ධූර කාලය අවසන් වෙලා තියෙනවා. මුලින්ම ඒ ධූර කාලය අවසන් වුණු පළාත් සභා හයේ මැතිවරණය පවත්වන්න. ඊට පස්සේ පුළුවන් අනිත් මැතිවරණ පැවැත්වීමට. ඒ නිසා දැන් ඉතිරි පළාත් තුනෙත් ධූර කාලය අවසන් වෙන්නත් ළඟ නිසා හැකි ඉක්මනින් පළාත් ඡන්දය පැවැත්විය යුතුයි කියන එක තමයි මගේ මතය."

මොන ඡන්දයක්වත් ප්‍රමාද කළ යුතු නෑ
නිත්‍යනාදන් - යාපනය

"මේ දේශපාලකයන් තම තමන්ගේ පුද්ගලික දේවල් ඉවතට දාලා රටේ මැතිවරණ තියන්න කටයුතු කරන්න ඕන. දැන් උතුරේ පළාත් සභාව විසුරුවලා තියනවා. තවමත් ඒ පළාත් සභාව මගින් කළයුතු කටයුතු ඇණහිට තිබෙනවා. ඒ නිසා මැතිවරණ පවත්වා මේ රජය ජනතාව ගැන හිතනවානම් මේ තරම් දුරට මේ මැතිවරණ ප්‍රමාද කරන්නේ නැහැ. දැන් ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ ඡන්දයක්. නමුත් මේ ආණ්ඩුව එකම ඡන්දයක්වත් තියන බවක් පෙනෙන්නට නැහැ. ඒ නිසා අපි බලධාරීන්ට කියන්න කැමතියි ජනතාවගේ පරම අයිතියක් වූ මැතිවරණය සාධාරණව නිසි ආකාරයට පවත්වන්න කියලා."

මේ වනවිට දේශපාලන වේදිකාවේ නව මාතෘකා දෙකක් නැවතත් කරලියට පැමිණ ඇත. ඉන් පළමුවැන්න වන්නේ යළිත් ජාතික ආණ්ඩුවක් ඇති කිරිමේ යෝජනාවයි. දෙවැන්න නව ව්‍යවස්ථාවක් ඇති කිරීමේ යෝජනාවයි. මේ යෝජනා දෙකම රටට අවශ්‍ය බව දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනා පෙන්වා දෙති. ශක්තිමත් රජයක් රටකට තිබිය යුතුය. එමෙන්ම නිසි කාලයේ මැතිවරණ පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ඔවුනට ලබාදිය යුතුය. ජනතාවගේ පැත්තෙන් බලන විට ඔවුන් කැමති ආණ්ඩුවක් ද ඔවුන් කැමති නියෝජිතයන්ද පත්කර ගැනීමේ හැකියාව ඔවුනට තිබිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වන්නේ එවිටය.

සටහන - හසිත් අංජන
සේයාරූ - සුමුදු හේවාපතිරණ