2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

පොලිතින් කා හතරගාතෙන් වැටෙන පොළාන්නරුවේ අලි

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 165

අපේ රටේ වනාන්තරවල වෙසෙන අලි ඇතුන්ට වර්තමානයේ අත්ව තිබෙන ඉරණම ඉතාමත් දුක්මුසුය. අකාලයේ ජීවිත ගමන හමාර කරන එම පරපුරේ සාමාජිකයින්ගේ ගණන දිනෙන් දින ඉහළ යාමෙන්ම එය මොනවට පැහැදිලි වේ. තම පාරම්පරික නිජබිම, වාසභූමි අහිමිවී යාමෙන් අලි ඇතුන්ට ජීවත්වීම සඳහා තිබෙන බිම්කඩ ඉතාමත් සීඝ්‍රයෙන් සීමාවෙමින් තිබේ.

මේ හේතුවෙන් ආහාර සොයා වන අලි ගම් වැදීම, ගොවිබිම්, ගෙවල්, දේපළ එම අලින් විසින් විනාශ කිරීම හේතුවෙන් අලි මිනිස් ගැටුම් වැනි අර්බුද නිර්මාණයවීම මෙකල ඉතා සුලබය. නොකල්හි නික්ම යන අපේ රටේ අලියාගේ අවසන් ගමනට බලපාන තවත් ප්‍රබල සාධකයක් පසුගියදා අප දෑස් අබිමුව දිස්වූයේ පොළොන්නරුවේ වනජීවි කලාපයක් මායිමේය.

පොළොන්නරුව, ගල්ලෑල්ල, නෙළුම්විල ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක රෝගාතුරුව වැතිර සිටින මෙම සද්දන්තයා සිය දිවි මඟෙහි යෞවනය ගෙවා දැමුවෙකි. දුව පැන ඇවිද කළ හපන්කම් හිටිඅඩියේම නැවතී මෙලෙස එක්තැන්ව ගතවූ කාලය දින ගණනාවක් බවද දැනගන්නට හැකිවිය.

ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටින අලියාගේ රෝගී තත්ත්වයට හේතුව පොලිතීන් ආහාරයට ගැනීම නිසා බහිස්‍රාවීය ප්‍රදේශය අවහිරවීම බව ප්‍රතිකාර කරන වනජීවි පශු වෛද්‍යවරැ ප්‍රකාශ කළහ. එසේ අවහිරවී තිබූ පොලිතීන් කිලෝ 20 – 25ක පමණ ප්‍රමාණයක් අලියාගේ ශරීරයෙන් පිටතට ගැනීමට වෛද්‍යවරුන්ට හැකිවී තිබිණි. එසේ වුවද දින ගණනාවක් තිස්සේ නිරාහාරව වැතිර සිටින අලියාගේ තත්ත්වය ඉතාමත් අසාධ්‍ය බැව් එම වෛද්‍යවරැන් අප සමඟ පැවසූහ. අලියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා කෙරෙන උත්සාහයන් තව දුරටත් අතහැර නැති එම පශු වෛද්‍යවරුන් සහ වනජීවි කණ්ඩායම් විසින් දරන දැඩි පරිශ්‍රමය අපට පැහැදිලි විය. 

මේ වනවිට අලියාට ආහාර වශයෙන් ලැබෙනුයේ සේලයින් සහ ජලය පමණක් බවද එහිදී දැනගන්නට ලැබිණි. ඒ අනුව දිනකට සේලයින් බෝතල් 30ක් පමණ සහ ජලය ලීටර් 4ක් පමණ අලියාට ලබාදේ. පොලිතීන් ආහාරයට ගැනීම නිසා රෝගාතුර වන සද්දන්තයින් ගණනද එන්න එන්නම වැඩිවෙමින් තිබෙන බවද එම වනජීවි පශු වෛද්‍යවරු සඳහන් කළහ. එම තොරතුරුවලට අනුව පොලිතීන් කෑම හේතුවෙන් රෝගාතුරවූ පළමුවැන්නා හෝ අන්තිමයා මෙම අලියා නොවන බව පැහැදිලිය.

වනාන්තරවලින් නික්ම අහර සොයා ගම්මානවලට හෝ නගර ආශ්‍රිත ප්‍රදේශවලට පැමිණෙන වන අලින් බැහැර කරන කැලි කසළ සමඟ තිබෙන පොලිතීන්ද ගිල දමන බව නොරහසකි. මේ අන්දමට පසුගිය කාලයේ පොලිතීන් ආහාරයට ගැනීම නිසා රෝගීව අකාලයේ ජීවන ගමන හමාර කළ සද්දන්තයින්ගේ පරපුරේ සාමාජිකයින් ගණන 15ක් පමණ වෙතැයි පොළොන්නරුව වනජීවි කලාපයේ අලි මරණ සංඛ්‍යා ලේඛනවලින් හෙළිදරව්වේ. එම අමිහිරි පුවත මුළු රටේම නොව පොළොන්නරුව වනජීවි කලාපයට අයත් සීමිත බිම් කඩෙහි පමණක් බවද අප අමතක නොකළ යුතුය.
අපගේ මෙම සටහනෙහි කථානායක සද්දන්තයා ගිලන්ව වැතිර සිටින ගල්ලෑල්ල, නෙළුම්විල ප්‍රදේශය ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ එක් මායිමකි. එමෙන්ම එය ජනශූන්‍ය කලාපයක් නොව නාගරික මට්ටමටම ජන ඝනත්වයක් තිබෙන ජනාවාස රැසකින් සමන්විත ප්‍රදේශයකි.

