2019 ජනවාරි 12 වන සෙනසුරාදා

එදා වගේ අදත් බොනවා නේද වදකහ සුදිය

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:31 375

අනුන්ට සුබසෙත සැලසීම සඳහා වාලම්පුරි විකුණු පුද්ගලයෙකුට අත්වූ ඉරණම ගැන කතා බොහෝමයක් ඊයේ පෙරේදා අසන්නට ලැබුණේය. අනුන්ට වාසනාව සෑදීම කෙසේ වෙතත් තමන්ගේ අවාසනාව පෑදෙන තුරු ඒ ගැන නොදන්නා තැනැත්තහු කෙසේ නම් අනුන්ට වාසනාව පාදාදෙත්ද? වාලම්පුරි ජාවාරමට හවුල්වෙමින් ඒවා ළඟ තබාගැනීමෙන් සිදුවන මහිමය ගැන කී රූපවාහිනී චැනලය අනුන්ට විකුණන්නට වෙන තරමට එහි අයිතිකරුවන් හටද ඊට පෙරම “වාසනාව" අත්වී තිබුණේය.

මේ ගැන කතා කරනවිට බුදුගුණාලංකාරයේ කවියක් මතකයට නැගෙන්නේ ඉබේමය. මෙය ගිනිදෙවියා ගැන බුදුගුණාලංකාර කවියා ලියූ කවියකි.

අප රකිනා                        තබා
තොප සතු ගොනා              නොතබා
කන තෙක් වෙන                තබා
බලා උන් කෙනෙකි තෙපි     අසුබා


මෙහි අරුත වන්නේ අප රැකීම පසෙක තබා තොපට පූජා කරන්නට සිටි මේ ගවයා රැකගන්නට නොහැකි ඔබ කොතරම් නිෂ්ඵල කෙනෙක්ද යන්නයි. ඊට පසුබිම් වන කතාවක්ද ජන ප්‍රවාදයේ තිබිණි. බමුණෙක් පිඬුසිඟා ගියවිට ඔහුට ගොනෙක් ලැබේ. ගව මසින් ගිනිදෙවියා පුදන්නට ඔහු තීරණය කරයි. දෙවියන්ට පවා පුදන්නට ඔහු තීරණය කරයි. දෙවියන්ට පවා ලුණු නැතිව ගවමස් දීමෙන් පලක් නැත්තේයයි සිතන බමුණා ලුණු සොයා යයි. ඒ අතරතුර ගිනි දෙවියාට කැපකොට සිටි හරකාව වැද්දෝ රැළක් පැමිණ කා හමාර කරති. බමුණාට ඉතිරි වන්නේ ගොනාගේ වලිගයත්, කුර ටිකත් පමණකි. තමාගේ හරකාව බලාගන්නට බැරි ගිනිදෙවියාට වැඳුම් පිඳුම් කරන්නේ මොකටදැයි බමුණා ප්‍රශ්න කරන ආකාරය දැක්වෙන්නේ ඉහත කවියෙනි.

මේ අත්දැකීමට අපට හැටහැත්තෑ ගණන්වලදී විවිධ ආකාරයෙන් වාසනාව පාදන්නට පොරොන්දු දුන් ජාවාරම්කාරයන් ඇසුරින් අසන්නට ලැබුණේය. ඒ කාලයේ පත්තරවල දැන්වීම් පළකරමින් අනුනට සුබසෙත (මුදලට) පාදන්නට පොරොන්දු වූ එක් මන්ත්‍රාචාර්යවරයෙක් සිටියේය. ඔහු බිරින්දෑවරු හැරගිය සැමියන් ළඟට ගෙනැවිත් දෙන්නටත්, සැමියෝ හැරගිය බිරින්දෑවරුන් ළඟට ගෙනත් දෙන්නට පොරොන්දු වූයේය. අසහනය දුරුකරවා සිතට සහනය ගෙනදෙන්නට පොරොන්දු වූයේය. ජීවිතයට අභියෝග කරන සියලු අපල උපද්‍රව දුරුකරවා සෙත්ශාන්තිය ලබාදෙන්නට පොරොන්දු වූයේය. ජීවිතයට අනුන්ගේ අපල උපද්‍රව සතුරු උපද්‍රව මුදල් අයකොට දුරුකර දෙන්නට පත්තර පිටුගණන්වල වෙළඳ දැන්වීම් පළකොට පොරොන්දු වූ මේ මන්ත්‍රාචාර්යවරයාට සතුරකු පැමිණ පිහියෙන් අනින තුරු එම උපද්‍රවය ගැන දැනසිටියේ නැත. ඔහු මුදල් අයකොට සතුරු උපද්‍රව වළකාලීමද එතනින්ම නිමා වූයේය.

