2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

බත් කටටවිස පොවන රතු ඩයි හාල් ජාවාරම

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 141

වසවිස නැති ආහාර සංකල්පයක් පිළිබඳව පසුගිය කාලය පුරාවටම විවිධ වූ කතිකාවක් ගොඩනැගුණේ වර්තමානයේ ආහාර තරම් අපගේ සිරැරට විස එකතු කරන තවත් සාධකයක් නොමැති තරමටම එය ප්‍රබල වූ නිසාය. පිරිසිදුයි කියා අප පානය කරන වතුර වීදුරුවේ පටන්ම එදිනෙදා අප ගන්නා නොයෙකුත් ආහාර ද්‍රව්‍ය හරහා අප සිරුරු තුළට එකතු කරගන්නේ විසමය. නිරෝගී බව පරම ලාභය වුවද අද අපේ රටේ ජන ගහනයෙන් අඩකටත් වඩා සිටින්නේ රෝගීන්ය.

ශ්‍රී ලාංකිකයන් වන අපගේ ප්‍රධානතම ආහාර බත් බව අමුතුවෙන් කිවයුතු නොවේ. බත් අතරින්ද රතු කැකුළු බත් සඳහා බොහෝ දෙනකු හුරුවී සිටින්නේ එහි ඇති පෝෂණය අගය නිසාය. ආයුර්වේද, බටහිර යන මේ ඕනෑම වෛද්‍ය ක්‍රමවේදයක වෛද්‍යවරැ ආහාරයට ගැනීමට සුදුසු ලෙස රතු නිවුඩ්ඩ සහිත සහල් යෝජනා කරන්නේ ද සම්බා වැනි සහල් පරිභෝජනයෙන් පසුකාලීනව දියවැඩියාව වැනි රෝග තත්ත්වයන්ට ගොදුරු වීමට ඇති ඉඩකඩද වැඩි නිසාය. එහෙත් මේ නියම රතු කැකුළු සහල් වෙනුවට වෙළෙඳ පොළේ රතු ඩයි දමන සහල් තිබෙන බවත් අපේ ප්‍රජාව දැනගත යුතුය.

පසුගියදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ ආහාර දෙපාර්තමේන්තුවේ
පර්යේෂණයක් සඳහා මහනුවර නගරයේ වෙළෙඳසලකින් ගෙන්වන ලද රතු කැකුළු සම්බා සහල් ආහාරයට නුසුදුසු වර්ණක යොදා ඇති බවට පර් ෙය්ෂණයේදී හෙළිදරව් වී යැයි එහි පර්යේෂක ආචාර්ය රෝහිත ප්‍රසන්න මහතා පවසා තිබුණි. රතු කැකුළු සඳහා වෙළෙඳපොළේ ඇති අධික ඉල්ලුමට අනුව ලාභ ඉපයීමේ චේතනාවෙන්ම මෙම සහල්වලට රතු ඩයි මිශ්‍රකර ඇති බව මේ වනවිටත් සොයාගෙන ඇත.

ආහාරවලට ඩයි මිශ්‍ර කිරීම සම්බන්ධව අපට වාර්තා වූ පළමු අවස්ථාව මෙය නොවේ. මෙයට පෙර අවස්ථා කිහිපයකදීම ඉස්සන් සඳහා ඩයි මිශ්‍ර කිරීම්. පිළිබඳව ද විවිධ මාධ්‍යයන් ඔස්සේ ප්‍රචාරය විය. විශේෂයෙන්ම වියළි ඉස්සන් පැකට් කර විකිණීමේදී මෙම ක්‍රමය භාවිත කරන අතර ඩයි දැමූ ඉස්සන් රතු පැහැයෙන් යුක්තය. සාමාන්‍යයෙන් ඉස්සන් තැම්බීමේදී ඊටම ආවේනික වූ වර්ණයකින් යුක්තවන අතර මෙලෙස කෘත්‍රිමව වර්ණක යෙදූ ඉස්සන් බොහෝ දෙනෙකුට හඳුනාගත නොහැකි වන්නේ ඒ කෘත්‍රිම වර්ණකයද කලින් සඳහන් කළ ස්වභාවික වර්ණයට යම් සමානකම් දක්වන බැවිනි. එහෙත් අධිකව වර්ණ යොදූ ඉස්සන් පහසුවෙන් හඳුනාගත හැකිවන අතර එය රසයෙන්ද හඳුනා ගැනීමට පුළුවන. මීට කලයකට ඉහත දී උතුරැ කරයේ මෙම ව්‍යාපාරය ජයටම කෙරැණ අතර මෙම ශරීරගත වීමෙන් විවිධ රෝග හටගත හැක.