ජල සම්පත් හා ජලා පවාහන මණ්ඩලයට අයත් පොළොන්නරුවේ නගර ගම් රැසකට ජලය බෙදන ජල පවිත්‍රගාර පිහිටා තිබෙන්නේද මෙම ප්‍රදේශයේය. පුලස්තිපුර අධ්‍යාපන විද්‍යාපීඨය, පොළොන්නරුව කාර්මීක විද්‍යාලයය, රජයේ කිරි නිෂ්පාදන කම්හල ආදී අතිශය වැදගත් රාජ්‍ය ආයතන ගණනාවක් දීර්ඝ කාලයක පටන් ස්ථාපිත කර ඇත්තේද මෙම ප්‍රදේශයේය. වර්තමානයේ මෙම කලාපය හැඳින්වෙනුයේ විද්‍යාපුරය යනුවෙනි. පොළොන්නරුව නගරය සහ ගම් රුසකට අයත් පළාත් පාලන ආයතනය වන තමන්කඩුව ප්‍රාදේශීය සභාව මගින් දිනපතා ටොන් ගණනක් කැලිකසළ ගෙනැවිත් බැහැර කරනු ලබන්නේද මෙම සුවිශේෂි කලාපයටමය. යාබදව පිහිටි ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ වෙසෙන අලි ඇතුන් නිරතුරුවම මෙම ස්ථානයේ සැරිසරමින් එම ගෙනැවිත් දමන කැලිකසළ තොග පිටින් රිසිසේ බුදින ආකාරය සුලබ දසුනකි. පොලිතීන් ඇතුළු කැලි කසළ මෙහි බැහැර කිරීමත්, අලි ඇතුන් ප්‍රමුඛ වන සතුන් ඒවා ආහාරයට ගැනීමත් කාලාන්තරයක් තිස්සේ අඛණ්ඩව සිදු කෙරෙන ක්‍රියාදාමක් බැව් ඉතා ප්‍රකටය. එහෙත් එය වළකාලන්නට හෝ ඊට පිළියම් ලෙස වෙනත් විකල්ප ක්‍රියාමාර්ග ගන්නට හෝ කටයුතු කළ කිසිවෙක්ද නොමැත. පරිසර ඇමැතිවරයාද වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මෙම පරිසර ව්‍යසනය තුරන් කිරීමට තබා අවම කිරීමට හෝ කිසියම් පියවරක් ගත් බවක් මෙතෙක් දැනගන්නට නැත. කෙසේ නමුදු මහවැලි ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සහ ඒ අවට සැරිසරන වන අලින් හයදෙනෙකු පමණ මෑත කාලයේ පොලිතීන් ආහාරයට ගැනීම නිසා අකාලයේ මරැ තුරුලට ගොස් ඇති බව නම් අපි දනිමු.

එමෙන්ම පරිසරයේ මෙන්ම රටේද බාරකරුවාගේ අවධානය යොමුවිය යුතු තවත් කාරණයක් ද අප රටේ අලි ඇතුන් ප්‍රමුඛ වන සතුන්ගේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් පෙන්වාදිය යුතුය. එනම් විශේෂයෙන්ම ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සහ සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ වනජීවි නීති රීති දැනට බොහෝ කලක පටන් කැලෑ වැද තිබීමයි. එයට කදිම නිදසුනක් ලෙස ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් පමණක් නොව අලි ඇතුන්ගේ සුප්‍රකට පාරම්පරික අලි මංකඩක් අවහිර කරමින් මනම්පිටිය පාලමට බටහිර දෙසින් මහා පරිමාණයෙන් සිදු කෙරෙන වැලි ගොඩදැමීම පෙන්වා දිය හැක. මෙය අද ඊයේ පටන් නොව වසර ගණනාවක තිස්සේ අඛණ්ඩව සිදුකෙරෙන අප්‍රමාණ බරපතළ පරිසර විනාශයෙකි.

අලි ඇතුන් අහර සොයා ගම්වදින්නේත්, කැලි කසළ, පොලිතීන් වැනි අහිතකර ආහාර රටාවකට අලින් පුරුදුවී අකාලයේ අවසන් ගමන් යන්නේත් මෙම වනජීවි උරැමයන් බලහත්කාරයෙන් උදුරාගෙන තිබීම නිසා බව තේරුම් ගැනීමට වගකිය යුතු සමතෙක් නොසිටීම අලින්ගේ අපේ පමණක් නොව ජාතියේම අවාසනාවකි.

සටහන හා සේයාරූ - කරුණාරත්න ගමගේ

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00