2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

දුම්රිය සේවයේ වර්ණ භේදය

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 182

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තම දෙපාර්තමේන්තුව පිළිබඳව වර්ණනා කරනු ලබන්නේ දකුණු ආසියාවේ ඉතාම කාර්යක්ෂම ප්‍රවාහන සපයනු ලබන දෙපාර්තමේන්තුව වශයෙනි. එ්සමඟ මොවුන් දිගින් දිගටම පවසන්නේ දුම්රිය ගමනාගමනයට අත්‍යාවශ්‍යම සේවාවක් වන වැසිකිළි පහසුකම ලබාදීමේදී විදේශිකයන් වෙනුවෙන් වැඩි සැළකිල්ලක් දක්වන නමුත් දේශීය මගීන්ට මෙම වැසිකිළි පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ප්‍රමාණවත් අරමුදලක් නොමැති බවයි. මේ නිසා ශ්‍රී ලාංකික මගීන්ට හිමිවන්නේ කුඩම්මාගේ සැළකිල්ලකි. මේ සම්බන්ධව තොරතුරු දැනගැනීම සඳහා ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල මහතා සම්බන්ධ කරගැනීමට කීපවතාවක්ම උත්සාහ කළත් ඔහු මේ සම්බන්ධව කිසිවක්ම පැවසීමට ඉදිරිපත් වූයේ නැත.

එමෙන්ම ඔහුගේ කාර්යාලයට ඇමතුම් 15කට අධික ප්‍රමාණයක් ලබා දී පණිවිඩ තැබුවත් ඔහු මෙම ගැටලුවෙන් මඟහැරියේය.
2015 වසරේදී ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට මගීන්ගෙන් ලැබුණු ආදායම රුපියල් බිලියන පහකටත් වැඩිය. දළ වශයෙන් එම වසරේ සියලුම ආදායම රුපියල් බිලියන 6.5 ඉක්මවා ඇත. නමුත් එම වසරේදී වැයවූ මුදල රුපියල් බිලියන 44.5 ඉක්මවයි. දුම්රිය දෙපාර්තමේන්තුව සාමාන්‍යයෙන් තම සේවා පවත්වාගෙන යාමේදී වැයවන මුදල රුපියල් බිලියන 7.7ක් පමණය.

මේ ආකාරයට දුම්රිය සේවාව නඩත්තු කිරීමට ප්‍රමාණවත් මුදල් නොමැති බව සඳහන් කළත් 2015 වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ සියලු දීමනා රුපියල් බිලියන 1.92 සිට බිලියන 8.1 දක්වා වැඩි වී ඇත.
මෙලෙස වැය පක්ෂය දෙස බැලූවිට දුම්රිය දෙපාර්තමේන්තුව වැඩියෙන්ම වැයකරන්නේ සේවක වරප්‍රසාද වෙනුවෙනි. එහි ප්‍රතිශතය 58 කි. මෙම දත්ත දැක්වෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේම අදාළ වාර්තාවලය.
අවශ්‍ය පමණට වඩා සේවක සංඛ්‍යාවක් මේ වෙද්දී දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළත් සේවාව බෙහෙවින් අකාර්යක්ෂම බවක් පෙන්නුම් කරයි. (අද වෙද්දී දුම්රිය දෙපාර්තමේන්තුවේ 15,205ක් දෙනා ස්ථිරව සේවය කරන අතර කොන්ත්‍රාත් පදනම මත තවත් සේවකයෝ 17,496ක් සේවය කරති.

පාඩු ලබන ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මේ  වනවිට වැඩිම අවධානය යොමුකරනු ලබන්නේ විදේශිකයන් වෙනුවෙන් ඉතා හොඳ මට්ටමේ වැසිකිළි පද්ධතියක් ලබාදීම සඳහාය. නමුත් දේශීය මගීන් වෙනුවෙන් දුම්රිය ස්ථානවල වර්තමානයේ පවතින්නේ ඉතා අපිරිසිදු වූ වැසිකිළි පද්ධතියකි.