පරිප්පු ද මෙලෙස වර්ණක යොදන තවත් ආහාර වර්ගයකි. පසුගියදා අගනුවර තදාසන්න නගරයකදී පරණ පරිප්පුවලට වර්ණක යොදා අලෙවිකරන්නට සලස්වා තිබූ අතර පරිප්පුවලට අමතරව මිරිස්කුඩු, මස්, මාළු ඇතුළු තවත් නොයෙකුත් ආහාර ද්‍රව්‍යයන් සඳහා විස ඩයි එකතු කිරීම මේ වනවිටත් සිදුවෙමින් පවතින්නකි.

පසුගියදා මහනුවරදී හමුවූ ඩයි මිශ්‍ර කළ සහල් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ව ආචාර්ය රෝහිත ප්‍රසන්න මහතා අප සමඟ දැක්වූයේ මෙවන් අදහසකි.
මීට පෙර අවස්ථා කිහිපයකදීත් ඔයවගේ සිද්ධීන් සම්බන්ධයෙන් අපට දැනගන්නට ලැබිලා තියෙනවා. නමුත් අපිට ඒ එක අවස්ථාවකදීවත් තොරතුරැ තහවුරු කරගන්න බැරි වුණා. මේ සාම්පල් එකෙන් තමයි අපි හරියටම හරියටම දැනගත්තේ මේක සාමාන්‍ය දෙයක් නෙමෙයි කියලා.

රතු කීරි සම්බා කියලයි ඔවුන් මෙම සහල් විකුණලා තියෙන්නේ. නමුත් රතු කීරි සම්බා කියලා සහල් වර්ගයක් නෑ. කීරි සම්බා කියලා එක වර්ගයකුයි තියෙන්නේ. මෙතන එක පැත්තකින් පාරිභෝගිකයන් නොමඟ හැරලා තියෙනවා. අනෙක් පැත්තෙන් මේවා විකුණලා තියෙන්නේ රුපියල් එකසිය දෙක වැනි මිලකට. මේ සහල් දියකළ විට වර්ණය ඉවත් වී සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා. ඒ වගේම මෙම සහල්වලට ඩයි විශාල ප්‍රමාණයක් එකතු කරලා තිබෙන බවත් පේනවා. ඇත්තටම මෙතනදී අපි නොදන්න කරුණ තමයි මේක ලංකාවේ වර්ණ ගන්වපු එකක්ද එහෙමත් නැත්තම් ඉන්දියාවෙන් ගෙන්වපු එකක්ද කියන එක ගැන. ඊට අමතරව අපි මේ වෙද්දී පර්යේෂණ කටයුතු සිදුකරගන යනවා මේ එකතු කරලා තිබෙන ඩයි වර්ගය කුමක්ද කියන එක ගැන. සාමාන්‍යයෙන් සහල්වලට මොනම මොනම හේතුවක් නිසාවත් වර්ණක එකතු කිරීමක් සිදුකරන්නේ නෑ. හොඳ හිතකින් කළක් එහෙම දෙයක් සිදුකරන්න බෑ. අපේ රටේ එක පුද්ගලයෙක් මාසයකට හාල් කිලෝ 114ක් විතර කනවා. එතකොට මේ වර්ණක යොදන හාල්වලින් කොයිතරම් විෂ ප්‍රමාණයක් අපේ ශරීරගත වෙනවාද, අනෙක් එක පුංචි ළමයින්ට වගේම ලෙඩ්ඩුන්ටත් කැඳ ආදිය සාදන්න බොහෝවිට භාවිත කරන්නේ රතු කැකුළු. ඉතින් මේවගේ ඩයි දැමූ සහල් ඒ සඳහා පාවිච්චි කළොත් ඒ පොඩි දරුවන්ගේ අනාගතයට මොකද වෙන්නෙ.