අද ඇතැම් දේවාලවල CCTV කැමරා සවිකොට තිබේ. CCTV කැමරා සවිකරන්නේ සොරාගැනීම වළක්වාලීමටයි. ඒවායේ සොරකම් කරන සොරුන් හඳුනාගන්නේ CCTV කැමරාව උපයෝගී කරගෙනයි. තමන්ගේ බැල්ම හෙලා තම දේවාලය සතුදේ රැකගන්නට බැරි දෙවියා මිනිසුන්ට බැල්ම හෙලා මිනිසුන් සතුදේ රැකදෙන්නේ කොහොමද? ඒ ගැන මතකයට එන විට නැවත සිහියට නැගෙන්නේ බුදුගුණාලංකාරයේ ගිනිදෙවියා ගැන කී කවියමයි. එක්තරා දේවාලයක සම්පත් බෙදා ගන්නට කපුවන් අතර ඇතිවූ ආරවුල සමතයකට පත්කරන්නට එහි වැඩසිටි දෙවියන්ට නොහැකි විය. මෙය සමතය කිරීමේ කාර්යය ඉටුකළේ පොලිසිය සහ අධිකරණයයි.

මේ දේවාලවල වැඩඉන්නා දෙවියන්ගේ වාහන වන්නේ (ඒ ඒ ඥාතීන්ට අදාළ අතීත කතාවලට අනුව) මොණරාය, නැතහොත් මීයාය. ඇතැම් විට ගුරුලාය. දෙවියන්ට අධිපතියා වන ඊශ්වරයා මහලු ගොන්වාහනෙන් යද්දී ඒවායේ කපුවන්ගේ වාහන වන්නේ නවීන පැජරෝය, BMWය. නැතහොත් බෙන්ස් රථය. අලුත් සමාජ ජාලාවල විචාර බුද්ධිය ඇත්තවුන් මේ බව අගේට රූප භාෂාවෙන් කියා තිබේ.

දෙවියන්ගේ නාමයෙන් සිසුනට ජප කළ යන්තර විකුණන ජාවාරම් අප ඉගනගන්නා කාලයේත් තිබුණේය. පාඩම් නොකර යන්ත්‍රය බැඳගෙන කාලය ගෙවාදමා විභාගය සමත් වන්නට බලාගෙන හිඳ අන්තිමේදී විභාගය ඇණගත් සිසුවෙක් අප අතරද සිටියේය. “රුපියල් පන්සීයක් ණයට ගෙන යන්තරයක් බැඳගෙන. විභාගයේ විෂයන් අටෙන් අටටම ලයිට් කණු (F) ලැබූ ගොබිලකු ගැන සුනිල් පෙරේරාට ගයන්නට සිද්ධ වූයේ ඒනිසාය. සිසුවා ෆේල් වෙන්නට හේතුවත් කපුවාම දී තිබුණේය.

“මම කිල්ලට අහුවෙලාලු - යන්තරෙ බල නැතිවෙලාලු - ණයට ගත්තු පන්සීයත් මෙමට නැතිවුණා." යන්තරය බැඳගෙන පළමු වාරයේ අසමත් වූ අප දන්නා ඇතැම් සිසුහු යන්ත්‍රය ගලවා විසිකර පාඩම් කිරීමෙන් පසු දෙවැනි වර විභාගයට මුහුණ දීමෙන් පසු අගේට පාස් වූවෝය.

අපේ අවිචාරය ගැන කියද්දී වදකහ සුදිය ගැන නොකියාම බැරිය. පනස් ගණන්වල සූර්යග්‍රහණයක් සිදුවුණු පුවත ජ්‍යොතිෂ පත්තරවලටත් හොඳ සූර්යාලෝකයක් විය. සූර්යග්‍රහණය සිදුවන අවස්ථාවේ වදකහ දියරය පානය කළවිට ලස්සන වන බවත්, සම පැහැපත් වන බවත් ඒවායේ පළවුණු බව කියවේ. ඉන්පසු පේමන්ට්වල පාර අද්දර කඩවල වදකහවලට පුදුම ඩිමාන්ඩ් එකක් (ඉල්ලුමක්) ඇතිවූ බව තතුදන්නෝ කියති. සූර්යග්‍රහණය නිමාවී  ටික වේලාවකට පසු වදකහ සුදිය බිව් උදවිය තාප්ප අල්ලාගෙන හොටු පෙරාගෙන තැන් තැන්වල වමනය කළ ආකාරය ඒ ගැන ලියවුණු බයිලාවක් අගේට විස්තර කොට තිබිණි.

