2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

ෂැංග්‍රිල්ලා කෑමසූත්‍ර අවන්හලේ රසවෑහෙන ක්‍රැබ්කරි කළුආප්ප

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 111

කෑමසූත්‍ර කියන්නේ ලංකාවේ රසවත්ම කෑම පිරිනමන අවන්හලක් කිව්වොත් නිවැරදියි. මුලදී නිදහස් චතුරස්‍ර ආකේඩ් පරිශ්‍රයේ තිබුණු මේ අවන්හල දැන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පිහිටා තිබෙනවා. ප්‍රකට සූපවේදී දර්ශන් මුනිදාසගේ තුන්වැනි අවන්හල් ව්‍යාපෘතිය විදිහට සැළකිය හැකි කෑමසූත්‍ර අවන්හලේ එක් හිමිකාරිනියක් වන්නේ බොලිවුඩ් නිළි ජැක්ලීන් ෆර්ඩිනැන්ඩස් වීමත් විශේෂත්වයක්.

නැවුම් මොක්ටේල් එකකින් ආහාර ගැනීම ආරම්භ කරපු අපි කෙළින්ම යොමුවුණේ ගෝදම්බ රොටි චිප්ස් වෙතටයි. එයින් දෙක තුනක් රස විඳපු අපි ඊළඟට කෑමසූත්‍ර අවන්හලේ ප්‍රකට ආහාර වර්ගයක් වන කළු ආප්ප රස බැලුවා. දැල්ලන්ගේ ජූස්වලින් තමයි මේ ආප්පවලට කළු පැහැය ලබාගෙන තියෙන්නෙ.

ක්‍රැබ් කරි කියන්නේ මෙතැනදී රස විඳින්න තියෙන හොඳම ආහාරයක් විතරක් නෙමෙයි, ආහාරයකින් බලාපොරොත්තු වෙන රස අපේක්ෂාව ඉක්මවා ගියපු දීසියක්. ඉස්සන් කරිය ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකමයි. මිල ගණන් ගැන කතා කළොත් ක්‍රැබ් කරි එක රුපියල් දහදාහක් වෙද්දි ප්‍රෝන් කරි එකේ එකක් රුපියල් 1,350ක් වෙනවා. හැබැයි ඒ වියදම් කරන හැම සතයක්ම වටින තරමට ඒවා රසවත්. පොල් කිරි, තුනපහ, කහ කුඩු, ලූනු සහ සුදුලූනු යොදාගෙන හදලා තියෙන මේ කරි එකෙන් දැනෙන්නෙ නියම ශ්‍රී ලාංකික රසයක්. අනිත් අතට කලපුවෙන් ලබාගන්නා මේ කකුළුවෙක් කිලෝවක් තරම් බර වෙද්දි ඉස්සන් ග්‍රෑම් 150ක් විතර බරින් යුක්තයි. ඒ එක්ක ලැබෙන කටට කෙළ උනන තරම් රසවත් හොදි ස්ටීම් රයිස් එක්ක හරි අපූරැවට පෑහෙනවා. 

මෙතැනට ආපු වෙලාවක රස බැලිය යුතුම තවත් ආහාරයක් තමයි Spicy Turmeric Baked Whole Chicken Leg. ලංකාවේ ජනප්‍රිය වීථි ආහාරයක් වන රෝස්ට් චිකන් ආභාසයෙන් තමයි මේ ආහාර දීසිය නිර්මාණය කරලා තියෙන්නෙ. 

අපි ඔය කියපු කෑම හැම එකක්ම රසවත් ආහාර දීසි වුණාට What the Hopper කියන අතුරුපස අරගන්නෙ නැතිව මෙතැනින් පිටව යාම අපරාදයක්! රුපියල් 650ක් වෙන මේ ආප්පවලින් හැදූ අතුරුපසය පැණි ආප්ප වගේ අතුරුපසක්. 

- නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
- ඡායාරූප - කණිෂ්ක ගනේවත්ත