ඩයි කියන්නේ බොහෝවිට අක්මා පිළිකා කාරකයක්. ඊට අමතරව ඇල්කොහොල් රහිත සීරෝසිස් ඇතිවීමටත් හැකියාව තියෙනවා. වකුගඩුවලටත් මේ නිසා හානි සිදුවෙනවා. මෙලෙස ඩයි දැමූ ආහාර පරිභෝජනය කිරීමට සැලැස්වීම බෝනොවන රෝග ඇති කිරීම සඳහා වස විස කැපීමක් ලෙස අපි දකින්නේ ඒ නිසායි. ඇත්තට අපේ පාරිභෝගිකයන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් විය යුතුයි. ඒ වගේම රජයේ අවධානයක් මේ පිළිබඳව කඩිනමින්ම යොමුවිය යුතුයි.
ආහාරවලට ඩයි එකතු කිරීම පිළිබඳව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අදහස් දැක්වූ අතර ඔහු පැවසූයේ කාලයක් තිස්සේ පරණ වූ සහල් මෙලෙස ඩයි එකතු කිරීම මගින් නැවතත් වෙළෙඳපොළට යොමුකරන බවයි.

“අද වෙද්දී රාජ්‍ය ආයතනවල ආපනශාලාවල කෑම එක රුපියල් 50යි. වෛද්‍ය පීඨවල කෑම එක රුපියල් 50යි නැත්නම් 60යි. මෙන්න මේවගේ ඇතුළු ආයතනවලට දෙන්න තමයි මේ සහල් පාවිච්චි කරන්නේ. මොකද මේවට හොඳ වෙළෙඳපොළෙක් තියෙනවානේ. ඉතින් මේ සම්බන්ධයෙන් ආපනශාලා හිමියන්ට වැරැද්දක් කියන්න බෑ. මිල අඩුවෙන් කෑම දෙන්න ඕනේ. ඒ වෙනුවෙන් අඩුමිලට හාල් ඕනේ. ඉතින් මේ සහල් වෙළෙඳපොළේ තියෙන නිසා ඔවුන් මේ හාල් ලබාගන්නේ.

අද රටේ ආහාරවල සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් නෑ. 1980 ආහාර පනතින් තමයි මේ සියලු නීති රීති සැකසිලා තියෙන්නේ. ඒවා 2017ට ගැලපෙන ආකාරයට සකස්වෙන්න ඕනේ. එවැනි නිසි වැඩපිළිවෙළක් නැත්නම් මෙවැනි දේවල් සිද්ධවෙන එකත් වළක්වන්න අපහසුයි.

දේශය කළ විමසීමකදී පාරිභෝගික කටයුතු අධිකාරියේ නියෝජය අධ්‍යක්ෂක සමන්ත කරුණාරත්න මහත්මිය මේ සම්බන්ධයෙන් පැවසූයේ 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 30, 31 වගන්තිවලට අනුව යම් පාරිභෝගියකු නොමඟ යවන ආකාරයේ කටයුතුවල නිරත නොවිය යුතු බවට සඳහන්ව ඇති බවත්, ඒ අනුව ඔය වැනි සිද්ධියක් පිළිබඳව යම් ඔත්තුවක් ලැබුණහොත් එවැනි ස්ථානවලට ගොස් වැටලීම් සිදුකර එම සාම්පල් රැගෙන රජයේ ආයතන වන අයි.ටී.අයි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන හා රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආදියට යවා ආහාර පනතට අනුව පරීක්ෂා කරන බවත්ය.

මෙහිදී හාල්වල සාමාන්‍යයෙන් අන්තර්ගත විය යුතු ද්‍රව්‍යයන්ට අමතර ද්‍රව්‍යයන් අන්තර්ගතව ඇති බවට වාර්තාවේ සඳහන් වූවොත් එම හාල් නිෂ්පාදකයන්ට විරුද්ධව නීතිමය කටයුතු කරන බවට පැවසූ ඒ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ මෙම ක්‍රියාවලියට අමතරව සැකසහිත සහල් තොගයක් තිබෙනවානම් එය නිවැරදිව ඔප්පු කරගන්නා තුරු එම සහල් තොගයට සීල් තබා විකිණීම තහනම් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියට හැකියාව පවතින බවයි.

 හේමමාලා කුමාරි රාජකරුණා