“බිව්ව නේද වදකහ සුදිය?

අනේ මගේ එමලි පනේ කියන්නකෝ ඇත්ත අනේ බිව්ව නේද වදකහ සුදිය?"

එමලිලා දවලදී රෑ වුණු ඒ දවසේ පිළිකන්නයට හොරෙන් ගිහින් වදකහ සුදිය බීපු නිසා, බඩේ රුදාව හැදී රෝහල්ගත වූහ. එමලිලාගෙන් පමණක් නොව ලස්සනවෙන්න හිතා වදකහ සුදිය පානය කළ පිරිමින්ගෙන්ද රෝහල් වාට්ටු පිරීගිය බව කියැවේ.

අතීත පාඩම් බයිලාවෙන් කීවත් කවියෙන් කීවත් උපහැරණවලින් කීවත් බණට කීවත් අප අවිචාරය අත්හරින ජාතියක් නම් නොවේ. අවිචාරය හිස් මුදුණින් පිළිනොගෙන ඉන්නට කාලාමසූත්‍රය වැනි සූත්‍ර ධර්මවලින් කියාදෙන දේ අපට පමණටත් වැඩිය. “කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුදධියෙන් ඇසිය යුතුය." යන කියමන වුවද සෑහේය. ඒ සියල්ලටත් වඩා එදිනෙදා දෛනික ජීවිතයේදී අනුන්ට වාසනාව විකුණන්නට යන අයට අත්වන ඉරණම පිළිබඳව අපට අසන්නට ලැබෙන පුවත් වුවද අවිචාරය දුරලන්නට ප්‍රමාණවත් වේ. අවිචාරයන් වැළඳගන්නා මිත්‍යාව මුදල් උපයන අයට හොඳ ඉල්ලමකි. අවිචාරය වැළඳගන්නා තැනැත්තාට මිත්‍යාව සිත රවටා ගතහැකි මත් බෙහෙතකි. ඒ දෙස විචාරාත්මකව බලන තැනැත්තාව මිත්‍යාව විනෝදයකි.

අපේ කාලයටත් වඩා දෙව් බඹුන්ගේ නාමයෙන් මිත්‍යාව අලෙවි කරන අය අද දවසේ බහුලව සිටිති. ඊට අසුවන ජනයාද නොමදය. එළවළු, මාළු මිලදී ගනිද්දී අන්තිම සතයට ගණන් බලන අපේ සමාජයේ ආර්ථික මිනිස්සු (ආර්ථික විද්‍යාවේ කියන තාර්කිකව වෙළෙඳ පොළේ කටයුතු කරන පාරිභෝගිකයා) මිත්‍යාව ඉදිරියේ නිර්ලෝභීව වියපැහැදම් කරති. මිථත්‍යා කතාවල එන එක් එක් දෙවිවරැන්ගේ නාමයෙන් විභාගවලදී A සමාර්ථ අරන්දෙන්නට පොරොන්දු වන දෙවියන් සහ මිනිසුන් අතර අතරමැදියකු ලෙස තමාව හඳුන්වන ජාවාරම්කාර පුද්ගලයෝ අදත් සිටිති. ඔවුහු විවිධ විචිත්‍ර පූජා විධි හඳුන්වා දෙති.

ව්‍යාපාරික ස්ථාන බස්රථ ආදියේ, LED බල්බවලින් අලංකාර කොට ප්‍රදර්ශනය කරන දේව රූප දුටුවිට බුදුගුණලංකාරයේ එන “විසුළු වෙස් ඇති නොවෙති මෙරඟය" යන කවි පදය සිහිවේ. ඇතැම් බස් රථවල වැයෙන වේග රිද්මයට දෙවියන් වටා දැල්වෙන LED බල්බ නිවි නිවී දැල්වේ. ඒවායේ ඉන්නා ඇතැම් දෙවිවරු කළගෙඩි පිරෙන්නට රන්කාසි පුරවාගෙන හිඳිති. රත්රන් වැනි ලෝහ නිස්සාරණය කරන ඥානය ලබන්නට මිනිසා යුග ගණනාවක් පුරා දැරූ උත්සාහය ඒවා දකිනවිට සිහිවේ. ඇතැම් දෙවිවරුනට ඇත්තේ සතුන්ගේ මුහුණය. මිත්‍යා කතා ප්‍රබන්ධකයාත්, දේව රූප අඳින සිත්තරාත් මිනිසුන් ලෙස තමන් අත්විඳි දෙයින් දෙවියන් නිර්මාණය කර ඇතිබව මේවා දකින විට පසක් වේ. 

