2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

සොරගුෙණ් දෙවොල් බිමේ කැල්සයිට් හොරු

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 407

“සීතාවක රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ හල්දුම්මුල්ල ප්‍රදේශය පාලනය කළේ යාපා කියලා රජ කෙනෙක්. මේ යාපා රජ්ජුරුවොයි, රාජසිංහ රජ්ජුරුවොයි අතර දේශ සීමාවට යුද්ධයක් ඇති වුණා. යාපා රජ්ජුරුවෝ කතරගම දෙවියන්ට බාරයක් වුණා යුද්ධය දිනලා දෙන්න කියලා. ඔහු යුද්ධය දිනුවත් බාරය ඔප්පු කළේ නැහැ. ඊට පසු යාපාට උගුරේ අමාරුවක් හැදුණා. මේ නිසා කතා කරන්න බැරි වුණා. (ස්වර පිට නොවුණා) රජ්ජුරැවෝ බාරය ගැන මතක්වෙලා වහාම කතරගම දෙවියන්ට දේවාලයක් හදලා දුන්නා. එදායින් පසු මේ ප්‍රදේශය (ස්වර ගුණේ) වී පසුව සොරගුණේ වුණා. රජ්ජුරුවෝ දේවාලයට ගොඩමඩ ඉඩම්ද පවරා දුන්නා.”

ජනප්‍රවාද අනුව එලෙස පවරාදුන් ඉඩකඩම් අක්කර දසදහස් ගණනකි. වර්ෂ 1870 ඉංග්‍රීසි පාලන සමයේදී අක්කර 17000ක් පමණ දේවාලය සතුව පැවතී ඇත. ඊට පසු ක්‍රමයෙන් දේවාලය සතු නින්දගම් ඉඩම් අඩුවී ඇත. 1920 දේවාලයට අයත් අවසන් ගම් සිතියම සකස් කළ අතර එම ගම්වල දේවාලයට රාජකාරී කරන පවුල් පදිංචිව සිටිති. මේ වනවිට දේවාලයට අයිති අක්කර 12000ක් පවතින බව බාහිර පාර්ශව පවසන අතර බස්නායක නිලමේ ජනක කළුපහන මහතා පවසන්නේ එම ප්‍රමාණය අක්කර 6000ක් බවය. දේවාලයේ ඉඩම්වල රාජකාරි කරන පුද්ගලයෝ 2000ක් පමණ පදිංචිව සිටිති. දේවාලයට අයත් ඉඩකඩම් වගාකරමින් භුක්ති විඳින ඔවුහු ඒ වෙනුවෙන් දේවාලයට රාජකාරි කරති. දේවාලය හා ඉඩම්වල නඩත්තුව, පෙරහැර පැවැත්වීම, වාර්ෂික මංගල්‍ය ආදියට ඔවුහු දායකත්වය දක්වති.

දේවාලයට අයිති ඉඩම් පාලනය කරන්නේ එහි බස්නායක නිලමේවරයා හරහාය. මෙම ඉඩම්වල පදිංචිකරුවන්ට ඉඩම් සින්නක්කර විකිණීමට නොහැක. නමුත් ඔවුන්ගේ කැමැත්තෙන් විහාර දේවාලගම් පනතේ කොන්දේසිවලට යටත්ව ඒවා වෙනත් අයකුට පැවරීමට පුළුවන. එලෙස පැවරිය හැක්කේ සිංහල බෞද්ධ අයට පමණි.

සොරගුණේ දේවාලය පසුගිය කාලය තිස්සේම මාධ්‍යවල පුවත් මවන සිද්ධස්ථානයක් බවට පත්ව තිබුණේ එහි හාස්කම් නිසා හෝ ඓතිහාසිකත්වය නිසා නොවේ. එහි මේ ඉඩම් පැවරිල්ල නිසා මතුවූ පාරිසරික ගැටලු නිසාය. එහි අලුත්ම කතාව නිර්මාණය වන්නේ දේවාලයට අයත් ඉඩමක අක්කර පනහකින් යුත් කැල්සයිට් නිධියක් සහිත පර්වතයක් කැඩීම සම්බන්ධයෙනි. මෙම ඉඩම පිහිටා තිබෙන්නේ වෑඑළිය ග්‍රාම නිලධාරී වසමේ පතහ ප්‍රදේශයේය. බදු ක්‍රමය යටතේ දේවාලයට අයත් ඉඩම් රාශියක් විවිධ ව්‍යාපාරිකයන්ට බදුදී ඇති අතර, මෙය ඉන් එක් ඉඩමකි. ප්‍රදේශවාසීන් පවසන්නේ භූමියට ස්ථාවරත්වයක් ලබාදෙන කැල්සයිට් නිධිය මහා පරිමාණයෙන් කැඩීමෙන් අනාගතයේදී විශාල පරිසර හානියක් සිදුවිය හැකි බවය.