දේශීය මගීන් වෙනුවෙන් වෙන්කර ඇති වැසිකිළිවල බිත්ති ඉතා අපිරිසිදු වූ අවපැහැ ගැන්වූ ජල කරාම කැඩී, ජලය නැති සහ වැසිකිළි වළවල් උතුරා යන වටපිටාවක් පෙන්නුම් කරයි.
ඉතා හොඳ මට්ටමේ වැසිකිළි පද්ධතියක් මේ වනවිට විදේශිකයන්ට පමණයි නම් ලේබලය යටතේ කොළඹ කොටුව, ගල්කිස්ස, බදුල්ල, හික්කඩුව සහ පාණදුර දුම්රිය පොළවල වෙන්කර ඇත. තවද ඉදිරියේදී මෙම පහසුකම තවත් දුම්රිය පොළවල් ගණනාවක ක්‍රියාත්මක කිරීමට දැනටමත් පියවර ගනිමින් පවතී.
ප්‍රවාහන ඇමැතිද, අමාත්‍යංශ නිලධාරීහුද දුම්රිය ස්ථානාධිපති හා දුම්රිය පාලකවරුද මෙම අදහස අනුමත කරති. ඔවුන්ගේ අදහස වනුයේ විදේශිකයන් භාවිත කරනු ලබන්නේ වියළි වැසිකිළි බවත් දේශීය මගීන් වැසිකිළි භාවිත කිරීමේදී ඒවායේ වතුර හලා එම උපාංගවලට නොයෙකුත් අලාභානිද සිදුකරන බවයි.
නමුත් විදේශිකයෝද මේ පවතින තත්ත්වය ගැන මවිතය පළ කරති.
කොළඹ කොටුව දුම්රිය පො‍ළේදී මුණගැසුණු පෝලන්ත ජාතිකයකු වන පියෝටර් මයිකල් හුසියර් මේ පිළිබඳව මෙසේ අදහස් දැක්විය.

මේක මට තේරුම්ගන්න බෑ... මමත් ලොකු ගැටලුවකට මුහුණදුන්නා. වැසිකිළිය භාවිත කරන්න මට ඒකේ ලොක් එක ඇරගන්න දුම්රිය ස්ථානාධිපතිව මුණගැහෙන්න සිද්ධ වුණා. ඒකේ දොර ලොක් කරලයි තිබුණේ. මම දන්නේ නෑ ඇයි ඒ දොර ලොක් කරලා තියෙන්නේ කියලා.

දේශීය මගීන් වෙනුවෙන් වෙන්කර ඇති වැසිකිළි ඉතා දුඟද බවත් ඒවා තෙත සහිත ලිස්සන සුලු වැසිකිළි බවත් ඔහු තවදුරටත් පැවසීය. එමෙන්ම මෙරට දේශීය මගීන් වෙනුවෙන් වෙන්කර ඇති සනීපාරක්ෂක පහසුකම් පිළිබඳව තමා විශ්මිත වන බවත් විදේශීය මගීන් මෙන්ම දේශීය මගීන්ද යම් මුදලක් ලබා දී ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නා බැවින් ඔවුන් මෙලෙස නොසලකා හැර තිබීම ඉතාම නරක සහ ඔවුන් පහත්කොට සැලකීමක් බවත් පියෝටර් මහතා වැඩිදුරටත් පැවසීය.
දේශීය මගීහුද මේ පවතින තත්ත්වය සම්බන්ධව දැඩි කනස්සල්ලෙන් පසුවෙති.

ඉදිකිරීම් වැඩබිමක සුපවයිසර්වරයකු ලෙසින් කටයුතු කරන සංජීව පෙරේරා මේ සම්බන්ධව මෙසේ අදහස් දැක්වීය.
මුත්‍රා කරන්න හදලා තියෙන තැන්වල තදින්ම කහ පැල්ලම් ඇතිවෙලා... හිස් බීර ටින් මේවා ඇතුළෙ තියෙනවා. මේ වැසිකිළිවල කැඩිච්ච තැන් එකක්වත් හදලා නෑ...
සුමුදු සිල්වාද මේ සම්බන්ධව අදහස් දැක්වීය. ඇය පැවසුවේ කාන්තා වැසිකිළි ඉතා දුගඳ ඇති අඳුරු ස්ථානයක් බවයි. බොහෝ තෙත සහිතයි. ලිස්සන සුලුයි. වැසිකිළිය පැත්තක තිබූ භාජනයක සනීපාරක්ෂක තුවා ගොඩගසා තිබුණා. ඉතා කළකිරීමෙන් තම අදහස් පැවසූ සුමුදු මහත්මිය රාජකාරියෙන් පසු මහන්සි වී හවසට ගෙදර එද්දී දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා සැපයීම නරක තැනක තිබීම කනගාටුවට කරුණක් බවය.

නීතිවේදියකු වන සෙනරත් පෙරේරා මහතා පැවසුවේ අප්‍රසන්න දුර්ගන්ධය හේතුවෙන් මෙම වැසිකිළි පාවිච්චිය නොකරන බවයි. විදේශිකයන්ට හොඳින් නඩත්තු කරනා වැසිකිළි පද්ධතියක් ලබාදීමත් දේශීය මගීන් නොසලකා හැරීමත් අසාධාරණ බවත් ඔහු පැවසීය. මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ සෙනරත් මහතා දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තුවට අනුකූලව පහසුකම් සැපයීම වඩාත් සුදුසු බව යෝජනා කරයි. පළමු පන්තිය, දෙවැනි පන්තිය, තුන්වැනි පන්තිය ලෙසින් දේශීය මගීන් වෙනුවෙන්ද ඒ ඒ පන්ති යටතේ අදාළ පහසුකම් ලබාදෙන ලෙසිට ඔහු මේ යෝජනාව ඉදිරිපත් කරයි.

