2019 ජනවාරි 26 වන සෙනසුරාදා

කසාද අතරමඟ බිඳ දමන ගුරු

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 552

දෙදෙනකුගේ විවාහය පිළිබඳ බ්‍රහස්පති ග්‍රහයාට කළ හැකි දේවල් බොහෝය. විවාහය සාර්ථක කිරීමටද, එසේ නොවේ නම් අසාර්ථක කිරීමටද බ්‍රහස්පතිට විශාල හැකියාවක් තිබේ. ඒ නිසා විවාහ වන දෙදෙනකුගේ කේන්ද්‍ර පරීක්ෂාවකදී ගුරැ හෙවත් බ්‍රහස්පති ග්‍රහයා කුමන ස්ථානවල සිටීද යන්න නිශ්චය කර ගැනීම අවශ්‍යය. එම පිහිටීම් අනුව විවාහය සාර්ථකද, අසාර්ථකද, කෙටිකාලීනද, දිගුකාලීනද යන්න සොයා බැලිය හැකිය.

බ්‍රහස්පති ග්‍රහයා තදබල රාගාධික නොවේ. ලෞකික ආශාවල් පිළිබඳ ඇලී ගැලී කටයුතු නොකරයි. මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කරයි. එසේ වුවද දෙදෙනකුගේ විවාහයේදී බ්‍රහස්පතිගේ පැවැත්ම හා ක්‍රියාකාරීත්වය ඉතා වැදගත් වේ.

කෙනකුගේ කේන්ද්‍රයේ හත්වැන්න විවාහය කෙරේ තදින්ම බලපාන කොටුවකි. විවාහය සාර්ථක අසාර්ථකද, බලාපොරොත්තු අපේක්ෂා ඉටුවේද යන්න පිළිබඳ හත්වැන්න මූලික කරගෙන තීරණ ගත හැකිය. කෙනකුගේ ගුරු හත්වැන්නේ සිටී නම් එම අය විවාහයට එළඹෙන්නේ තම අවශ්‍යතාවයට වඩා අන්‍යයන්ගේ බලපෑම් මතය. බොහෝ විට මෙවැනි අය තම දෙමාපිය වැඩිහිටියන්ගේ ඉල්ලීම මත විවාහයට ඇතුළත් වෙති. මෙලෙස විවාහ වන කාන්තාවකට හෝ පිරිමියකුට ලිංගික ජීවිතය එතරම් අවශ්‍ය නොවේ. ඔවුහු ලිංගික කටයුතුවලදී උදාසීන වෙති.

අවිවාහකව සිටින බොහෝ දෙනා හත්වැන්නේ ගුරු සිටින අයයි. ඔවුන්ගේ විවාහය හේතුවක් නොමැතිව ප්‍රමාද වන නමුත් ඔවුන් ඒ ගැන දක්වන සැලකිල්ල අවමය. විවාහ වුවද කෙටි කලකදී ලිංගික ජීවිතය ගැන කලකිරෙති. පිරිමියකුගේ කේන්ද්‍රයේ හත්වැන්නේ ගුරැ සිටින විට විවාහ වී වසර කිහිපයකින් කෙටි කලකින්ම ලිංගික කටයුතුවලින් ඈත් වේ. සහකාරිය මඟහරින නිසා ඇය වෙනත් පිරිමින් සමඟ ලිංගික කටයුතුවල යෙදෙන්නට ප්‍රයත්න දරනවා ඇත.

ගුරු හත්වැන්නේ සිටින පිරිමියකු සිකුරැ, අඟහරු, සඳු වැනි බලවත් කාමාධික ග්‍රහයන් සිටින කාන්තාවක් සමඟ විවාහ වූ විට විවාහය ඉතා ඉක්මනින් බිඳවැටෙනවා ඇත. දෙදෙනා ලිංගික ලෙස නොගැලපීම මෙයට හේතු වේ. එසේම මෙහි අනිත් පැත්ත වන්නේ කතකගේ කේන්ද්‍රයේ ගුරැ හතේ පිහිටි විට ඇය ලිංගික කටයුතුවලට අවතීර්ණ වන්නේ දරැවන් ලබාගැනීමේ අභිලාෂයෙන් පමණක් වීමය. දරැවන් ලැබුණු පසු ඇය ලිංගික සේවනයට යොමුකර ගැනීමට පිරිමියාට දැඩි වෙහෙසක් ගන්නට සිදුවේ. මෙවැනි පිරිමි විවාහ වී යම් කාලයකට පසු පර අඹුවන් කරා යොමුවීමට උනන්දුවක් දක්වති.