“පසුගිය ආණ්ඩුව කාලේ ගමට කෝටි ගාණක් වෙන්වුණා කියලා කියනවා පාරක් කපන්න. නමුත් බාගෙට වුණේ. පස්සේ කැල්සයිට් නිධිය ගත්ත ව්‍යාපාරිකයන් තම මුදලින් රු. කෝටි දෙකහමාරක් වියදම් කර පාර කැපුවා. කැල්සයිට් නිධිය උඩින් පුරාවිද්‍යා ආරක්ෂිත ස්ථානයකුත් තිබෙනවා. යම්කිසි සලකුණක් තිබෙන. ඒ ගලේම යට කොටස තමයි කඩන්නේ. පර්වතයට එපිටින් ඇත්තේ සොරගුණේ දේවාලයට අයත් අක්කර 50 පර්චස් 24ක කැලෑවක්. මේ ගල 2012 ඉදන් කඩනවා. දැන් ඔවුන් ඒකට ලබාගත් බලපත්‍ර පෙන්වනවා. නමුත් මුලින් ගල කඩනකොට බලපත්‍ර ලබාගත්තාද කියන සැකය අපට තිබෙනවා.”

අපට එලෙස පැවසුවේ ප්‍රදේශවාසියකු වන සුමනපාල තෙන්නකෝන් මහතාය. ඔහු පවසන අයුරින් මෙම කැල්සයිට් නිධිය වසර 5ක පමණ කාලයක සිට කඩා ඇත. ගම හරහා හම්බෙගමුව දක්වා මාර්ගය කපනවා වෙනුවට එය තනා ඇත්තේ කැල්සයිට් නිධිය දක්වා පමණි. ගමට නුදුරින් බෝගහපට්ටිය අභයභූමිය සහ වේලිඔය වනාන්තරය පිහිටා තිබේ.

“මම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඇහුවා සොරගුණේ දේවාලේ ඉඩම් එළිපෙහෙළි කරන විට පරිසර වාර්තා ලබාදෙනාවාද කියලා. එහිදී පැවසුණේ ඒවා දේවාලයට අයත් ඉඩම් නිසා ලබාදීමට බලයක් නැති බවයි. නමුත් අද කැල්සයිට් එකට පරිසර වාර්තාවක් ලබාදී තිබෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තරවල මායිම්වත් මේ අය පවසන්නේ නැහැ. මම නම් හිතන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් පවා දේවාල ඉඩම් තුළ තිබෙන බවයි. ඒවාත් මේ වැඩවලින් විකිණෙනවා. විකුණූ වනාන්තර ඉඩම් ගත් පෞද්ගලික ව්‍යාපාරිකයෝ තම ඉඩම් වටා පෞද්ගලිකව අලිවැට ඉදිකරනවා. එවිට අලි ගම්වලට වදිනවා. ගිය සතියෙත් ගමේ ගෙයක් අලි ගහලා කඩලා මේවා ඉස්සර අපට අහන්න දකින්න ලැබුණ ඒවා නොවෙයි.” තෙන්නකෝන් මහතා අපට වැඩිදුරටත් කීවේය.

සොරගුණේ දේවාලයට අයත් නිදන්ගම් වටිනා පරිසර පද්ධතියකි. මෙම ඉඩම් අගනුවර ආශ්‍රිත ව්‍යාපාරිකයන්ට දීර්ඝ කාලීනව බදුදෙන බවට විවිධ චෝදනා එල්ලවේ. එලෙස ලබාගන්නා වනාන්තර එළිකර රබර්, ගම්මිරිස් වැනි වගාවන් කරන අතර මැණික් ගැරීමද සිදුවේ. මෙම ඉඩම්වල පෙල්ස්පාර්, ඩොලමයිට්, කැල්සයිට්, තිරිවානා වැනි ඛනිජ වර්ග ද පැතිර තිබේ. අප කතාබහ කළේ එලෙස බදු දුන් කැල්සයිට් නිධිය ගැනය. මී, කෝන්, වෙලං වැනි ශාක වනාන්තර තුළම කුට්ටි කර ප්‍රවාහනය කරන බවද පැවසේ. මෙලෙස වනාන්තර විනාශ වීම නිසා නෙළුයාය, රජවක, තැන්න, පැරකුම්යාය, කල්තොට, ඉළුක්පැලැස්ස ආදී ප්‍රදේශවල වන අලි තර්ජන ඉහළ ගොස් තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති. 
මෙම ඉඩම්වල වගතුග සෙවීමේ දී ඒවා දේවාලයට අයිති පැරණි නින්දගම් බවත් පවරා දී ඇත්තේ නීත්‍යනුකූලව බවත් අපට පෙනී ගියේය. එහෙත් වනය වනසමින් පරිසර විනාශ කිරීමට කිසිවකුට ඉඩක් නැත. මේ ගැන වැඩි විස්තර දැනගැනීමට අප කතා කළේ සොරගුණේ දේවාලයේ බස්නායක නිලමේ ජනක කළුපහන මහතාටය.