දේවබැල්ම, භූත බැල්ම ආදී මිත්‍යාවන්ට ජනයා තල්ලුකොට ජාවාරම් කරනා අයට එරෙහිව හේතුවාදී සංගමය සාර්ථක වැඩ කොටසක් 70 ගණන්වල ඉටුකළේය. ගිනි පෑගීමට හේතු සාධක වන මූලික කාරණා විග්‍රහ කළ ඔවුහු ප්‍රායෝගික ලෙස දේව භක්තියෙන් තොරව ගිනිපාගා පෙන්වූහ. භූතයින් ගල් ගසන්නේ යයි කියන තැන්වල පර්යේෂණවල නිරත වූ ඔවුහු සැබෑ භූතයින් කවුරුද යන්න හෙළිකළෝය. අප සමාජයේ අවිචාරය දුරලන්නට ඔවුන් පාසල්වල පොදු ස්ථානවල කරැණු විග්‍රහකරමින් ඇත්ත කියාදුන්හ. සාත්තරකාරයන් සමඟ පවුල් අවුල් වූ වාරද අනන්තය. අප දන්නා එක් බිරිඳක්, සැමියා යන යන තැන ගොස් සැමියා සැකකරමින් ඔහුව ලුහු බැන්දාය. මේ ගැන ඉවවැටී තමාව ලුහු බැඳ තතු සොයන්නේ මන්දැයි බිරිඳගෙන් සැමියා විමසුවේය.

“ඔයාට හොර ගෑනියක් ඉන්නවා." බිරිඳ කීවාය.

“කව්ද කිව්වේ..." සැමියා ඇසුවේය.

“අර ස්ටුඩියෝ එක ළඟ ඉන්නා සාස්තර කියන එක්කෙනා." බිරිඳ පිළිතුරු දුන්නාය. අපේ බාසාවෙන් කියනා විදිහට සැමියාට නප්පියට තදවිය. ඔහු ස්ටුඩියෝ එකළඟ සාස්තරකාරයාව බොටුවෙන් අල්ලා ගත්තේය. එතැන බිත්තිවල එල්ලා තිබූ රූප පොළොවේ ගැසුවේය. මල්මාලා තූ තූකොට දැමුවේය. “ආයේ එහෙම මෙතන සාස්තර කිව්වොත් තෝ සුවර්ගෙට යවනවා." චුතවී පණපිටින් ස්වර්ගයට යන්නට බිය වූ සාස්තරකාරයා දේවාලය හැරදා පලාගියේය. ඔහුට දේව බැල්ම ඉන්පසු ලැබුණු බවත් අසන්නට නොලැබුණේය. සැමියා ආවේගයෙන් වුවත් බුද්ධිමත්ව ක්‍රියාකිරීම නිසා ඒ ජෝඩුව පසුව සතුටින් පවුල් කෑවෝය.

ක්ෂීරපථයෙන් ඔබ්බේ ඇන්ඩ්‍රොමීඩා ගැලෙක්සියේ ඡායාරූප ගන්නට අද මිනිසා සමත්ව සිටී. ඔහු විශ්වයේ තතු සොයයි. මේ දෙවියන්ගේ ලොව ලෙස නම් කළ බෝවන රෝග රාශියක් මිනිසා මෙලොවින් තුරන්කොට ඇත. එවැනි වර්තමානයක “Balagiri Not to day may be tomorrow” කියාදොරක ඉංග්‍රීසියෙන් ලියා තිබුණේ ලෙඩට අධිපති දෙවියා ඉංග්‍රීසි දන්නා නිසා වියයුතුය.

යම් මතයක් තමන්ගේ ඉස්මුදුනින් පිළිගන්නා විට විශේෂයෙන් එම මතය පිළිගත් විට තමන්ගේ පොකැට්ටුවට තට්ටු වේ නම් ඒ ඊට පෙර වල්පොල රාහුල හාමුරුවෝ කාලාමසූත්‍රය විග්‍රහ කරඇති ආකාරය පොතකින් කියවා ගැනීම කාටත් හොඳය. යම් මතයක් පිළිගිනිද්දී එය අසාදැනගත් නිසා හෝ පරම්පරාවෙන් පිළිගත් නිසා හෝ තර්කයට ගැලපෙන නිසා හෝ න්‍යායට එකඟ නිසා හෝ ආදී වශයෙන් පිළිගත යුතුනැති ආකාර නවයක් ගැන එහි සඳහන් වේ.

 සමන් පුෂ්ප ලියනගේ