විශ්‍රාමලත් දුම්රිය සේවා නිලධාරීන් පිරිසක්ද මේ සම්බන්ධව අදහස් පළ කරති. අතීතයේදී මේ පහසුකම් ලබාදුන්නේ ප්‍රවේශ පත්‍රයේ මිලට අනුව මිසක් ජාතිය සලකා නොවේ... ඔවුහු කියති.
ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් නිහාල් සෝමවීර මහතා පවසන්නේ මෙම පහසුකම් වැඩිදියුණු කිරීමට අවශ්‍ය අරමුදල් තමන්ට නොමැති බවය. වැඩිදුරටත් පැවසූ ඒ මහතා අපි සැලසුම් කරලා තියෙන්නේ විදේශ මගීන් සඳහා වැසිකිළි පහසුකම් පළමුව දියුණු කිරීමයි. ඒ සඳහා දුම්රිය ස්ථානවලින්ද සංචාරක අමාත්‍යංශයෙන්ද ඉල්ලීම් ලැබී තිබෙනවා. 
මෙම ව්‍යාපෘතියට සංචාරක  අමාත්‍යංශයෙන් අරමුදල් සපයන බවත්, ඒ මහතා වැඩිදුරටත් පැවසීය. විදේශිකයන් රටට ආදායමක් ගෙන එනවා. ඔවුන්ට හොඳ සේවාවක් ලබාදීම ශ්‍රී ලංකාව විසින් කළ යුතු දෙයක්. ඔවුන්ගේ ගෙවීම් හොඳ නිසාත් ඒ වෙනුවෙන් ඔවුන්ට හොඳ සේවාවක් ලබාදිය යුතුයි ඔහු වැඩිදුරටත් පැවසීය.

දේශීය මගීන් මුහුණදෙන මේ වැසිකිළි දුෂ්කරතා පිළිබඳව අමාත්‍යංශය දැනුම්වත්ව සිටින බවත් සෝමවීර මහතා පැවසීය. මෙම සනීපාරක්ෂක පහසුකම් අලුත්වැඩියා කිරීමෙන් පසුවත් ඇතැම් දේශීය මගීන් මෙම පහසුකම් විනාශ කර දමා තිබෙනවා. ඔහු කීය. පහසුවෙන් පිරිසිදු කළ හැකි වැසිකිළි පහසුකම් මෙම මහජනතාවට ලබාදීමේ ව්‍යාපෘතියක් මේ වනවිට සැලසුම් කරගෙන යන බවටත් සෝමවීර මහතා වැඩිදුරටත් පැවසීය. එහෙත් මෙම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන පිරිසුදු වැසිකිළි ව්‍යාපෘතිය වෙනුවෙන් ප්‍රමාණවත් මුදල් අරමුදලේ නොමැත.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී බී.ඒ.පී. ආරියරත්න මහතා මේ සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීමට නොහැකි බව පවසා යම් අදහසක් ලබාදීමට නියෝජ්‍ය මෙහෙයුම් අධිකාරි වී.එස්. පොල්වත්තගේ මහතාට අප යොමු කරලීය.

පොල්වත්තගේ මහතාගේ අදහස වූයේ තමන් විදේශිකයන්ට විශේෂත්වයක් නොදක්වන නමුත් විදේශිකයන්ට ආකර්ශනයක් ලබාදීමට වඩාත් හොඳ පහසුකම් ලබාදෙන බවයි. විදේශීය මගීන් සහ දේශීය මගීන් එකම වැසිකිළි භාවිතා කිරීමට දීම වරදක් නෑ... නමුත් දේශීය මගීන් වැසිකිළි භාවිත කරන විට එම ස්ථානය තෙතමනය සහ ලිස්සන සුලු තත්ත්වයට පත්වෙනවා. ඒත් එක්ක දේශීය මගීන් ඒ උපාංගවලට හානි සිදුකරනවා...
මෙම වැසිකිළි පද්ධතීන් දෛනිකව සුද්ධ පවිත්‍ර කොට නඩත්තු කිරීමට ප්‍රමාණවත් කම්කරුවන් දුම්රිය දෙපාර්තමේන්තුවේ නැති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෑතකදී දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවාගනු ලැබූ අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් කම්කරැවන් මෙම වැසිකිළි නඩත්තු කිරීම ප්‍රතික්ෂේප කොට තිබේ. එසේම කලකට පෙර දේශපාලන බලපෑමක් මත ටිකට් එකතු කිරීම සඳහා බඳවාගත් කාන්තා සේවිකාවන් පිරිසක් රත්මලාන දුම්රිය අංගණයට මාරැකර ඇති අතර මේ වෙද්දී කිසිම සේවාවක් නොකිරීම සඳහා ඔවුහු මාසිකව රුපියල් විසිපන්දහසක වැටුපක් ලබති.

(සන්ඩේ ටයිම්ස් ලිපියක් ඇසුරිනි)
 දිශානි ජයමාලි කරුණාරත්න  

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00