“දේවාලයේ ඉඩම් භුක්ති විදින ජනතාව ඒ වෙනුවෙන් දේවාලයට රාජකාරි ඉටු කරනවා. ඔවුන්ට රාජකාරිවලට යටත්ව ඒ ඉඩම් පැවරීමට පුළුවන් බව විහාර දේවාලගම් පනතේ තිබෙනවා. එලෙස අලුතින් පැවරීම ලබන අයත් රාජකාරි නොපිරිහෙලා ඉටුකළ යුතුයි. එසේ නැත්නම් රාජකාරි වෙනුවෙන් ගෙවීමක් කළ යුතුයි. ඔය කැල්සයිට් නිධිය තිබෙන ඉඩමත් එලෙස රාජකාරි කරන කෙනා තමයි පවරලා තිබෙන්නේ. රාජකාරි කරන පවුලේ පස් දෙනෙක් පමණ අත්සන් කර ඔප්පුවකින් ලබාදී තිබෙනවා. ඇඟිලි සලකුණුත් ඔවුන් ලබාදී තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරිය, භූවිද්‍යා සහ පතල් කාර්යාංශය ආදී ආයතනවලින් ඉඩමේ කැල්සයිට් කැණීම්වලට අනුමැතිය දී තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙනුත් අනුමැතිය ලබාදී තිබෙන්නේ පුරවිද්‍යා රක්ෂිතය පිහිටි ස්ථානය වෙන් කරලා කම්බි වැටක් ගහලයි. මේ නිසා මට තනියම මේක නවත්වන්න බැහැ. නීත්‍යානුකූල අනුමැතියට යටත්වයි මේක කඩන්නේ. ගමට යාමට අවශ්‍ය පාර ඒ ව්‍යාපාරිකයන් තනා දුන්නා. මේ විරුද්ධත්වය පිටිපස්සේ ඉන්නේ NGO පිරිසකුයි. ගමේ කිහිප දෙනෙකුයි පමණයි.” 

සොරගුණේ අවට ප්‍රදේශය පසුගිය සියවස තිස්සේ ජනාවාස බවට පත්විය. එදා අලි ගැවසුණ වනපෙත් ජනාවාස බවට හැරුණි.

“මුලින්ම දේවාලයට අක්කර 17000ක් පමණ තිබුණා. සුද්දන්ගෙ කාලෙ ඒ ඉඩම් ගොඩක් අඩු වුණා. 1920 ගණන්වල ගම් සිතියම හදනවිට දේවාලයේ ඉඩම් ගොඩාක් රජයේ ඉඩම් විදියට ඇතුළත් කර තිබෙනවා. දැනට ඉන් 1/3ක් පමණ, අක්කර 6000ක් පමණ තමයි ඉතිරිවෙලා තිබෙන්නේ. මේ ඉඩම්වල ආදායමින් දේවාලය දිනපතා නඩත්තු කළ යුතුයි. පුරාවිද්‍යා එකෙන් වැඩක් කළත් දේවාලයෙන් තමයි වියදම දැරිය යුත්තේ. හැමදාම පූජා කටයුතු කළ යුතුයි. පෙරහර මංගල්‍යයට ලක්ෂ 30 – 40ක් වැයවෙනවා. මේ නඩත්තු කටයුතුවලට ආදායම සොයාගැනීමට තමයි, පුරාණයේ ඉඩම් දේවාලයට පූජා කර තිබෙන්නේ. ඒත් බදුදීමෙන් තමයි ආදායමත් උපයාගෙන දේවාල නඩත්තුවට කටයුතු කරන්නේ. ඒවා සියල්ල වනාන්තර විදිහට ඉතිරි කිරීමට නම් දේවාලයේ රාජකාරි ආණ්ඩුව විසින් හෝ වෙනත් පිරිසක් හෝ බාරගත යුතුයි.” බස්නායක නිලමේවරයා පැවසුවේය.

පුරාණයේ පටන් පැවත එන දේවාලය ද පැවතිය යුතුය. ඒ අතර අවට පාරිසරික වටපිටාවද ආරක්ෂා විය යුතුයි. අද ගැමියන්ට වන අලි ගැටලුවට ද මුහුණදීමට සිදුව තිබේ. කැල්සයිට් නිධියෙන් වන පාරිසරික හානි ගැන අදාළ බලධාරින් නැවත විමසාබැලිය යුතු අවස්ථාව එළඹ තිබේ. දිවුලපිටියේ පස් කැපීමට ලබාදුන් අවසරය නිසා වූ හානිය දැන් රටටම එළිදරව් වී ඇති බව අප අමතක නොකළ යුතුය.

♦කුසුම්සිරි විජයවර්ධන