හත්වැන්නේ බ්‍රහස්පති සිටින විට එවැනි අය විවාහයට කැමැති වුවද එකදිගට ලිංගික ජීවිතයට අකැමැති වෙනු ඇත. ඒ නිසා විවාහ ජීවිත කඩාකප්පල් වීම වැඩිය. හත්වැන්නේ බ්‍රහස්පති සිටින අය විවාහයට පෙර මේ පිළිබඳ අවධානය යොමුකළ යුතුය. හත්වැන්නේ බ්‍රහස්පති සමඟ සෙනසුරැ වැනි පාප ග්‍රහයෙක් සිටී නම් ඒ අයගේ ලිංගික ජීවිතය මුළුමනින්ම අසාර්ථක වීමට එය හේතු වේ. හත්වැන්නේ ඇති ගුරු සමඟ ලෞකික ආශාවලට රුචි නොකරන ග්‍රහයකු සංයෝගව තිබුණු විටෙක හෝ එවැනි ග්‍රහයකුගේ දෘෂ්ටිය වැටේ නම් හෝ එම විවාහ අසාර්ථක වීම වැඩි වේ. හත්වැන්නේ බ්‍රහස්පතිට නීච හෝ සතුරැ රාශියක් තිබේ නම් විවාහය බිඳවැටීම කෙටි කාලයකදී ස්ථිර ලෙස සිදුවේ.

එසේම හත්වැන්නේ බ්‍රහස්පති සිටින විට එවැනි අය ප්‍රේම සම්බන්ධතා ගොඩනගා ගැනීමට අකැමැති වේ. ඔවුන් ආදරයට බිය අය වේ. යම් ලෙසකින් විවාහ වුවද විවාහය බිඳ දැමීමට අවශ්‍යතාවක් නොමැති වුවද ලිංගික කටයුතුවලට උදාසීන වෙයි. ඔවුන් විවාහයෙන් උත්සාහ කරනුයේ කායික තෘප්තියට වඩා මානසික තෘප්තියක් ලබාගැනීමටය. මෙවැනි අය අපට සමාජයේ බොහෝකොට හමුවේ.

අඟහරැගේ දෘෂ්ටියට බ්‍රහස්පති ගොදුරු වුවහොත් හෝ සෙනසුරැ ලග්නයට පැමිණ එහි ඒරාෂ්ටකයක් උදා වුවහොත් එවැනි විවාහ රඳවාගැනීමට කොතරම් උත්සාහ කළද කෙටි කලකින් අසාර්ථක කරගනී. සෙනසුරු ලග්නගතවීම නිසා උත්පත්තියේදී බ්‍රහස්පති කොතරම් ප්‍රබල කේන්ද්‍රයක වුවද එම බ්‍රහස්පති බලය යටපත් වී එනු ඇත. එවැනි අය සිය කාලත්‍රයාගේ යම් ලිංගික දුබලතා තිබුණද ඒවා නොසලකා දිගටම විවාහය පවත්වාගෙන යනවා ඇත. ඔවුහු ලිංගික කටයුතු විවාහය සඳහා අත්‍යවශ්‍ය යැයි නොසලකා ක්‍රියා කරන්නෝ වෙති. එහෙත් තම අනෙක් පාර්ශවය ලිංගිකත්වයට ප්‍රබලව නැඹුරැ වන්නේ නම් එය විවාහය අසාර්ථක වීමට හේතුවෙයි.

විවාහ ජීවිතය අසාර්ථක වූ කේන්ද්‍රයකට උදාහරණ

මේ නිසා විවාහ වීමට කේන්ද්‍ර බලන විට පොරොන්දම් පමණක් නොබලා ග්‍රහ පිහිටීම් පිළිබඳවද අවධානය යොමුකළ යුතු වේ. එසේ නොමැති වූ විට පොරොන්දම් කොතරම් සීහුනද අශුභ ග්‍රහ පිහිටීම් මත විවාහය අසාර්ථක වන බව සැලකිව යුතුය. අද පොරොන්දම් ගැලපී කරන විවාහ අසාර්ථක වන්නේ මේ නිසාය.

විශේෂ ජ්‍යොතිෂවේදියකු විසිනි.