2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

මහබෙරිතැන්න ගොවිපොළ ළඟ සුන්දර නවාතැන Serendib Signature Resort

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 165

වික්ටෝරියා ගොල්ෆ් උද්‍යානය, වික්ටෝරියා වේල්ල, ජලාශය ඇතුළු ප්‍රදේශය තමයි දුම්බර මිටියාවතේ සුන්දරම කලාපය. අනිත් අතට ක්‍රිකට්, රග්බි සහ ගොල්ෆ් කියන ක්‍රීඩා තුනම මේ කලාපයේදී දැකගන්න පුළුවන්. ඒ වික්ටෝරියා ගොල්ෆ් උද්‍යානයට අමතරව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් වගේම ත්‍රිත්ව විදුහල් රග්බි පිටියත් පල්ලෙකැලේ පිහිටා තිබීම නිසායි. විශේෂයෙන්ම වික්ටෝරියා ගොල්ෆ් උද්‍යානය ගැන කතාකරද්දි අපිට ආඩම්බර වෙන්න පුළුවන් හේතුවක් තියෙනවා. ඒ තමයි මේ සුන්දර ගොල්ෆ් පිටිය දකුණු ආසියාවේ අංක එකේ ගොල්ෆ් පිටිය වගේම ලෝකයේ හොඳම ගොල්ෆ් පිටි 100 අතරටත් අයත් වීම. 

Serendib Signature Resort කියන්නේ මේ සුන්දර වටපිටාවට මැදිව මහබෙරිතැන්න ගොවිපොළ අසල පිහිටි සුන්දර නවාතැනක්. මේ හෝටලයට Serendib Signature කියන නම යොදාගෙන තියෙන්නේ ලංකාවට ආවේණික ආගන්තුක සත්කාරය විශේෂයෙන්ම මහනුවර සම්ප්‍රදාය මුසු කරගත් සත්කාරයක් පිරිනමන නිසායි. එහිදී ලාක්ෂා නිර්මාණ වගේම පිත්තල කැටයම් වලින් සැරසුණු නිර්මාණත් මහනුවර සම්ප්‍රදාය හෝටලයට එක්කර තිබෙනවා.

හෝටලය ඉදිකිරීමේදී මෙම භූමියේ තිබුණු එකදු ගසක් හෝ කපා නොහෙළා එය ඉදිකර තිබීමත් විශේෂත්වයක්. හෝටලය සතුව සුඛෝපභෝගී ෂැලේ 26ක් පවතිනවා. ඉන් 20ක් ඩබල් කාමර වන අතර 5ක් ට්‍රිපල් කාමරයි. එකක් Suite පන්නයේ ඒකකයක්. 

හෝටලයේ පොදු පහසුකම් ගැන කතාකිරීමේදී හුදෙකලා නිහඬ පරිසරයක පිහිටි පිහිනුම් තටාකය, විල අද්දර පීඨිකාව වගේම අමුත්තන් විශාල පිරිසකට එක්ව ආහාර ගත හැකි දැවැන්ත අවන්හලත් කැපී පෙනෙනවා.

ඒ වගේම කාමර (ෂැලේ)වල තියෙන ජනේලවලින් එපිට බැලුවහමත් පෙනෙන්න තියෙන්නේ ජලාශයක්, පිහිනුම් තටාකය සහ ඊට ඔබ්බෙන් පැතිරුණු කඳු වළල්ලයි. කාමරවල පැතලි තිර රූපවාහිනී, වායුසමීකරණ, තේ සහ කෝපි සෑදීමේ පහසුකම් ඇතුළු නවීන පහසුකම් රාශියක් අන්තර්ගතයි. කෑමබීම ගැන කතාකරද්දී මහනුවරට ආවේණික ආහාර රටාවලට මුල්තැනක් හිමිවෙනවා. 

මෙතැන ඉඳන් බඹරගල ආරණ්‍ය සේනාසනය, වික්ටෝරියා - රන්දෙනිගල සහ රන්ටැඹේ ජලාශ, නකල්ස් කඳු පෙළ, ලාක්ෂා ගම්මාන ආදිය කරා පහසුවෙන් ළඟාවිය හැකියි.

- සනත් වීරසූරිය 
- සේයා රූ - ශාන් බන්දු වීරසිංහ